පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉටු නොවූ යුක්තිය ඉල්ලා දෙව් පියාණන්ට ආයාචනා කරනවා

196

* කොච්චිකඬේ මංගල්‍යයේදී කාදිනල්තුමා පවසයි
නෝමන් පලිහවඩන
පාස්කු ඉරිදා අමානුෂික ප‍්‍රහාරයේ වගකිවයුත්තන් සම්බන්ධව ක‍්‍රියා නොකරන දේශපාලනඥයන් සහ වගකීම් පැහැරහරින ඊට අකුල් හෙළන පුද්ගලයන්ගෙන් ඉටු නොවූ යුක්තිය සාධාරණය ඉල්ලා ශාන්ත අන්තෝනි මුනිතුමා මාර්ගයෙන් දෙව් පියාණන් හමුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ මංගල්‍යයේදී ඊයේ (13 දා) කන්නලව් කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ඇතැම් දේශපාලනඥයන් දැන සිටි බව කී කාදිනල්තුමා ඔවුන් අද තමන් සුදනන් ලෙස හගවා සිටින බවද කීවේය.

එබැවින් මේ පිළිබඳව සාධාරණ යුක්තිය ඉටුකිරීමට ක‍්‍රියාකරන ලෙසටද කාදිනල්තුමා දෙව් පියාණන්ගෙන් ආයාචනා කළේය.

මේ ප‍්‍රහාරයෙන් ජීවිත අහිමිවූ පුද්ගලයන් දෙවියන් වෙත භාරකරන බවද කාදිනල්තුමා කීවේය.

කොළඹ කොච්චිකඬේ දෙව් මැඳුරට සහ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරට සහ වෙනත් ස්ථානවලට සිදුකළ ප‍්‍රහාරවලින් බැතිමතුන් විශාල පිරිසක් විපතට පත්වූ අතර තවත් පිරිසක් අදටත් ශාරීරික පීඩාවලින් පෙළෙන බවද කීවේය.

මෙම අමානුෂික ප‍්‍රහාරවලට සම්බන්ධව මෙතෙක් සාධාරණ යුක්තිය ඉෂ්ට වී නොමැති බවත් දේශපාලන වාසි ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන් ඉටු නොවූ යුක්තිය වෙනුවෙන් දෙවියන් වෙත මෙසේ කන්නලව් කරන බවද කාදිනල්තුමා සඳහන් කළේය.

මෙම මංගල්‍ය දේව මෙහෙය සෞඛ්‍ය උපදෙස් මත සිදුකෙරුණු අතර සෞඛ්‍ය හේතූන් මත බැතිමතුන් සහභාගි නොවීය. කොළඹ රදගුරු මැක්ස්වෙල් සිල්වා සහ රදගුරු ඇන්ටන් යන රදගුරුතුමන්ලා සහ පූජාප‍්‍රසාදිවරු කිහිපදෙනෙක් මෙම දේව මෙහෙයට සහභාගි වූහ.
 

advertistmentadvertistment
advertistmentadvertistment