පාස්කු වින්දිතයන්ගේ ඇඟට දැනෙන තීන්දුව

816

ඇමෙරිකාවේ සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයටත් වඩා නින්දිත, ම්ලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් වූ ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 (2019) පාස්කු ප්‍රහාරය අපගේ ඉතිහාසයෙන් කිසිදා අකා මකා දැමිය හැක්කක් නොවේ. එය ඒ තරම්ම බිහිසුණුය, දරුණුය, පෙර කීවාසේ නින්දිතය, ම්ලේච්ඡය. තවත් ආගමිකයකුගේ අති උතුම් උත්සවයක් පැවැත්වෙන ආගමික ස්ථානයකට කඩා වැදී, එම ආගමිකයන් මහත් බැතියෙන් එහි වන්දනා මාන කරන අවස්ථාවක ඔවුන්ගේ සිරුරු කීතු කීතු කර දමන තරමේ අනපේක්ෂිත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට තරම් වෛරී සිතක් පහළවීම ම අතිශය තිරිසන් ගතියකි. කතෝලිකයන්ගේ අති උතුම් උත්සවයක් වන ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වදාළ දිනය ලෙස සලකන අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දිනය තෝරාගෙන සිදුකළ එම ප්‍රහාරය ගැන කියන්නට තවත් වචන නැත. දේවස්ථාන හා හෝටල් යන ස්ථාන 8 කට එල්ල කළ මේ ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු කිතුනු බැතිමතුන් 269 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 500 කට අධික පිරිසක් තුවාල ලැබූ බව අපි දනිමු.

මෙම ඛේදවාචකයට (විශේෂයෙන්ම වින්දිතයන්ට) සාධාරණයක් ඉල්ලා පසුගිය වසර 3 ක් තිස්සේ කතෝලිකයන් ප්‍රධාන මේ රටේ ජනතාව කිසිදු ජාති, ආගම් භේදයක් නැතිව හඬ නැගූහ. ඒ ජයශ්‍රී මහා බෝධිය අසල මෙන්ම දළදා මාළිගාවට එල්ල වූ කොටි ප්‍රහාරය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට එල්ලවූ කොටි ප්‍රහාරයේ තරම දෙවැනි කොට සලකාය. විශේෂයෙන්ම කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික ජනතාව විත්තිකරුවෙක් පැහැදිලි නැති මෙම ප්‍රහාරයේ සැබෑ සැලසුම්කරුවන් කවුරුන්ද යන්න අනාවරණය කර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. විත්තිකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. නමුත් යහපාලන ආණ්ඩුව සමයේ සිදුකළ මෙම ප්‍රහාරයේ සුල මුල සොයන්නට එම පාලන සමයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව හෝ ඉන් පසු පැමිණි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවවත් කටයුතු කළේ නැත.

ප්‍රහාරයට සම්බන්ධ වූයේ අන්තවාදීන් කණ්ඩායමක් නම් ඒ පිටුපස සිටි මහා මොළකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට නොහැකි තරමේ බුද්ධි අංශයක් නම් අපට සිටින්නේ අප ඒ ගැන කනගාටුවටත් වඩා ලජ්ජා විය යුතුය. එවන් රටකට ජාතික හා රාජ්‍ය ලෙස බුද්ධි වර්ගීකරණයක් තිබීමද අවශ්‍ය නොවන බව අපගේ වැටහීමය.

කෙසේ හෝ අවසානයේ රජය පසෙකින් තබා යුක්තිය සොයාගෙන අධිකරණයට යන්නට වින්දිතයන්ටම සිදුවීම දෛවෝපගත සිදුවීමකි. කලින් තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වාලන්නට කටයුතු නොකිරීමේ වරදට අවසානයේ එවක රටේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට (රටේ එවක ජනාධිපතිවරයා ඒ මොහොතේ රටින් පිටව සිටියේය.) එරෙහිව දැඩි තීන්දුවක් අධිකරණය මගින් ප්‍රකාශ කරගන්නට මේ වින්දිතයින්ට හැකි වූයේ එසේ ඔවුන් ගත් ස්වෝත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ නිසා මෙම නඩු තීන්දුව ලෝක ඉතිහාසයේ ලියවිය යුත්තකි.

පෙත්සම්කරුවන් 13 දෙනෙක් ඉදිරිපත්කර තිබූ පාස්කු ප්‍රහාරයේ විභාගය වසර දෙකක් තිස්සේ සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් පාස්කු විදිතයන්ට දැනෙන විදිහට වන්දි ගෙවීමට අධිකරණය තීන්දුවක් ලබාදී ඇත. එම තීන්දුවෙන් තහවුරු වන්නේ මේ කියන පුද්ගලයන් තොරතුරු දැන දැනත් පාස්කු ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීමය. එනිසා මොවුන් මේ රටේ එවන් වැදගත් තනතුරු දැරූවන් වීම ගැන එක අතකින් ලජ්ජා විය යුතුය. එසේම, ඔවුන් උපන් මේ පොළොවටත් ද්‍රෝහීන් වූ තනතුරු දැරූවන් බව ඔවුන් තම තමා විසින්ම දැනගත යුතුය.

නමුත් සැබෑව එය නොවේ. මේ සියලු කටයුතු මෙසේ සිදුවද්දී හිටපු ජනාධිපතිවරයා ඇතුළු මේ විත්තිකාර නඩය පුළුවන් තරම් රජයේ හා සිවිල් වරප්‍රසාද භුක්ති විඳීමය. මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් හිටපු ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද ලබාගනී. ඔහු නිල නිවාස ලෙස ලබාගෙන ඇත්තේ කොළඹ හතේ මහා මන්දිරයකි. තවමත් ආරක්ෂක භටයන් ජනතා මුදලින් ඔහුට ආරක්ෂාව සඳහා ලබාදේ. තව තවත් වියදම් දරන්නේ ජනතාවය. මෙය මොනතරම් අපරාධයක්ද..? මෙම නඩු තීන්දුවේ අනෙකුත් වරදකරුවන් භුක්ති විඳින වරප්‍රසාද කොතෙක්ද යන්න අපට හරිහැටි පැහැදිලි නැත. නමුත් පූජිත් ජයසුන්දර යනු “නීතිය නමන්නට” පම්පෝරි ගැසූ හිටපු පොලිස්පතිවරයෙකි. හේමසිරි ප්‍රනාන්දු කීවේ පාස්කු ප්‍රහාරය මෙතරම් දරුණු වනු ඇතැයි තමන් නොසිතූ බවය. එසේම, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියා සහ තවත් ආයතන ප්‍රධානියෙක් දැවැන්ත අල්ලසක් ගන්නට ගොස් හිරේ විලංගුවේ වැටී ඔවුන්ගේ අවසන් අභියාචනයද ප්‍රතික්ෂේප වී සිටිති. මේවා සිදුකර ඇත්තේ ඒ හිටපු ජනාධිපතිවරයා නොදැනද යන්න මේ මොහොතේ අප අසන්නේ නැත. නමුත්, පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් උන් අධිකරණයෙන් නියම කළ මේ ඇඟට දැනෙන වන්දිය ගෙව්වත් මතුවටත් ජනතා මුදලෙන් නඩත්තු වීම අපට තවත් ඉහිළුම් දෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment