මට මං ගැන කියාගන්න එක පොඩ්ඩක් අප්සට්

103

උදාරි කියන්නේ හරි වාසනාවන්ත නිළියක්
ජයන්ත අයියා වැඩකට කතා කළේ අවුරුදු 13 කට පස්සේ
මිදුණු විශ්වයේ ඩන්කන් ගැන බුද්ධික කියන කතාව

ජයන්ත චන්‍ද්‍රසිරි නමැති සිනමාකරුවා ඔහුට මුණගැසෙන්නේ මීට අවුරුදු එකොළහකට කලින්. ඒ සතරදෙනෙක් සෙන්පතියෝ හරහායි. ඔහු එදා සිට මේ අධ්‍යක්‍ෂවරයා සමග වැඩ කරන්න ලොකු කෑදරකමක්” පෙරේතකමක් ඇති කරගන්නවා. අන්තිමේ ඔහුට අවුරුදු එකොළහකට පසුව ඒ අවස්ථාව උදා වෙනවා. ඒ ජයන්ත චන්‍ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන මේ දිනවල තිරගත වන මිදුණු විශ්වය හරහායි. මිදුණු විශ්වයේ ඩන්කන් ඔහුයි. ඩන්කන්ගේ කතාව අපට කියන ඔහු බුද්ධික ජයරත්නයි.

මට මං ගැන කියාගන්න එක පොඩ්ඩක් අප්සට්

බුද්ධිකට ඩන්කන්ව හම්බ වුණේ කොහොමද?

ඩන්කන් වගේ කෙනෙක් හොය හොය හිටියා. අන්තිමේ මට ඩන්කන්ව හම්බවුණා. මුලින්ම ජයන්ත චන්‍ද්‍රසිරි කියන අධ්‍යක්‍ෂවරයාට” තිර රචකයාට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ මේ චරිතය ලබා දුන්නාට. මොකද මම ජයන්ත චන්‍ද්‍රසිරි කියන අධ්‍යක්‍ෂවරයා සමග වැඩ කරන්නේ මිට අවුරුදු එකොළහමාරකට කලින්. ඒ සතරදෙනෙක් සෙන්පතියෝ නිර්මාණය හරහායි. ඒ නිර්මාණය කරන කොට මට ඔහුත් සමග වැඩ කරන්න හරි පෙරේතකමක් ආවා. නමුත් ඒ අවස්ථාව මා ළඟට ඇවිත් ගිලිහී ගිය කාල අනන්තවත් තිබුණා. නමුත් මා බලාගෙන හිටියා. අන්තිමේ මට අවුරුදු එකොළහමාරකට පස්සේ ඔහු කතා කළා ඔහුගේ මිදුණු විශ්වය චිත්‍රපටයට.

මට මං ගැන කියාගන්න එක පොඩ්ඩක් අප්සට්

● අවුරුදු එකොළහමාරකට පස්සේ ලැබුණු ආරාධනාව ගැන මොකද හිතුණේ?

මට හරි සන්තෝෂයි. අනික මම ඔහුත් සමග වැඩ කරන්න පෙරේතකමක් තිබුණට මට ඒ අවස්ථාව ලැබෙන්න එපායැ. ඒ අතරතුර කාලයේ අපි ගොඩක් ඇසුරු කළා. සමහර එයා කරපු වැඩවලට අවශ්‍ය කරන ටෙලිෆෝන් අංක පවා මගෙන් ඉල්ලගෙන තිබෙනවා. මට ඒ කෝල් එක එනකොට මම හිතන්නේ මට වැඩකට කතා කරනවා කියලා. බලාගෙන ගියහම වෙන කාගෙද නම්බරයක් ඉල්ලන්න කතා කරලා තියෙන්නේ. සමහර මුහුරත්වලට ගිහිල්ල මම පහන පත්තු කරලත් ඇවිල්ලා තියෙනවා. නොලැබුණ එක ගැන දුකක් තිබුණා ඇයි නැත්තේ කියලත් හිතුනා. නමුත් ඒකට වැලපුණේ නැහැ. මට හම්බවුණ අවස්ථාවේදී උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලයි මට හිතෙන්නේ.

● ඩන්කන්ට ප්‍රතිචාර ලැබෙන්නේ මොන විදිහටද?

සාමාන්‍යයෙන් මට මම ගැන කියාගන්න එක ගොඩක් අප්සට්. මට ලැබුණු ප්‍රතිචාර බලද්දී මට හිතෙනවා මේක මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය කියලා. මම දැන් අවුරු 23 ක් තිස්සේ රඟපානවා. නමුත් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය මේක වෙයි.

● තිරයේ ඉන්න ඩන්කන්ට ප්‍රේක්‍ෂකයන්ගේ දැඩි ආකර්ෂණයක් ලැබෙනවා නේද?

මේක ඇත්තටම විශ්මයජනකයි. මාධ්‍ය දර්ශනයෙන් පස්සේ ගොඩක් කට්ටිය කියනවා අනේ අපි මේ චිත්‍රපටය බලන්න ඉන්නේ කියලා. බොහොම සීමිත පිරිසක් බලපු මාධ්‍ය දර්ශනයෙන් පස්සේ මේ චිත්‍රපටය කතාබහට ලක්වෙලා තියෙනවා.

● ඩන්කන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න අධ්‍යක්‍ෂවරයා සමග කතාබහ කළාද?

ජයන්ත චන්‍ද්‍රසිරි කියන්නේ ඇක්ටර් කෝච් කෙනෙක්. ඔහුට රඟපාලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. අනික ඔහුගේ පිටපත් අපිට කියවලා වෙනස්කම් කරන්න පුළුවන් ඉඩ ඒකේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් ඒ පිටපත් ගැන ලොකු විශ්වාසයක් තියන්න. මම කියවපු ඩන්කන් ගැන මට දැනිච්ච විදිහට මම ජයන්තට කිව්වා. මම කිව්වට පස්සේ ඔහු මා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. “හරි උඹ ඩන්කන් වෙයන් කිව්වා” ඩන්කන් කියන්නේ ඉතාම සුන්දර ආදරවන්තයෙක්. මම ඒවාට හේතු කාරණා දැක්වූවා. හරි උඹ ඒ ඩන්කන්ව ප්‍රතිනිර්මාණය කරපන් කිව්වා.

● ඩන්කන්ට තවත් ආලෝකයක් තමයි රාජිනී. කොහොමද උදාරිගෙන් ලැබුණු සහයෝගය?

තමන් වැඩකරන ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් අහනවානේ ලැබිච්ච සහයෝගය මොකක්ද කියලා. ඕක ඇවිල්ල මේ ගෙදරින් කෑම හදාගෙන ඇවිල්ලා කවන්නැයි අසනීප වුණාම පෙනඩෝල් දෙන්නැයි එහෙම එකක් නෙමෙයි. අනෙකාට කරන හොඳම සහයෝගය සහ ගෞරවය තමයි තමන්ගේ වැඩේ හරියට කරන එක. මම ගොඩනගන ඩන්කන්ව රාජිනී තේරුම් ගන්නවා කියන්නේ උදාරිගෙන් ලැබුණු ලොකුම සහයෝගය තමයි.

● රාජිනී ගැන මොකද හිතෙන්නේ?

එක පැත්තකින් උදාරි කියන්නේ හරි වාසනාවන්ත රංගන ශිල්පිනියක්. උදාරි හරියටම රාජිනීව තේරුම් අරගෙන තිබෙනවා. ඩන්කන්ව මතුවෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ රාජිනී. එයා ඩන්කන්ව තේරුම් ගත්ත එක තමයි මට ලැබුණු ලොකුම සහයෝගය. උදාරි කියන්නේ දක්‍ෂතම නිළියක්.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මම පසුගිය කාලයේ මාස දෙකක් විතර ලංකාවේ හිටියේ නැහැ. චිත්‍රපට දෙකකට විතර මාව සම්බන්ධ කරගන්න අධ්‍යක්‍ෂවරු කතා කළා. නමුත් මට ඒ එකකටවත් සම්බන්ධ වෙන්න බැරිවුණා.

● විදෙස්ගත වුණේ රූගත කිරීමකට ද?

රූගත කිරීමකට තමයි. මට ඒක තවම හෙළිදරව් කරන්න නීතිමය අයිතියක් නැහැ. ඒ හින්ද මම ඒ ගැන අයිතිය ආපු ගමන් ඒ ගැන හෙළිදරව් කරන්නම්.

● පසුගිය කාලේ ෂූටින් කරපු ආරුගම්බේ චිත්‍රපටයට මොකද වුණේ?

ඊශ්‍රායල් නිෂ්පාදක කණ්ඩායමෙන් සහ අධ්‍යක්‍ෂවරයාගෙන් තොරතුරු ලැබුණා යුරෝපයේ රටවල් ගණනාවක තිරගත කරන්න සියලු විධිවිධාන සැලසුම් කරලයි තියෙන්නෙ කියලා.

● ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා එහෙම?

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. මම දවස් හතම වැඩකරන්න කැමති නැහැ. මම ගොඩක් නිදහස හොයන කෙනෙක්.

● බුද්ධිකත් මෙගා විරෝධියෙක් ද? නැතිනම් පිටපත ප්‍රබල වෙන්න ඕනෑද?

නැහැ එහෙම එකක් නැහැ. පිටපත සහ ඒකේ සැකිල්ල පිළිබඳ පොඩි අවබෝධයක් ගන්නවා. අනික දැන් අපිට මෙගා කියන එකෙන් මිදෙන්න බැහැ. හැම එකක්ම මෙගා වෙලානේ තියෙන්නේ. මමත් මුලින් මෙගාවලට එකඟ වෙච්ච නැති කෙනෙක්. මෙගාවලට සම්බන්ධ වුණු අන්තිම කොටසේ හිටපු කෙනෙක් තමයි මම. මම කොහොමත් ටෙලිවිෂන් එක පරිහරණය කරන්නේ පරිස්සමෙන්. චිත්‍රපටවලට තමයි මගේ වැඩි නැඹුරුව තියෙන්නේ. මෙගාවල රඟපාන්නේ නැහැ කියන එකේ මම දැන් නැහැ. මොකක්ද නිර්මාණය කියල හොයල බලල වැඩ කරන තැන මම ඉන්නවා.

දිනේෂ් විතාන
ඡායාරූපය -ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment