මනුෂ්‍යත්වයෙන් තොර නත්තලක් නොමැත

283

ජේසු සමිඳාණන්ගේ උත්පත්තිය සිදුවූ අද (25 දා) දින මුළු මහත් ලෝකවාසී කිතුනුවෝ නත්තල මහත් භක්තියෙන් සමරන්නාහ. සීතල මැදියම් රැයක බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවලෙනක උත්පත්තිය ලැබූ ජේසු සමිඳාණෝ මුළු මහත් ලෝකයටම සාමයේ පණිවුඩය ගෙනා කුමරුවෝ ය.

ජේසුස් වහන්සේ දේශනා කරනු ලැබුයේ ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන ලෙස ය. ආලෝකයේ ඵල ලෙස සලකනු ලබනුයේ සියලූ ආකාරයේ යහපත්කම්ය. උන්වහන්සේගේ ජීවිතයෙන් අපගේ ජීවිතවලට මෙන්ම පොදුවේ මුළු මහත් සමාජයටම ගත හැකි ආදර්ශ තිබුණද එය කෙතෙක් දුරට අප සමාජය උකහාගෙන තිබේදැයි ප‍්‍රශ්නයකි.

අද අප රටක් ලෙස සිටිනුයේ අන්ත දුගී තත්ත්වයකය. ඩොලර් සංචිත අර්බුද මැද ආහාර මිල ගණන් අහස උසට නඟිද්දී සැබෑ ලෙසම නත්තල සැමරීමට ඇති අවකාශය අල්පය. දුගියා බත් කන දවස මාගේ නත්තල යැයි මර්සලීන් ජයකොඩි පියතුමාණෝ ලියා ඇති බව අද අප සමාජයේ කීදෙනෙක් සිහිපත් කරන්නේ ද?

විවිධාකාර උපද්‍රව සමාජය හමුවේ ඇතිවිය හැකිය. අද අප මුහුණ දෙන කොරෝනා වසංගතය ද එවැන්නකි. නමුත් අර්බුද යනු ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. කොරෝනා අර්බුදයට මුහුණ දෙමින් ලෝකයේ බොහෝ රටවල් යළි නැ`ගිටිද්දී අප රටක් වශයෙන් හතරගාතෙන් වැටී ඇත්තේ මේ රට පාලනය කළ සියල්ලන් ගත් අතීත වැරදි තීන්දු නිසාවෙනි. ස්වභාවික සම්පත්වලින් අනූන, වර්ෂය පුරා හොඳින් හිරුඑළිය ලැබෙන, විසිකළ දණ්ඩක් වුවද පැළවෙන බිමක් සහිත අප රට මේතරම් අසරණ භාවයට පත්වූයේ කාගේ වරදින්දැයි තම තමන්ගේ හෘදසාක්‍ෂියට අනුව විමසා බැලිය යුතුය. අනෙකා ගැන නොතකා තමන්ගේ බඩ ගැන පමණක් සිතන, රට වළපල්ලට වැටුණත් තමන්ගේ මඩිය තරකර ගත යුතු යැයි සිතන මිනිසුන් සිටින රටකට මනුෂ්‍යත්වය වෙනුවෙන් ලැබෙනුයේ අවම අගැයීමකි. රටක් අන්ත දිළිඳුභාවයට පත්වන විට එම රටේ මිනිසුන්ගේ ආර්ථික නිදහස පමණක් නොව මානසික නිදහස ද නැතිවන්නේය. යම් අයෙක් රටේ දේපළ කොල්ලකයි නම් ජනතාවගේ මානව අයිතිවාසිකම් උදුරා ගනී නම් එම රටේ ජනතාවට සාමයෙන් හා සතුටින් ජීවත්වීමේ ඉඩ අහිමි වීම පුදුම විය යුතු නැත.

එමනිසා නත්තල් දිනය සමරන අද දිනයේ අප රටේ සියලූදෙනා කල්පනා කළ යුත්තේ වැටුණ රට යළි න`ගාසිටුවීම සඳහා අවශ්‍ය පසුබිම සැලසීමය. ඒ සඳහා අදාළ පාර්ශ්ව අවංක විය යුතුය. සෘජු තීරණ ගත යුතුය. සෑමදාම අප රටේ මිනිසුන්ට පරාජය අත්පත් කර දෙන වටපිටාව නැති කිරීම සඳහා සෑම අයුරින්ම කැපවීම නත්තලට ලබාදිය හැකි උපරිම සාධාරණය බව මේ මොහොතේ සියල්ලෝම කල්පනා කළ යුතුය. අද අප රටේ කුඩා දරුවන්ට සිදුවන අපචාර දූෂණ දෙස බලන විට අප සමාජය කෙතරම් දුරට පිරිහී ඇද්ද යන්න තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. මේ සියල්ල සිදුවනුයේ අප මනුෂ්‍යත්වයට පිටුපා කටයුතු කරන නිසාවෙනි. කිතුනුවන්ගේ විශ්වාසය වනුයේ දිව්‍යමය පේ‍්‍රමය සෑම මනුෂයන්ටම ලැබිය යුතු බවයි. සෑම ජීවිතයකටම වටිනාකමක් ඇති බව අප තේරුම් ගත යුතුව ඇත.

නත්තල කා බී විනෝද වන සැණකෙළියකට පමණක් සීමා කරගත යුතු නැත. ආධ්‍යාත්මික හරයන්ගෙන් මිනිස් ජීවිත සුපෝෂිත කරමින් අනෙකාගේ යහපත වෙනුවෙන් කැපවීමට අපට හැකි නම් නත්තලේ සැබෑ අරුත මුළු ලෝකයටම බෙදා දිය හැකි වනු ඇත. එනිසා ගතවන සෑම මොහොතකම වෛරය, ක්‍රෝධය සමාජය මත මුදා නොහරිමින් පේ‍්‍රමය හා සෙනෙහස අප සමාජයට ලබාදිය හැකි නම් හෙට දින අප රට සුන්දර රටක් වනු ඇත. ඒ සඳහා කිතුනුවන් පමණක් නොව සියලූ ආගමික බැතිමතුන් අප සමාජයට මනුෂ්‍යත්වයේ සුවඳ බෙදිය යුතුව ඇත. මනුෂ්‍යත්වයෙන් තොර නත්තලක් නොමැති බව අප සියලූ දෙනා තේරුම් ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment