මිනරල් සභාපතිගේ නිල නිවස අලුත්වැඩියාවට කෝටි 3ක්

291

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමට අයත් පුල්මුඩේ යන්ත්‍රාගාර පරිශ්‍රයේ පිහිටි සභාපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමකින් තොරව පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු තෝරාගෙන රුපියල් තුන්කෝටි, පහළොස්ලක්ෂ, අනූඅටදහස් හතලිස්නවයක මුදලක් (31,598,049) වියදම් කොට කරවාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

සභාපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ කාර්යය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාර පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමකින් තොරව සිදුකර ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. 2021 වර්ෂයේ පෙබරවාරි 03 වැනිදා සිට 2022 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ දී මෙම කොන්ත්‍රාත්තුව සිදුකොට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන ප්‍රසම්පාදන කාර්යයන් ඉටුකරගත යුතු බවත් එසේ සිදුනොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ග ගතයුතු බවටත් විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ගොඩනැඟිල්ලක් අලුතින් ඉදිකිරීමට විශාල මුදලක් වැයවන බැවින් ආයතනයේ අමුද්‍රව්‍ය ලබාගැනීමේ පදනම මත ශ්‍රම කොන්ත්‍රාත් ක්‍රමයට කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබාගෙන ඇති බවය. අලුත්වැඩියා කටයුතු ක්‍රමානුකූලව සිදුවී ඇති බව ද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු පවතින බව ද මෙවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති නොවීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කර තිබේ.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment