රජයේ සේවක වැටුප් වැඩි කළේ රනිල්ගේ කාලවලදී – එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

155

ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් මෙරට ඉතිහාසයේ රජයේ සේවකයන්ගේ වැඩිම වැටුප් වැඩිවීම් කළේ රනිල් වික්‍රමසිංහ රජයන්හිදී බවත්, 2015 දී එදා රජයේ අඩුම සේවක වැටුප රු. 12,500, රු. 29,000 දක්වා වැඩිවීම පවා සිදුවූ බවත්, වෙනත් රාජ්‍ය සේවකයන් අතර වෛද්‍ය නිලධාරියකුගේ නම් රු. 40,000 සිට රු.80,00 දක්වා වැඩි වූ බවත් එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

එහිදී අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

එදා රජයේ සේවකයන්ගේ අඩුම වැටුප ලබන කාර්යාල සේවක මහත්තයාගේ මූලික වැටුප තිබුණේ රුපියල් 12,500 ට, රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළා කිව්වට රුපියල් 10,000 කින් නොවේ, සමහර අයට වැටුප් වැඩි වුණේ. 2015 අපි රජය භාර ගන්නකොට කාර්යාල සේවක මහත්තයාගේ මූලික වැටුප රුපියල් 29,000 දක්වා වැඩි වුණා. වෙනත් රාජ්‍ය සේවකයන්ගේ නම් උදාහරණයක් ලෙස මුලින් පත්වීමක් ලබන වෛද්‍ය නිලධාරියකුගේ මූලික වැටුප තිබුණේ රුපියල් 40,000 නම් රුපියල් 80,000 දක්වා වැඩි වුණා. නීතිපතිවරයාට තිබුණේ රුපියල් 80,000 නම් ඒක රුපියල් 200,000 පමණ දක්වා වැඩි වුණා. මෙහෙම කරල තමයි රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරලා, පෞද්ගලික යාන්ත්‍රණයත් ශක්තිමත් කරලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරලා, ආදායම වැඩි කරලා, රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරන්න පියවර ගත්තේ. නමුත් අවාසනාවකට එහෙම කරපු රජය 2020 දී රාජ්‍ය සේවකයන් හා මහජනතාව එකතු වෙලා පෙරළලා දැමුවා. පෙරළලා දාලා මහපාරට වැටුණා. ඊට පස්සෙ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයටත්, හමුදාකරණයටත් ලක්වීම සිදු වුණා. රජයේ උසස් තනතුරු සියල්ලම පාහේ හමුදාව විසින් කරන්න පටන් ගත්තා. අපේ ප්‍රතිපත්තිය වුණේ යුද හමුදා කටයුතු මෙහෙයවීම වෘත්තීයමය හමුදා නිලධාරීන් විසින් සිදුකිරීමයි. රාජ්‍ය පරිපාලන කටයුතු රජයේ සේවකයන්ගේ ඉහළ විධායක නිලධාරීන්ගෙන් සමන්විත සංවිධානයකින් සිදු කිරීමයි. එහෙම කරපු රජයක් තමයි පෙරළා දැමුවේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයත් සමඟ එකතුවී කඩාවැටුණු රට ගොඩදැමීමට හදන අවස්ථාවේදී වර්ජන රැල්ලක් ඇති කළහොත් රට නැවත කඩාගෙන වැටේවි.

දැන් මේ තත්ත්වය නිසා මුළුමහත් රටම කඩාගෙන වැටුණා. බංකොලොත් වූ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත්, ණය දෙන ආයතනවලත් විශ්වාසය දිනාගෙන රට ගොඩනඟන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලුදෙනාටම ඉන්න වෙන්නෙ මහපාරේ. ඉතින් ජාතිය මහපාරට ඇදලා දාන්න එපා. අඩුපාඩු තියෙන ඒවා හදන්න නව නීතිරීති විශාල පද්ධතියක්

ගෙනැල්ලා තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කරන්න නීති රීති අලුතින් ගෙනැල්ලා තිබෙනවා. දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න බැරිවෙන්න නීති රීති ගෙනඑමින් තිබෙනවා.

දැන් බලන්න එදා මුළු ජාතියම හිටියේ මහපාරේ. තෙල් බවුසරයක් ඉන්ධන පිරවුම් හලට ආවම මෝටර් සයිකල්කරුවන් දහස් ගණනක් අත්පොළසන් දීලා රතිඤ්ඤා පත්තු කළා. ගෑස් ලොරියක් එනවා දැක්කම මිනිස්සු පාර දිගේ ජය වේවා කියාගෙන යන තැනට පත්වුණා. විදුලිය නැතිව කළුවරේ හිටියේ රජයේ කාර්යාලවල අය. දැන් විදුලිය තිබෙනවා. ගණන් වැඩියි. ඒ ගණන් අඩු කරන්න තිබෙනවා. විදුලි බිල අඩු කළ යුතුව තිබෙනවා. දැන් තෙල් තිබෙනවා. තෙල් මිල අඩු කරන්න තිබෙනවා. ඒවා කරන්න බැහැ සුරංගනා කතාවලින්. අහුවෙන්න එපා සුරංගනා කතාවලට. අපේ ජනකොටස් කිසිසේත්ම ඒවාට හසුවෙන්න එපා.

අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය ඒක පිළිඅරගෙන තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. වෙනත් විකල්ප ක්‍රම තිබෙනවා නම් දේශපාලන පක්ෂවලට කියලා තිබෙනවා ඉදිරිපත් කරන්න කියලා. ජාතික සභාවකුත් පාර්ලිමේන්තුවේ හදලා තිබෙනවා. වෙනත් කිසිම විකල්පයක් තිබුණෙ නැහැ. තිබුණෙ නැති නිසා තමයි අර මැයි 12 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා තනි පුද්ගලයා වුණත් එතුමාගේ තිබුණු දැනුම, පළපුරුද්ද, හැකියාව නිසා සියලු දෙනා එකතු කරගෙන එතුමා අගමැති වෙලා ජූලි මාසයේ 20 වැනිදා ජනාධිපති වුණා. දැන් එතුමාට බාධා නොකර එතුමාට සහයෝගය ලබා දෙන්න තිබෙනවා. තම තමන්ගේ වෙනස්කම් තියාගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment