රසකැවිල්ලක් නිසා ඉන්දීය මඟුලක හටගත් ගැටුමෙන් 06ක් රෝහලට

594

ජනප්‍රිය ඉන්දීය රසකැවිලි විශේෂයක් වන ‘රස්ගුල්ලා’ හිඟ වීම හේතුවෙන් උතුරු ඉන්දීය ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වූ දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඉන්දීය මාධ්‍යවලට අනුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයේ ඉකුත් ඉරිදා (19දා) රාත්‍රියේ පැවති විවාහ මංගල්‍ය උත්සවයක දෙපිරිසක් විසින් රස්ගුල්ලා රසකැවිල්ල ප්‍රමාණවත්ව නොතිබීම සම්බන්ධයෙන් ඇති වූ වාදයක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී එකිනෙකා ආහාර මේසයේ තිබූ පිඟන්, කෝප්ප, ගෑරුප්පු ආදියෙන් පහර දීමක් සිදුව තිබේ. අනතුරුව දෙපාර්ශවයම පොලුවලින් එකිනෙකාට පහර එල්ල කිරීම හේතුවෙන් කාන්තාවක් ඇතුළු 06 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසා ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ෂණයක් අරඹා තිබේ, ඉකුත් වසරේද අග්‍රා නගරයට අයත් එට්මඩ්පුර් දිස්ත්‍රික්කයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයක රස්ගුල්ලා රසකැවිල්ල හිඟ වීම් හේතුවෙන් හටගත් ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment