ලෝක සත්ත්වයා දුකින් මුදවා සසරින් එතෙර කරන්නට බෙත්ලෙහෙමේදී සිදු වූ ජේසු බිලිඳුන්ගේ උප්පත්තිය අපව පාපයෙන් ගලවා ගැනීම සඳහා මානව ඉතිහාසයට එක්වූ දෙවියන් වහන්සේගේ ප්‍රවේශය උතුම් වූ නත්තල බව කිතුනු බැතිමතුන්ගේ නිර්වචනයයි. ලෝකවාසී කිතුනුවන්ගේ ශුද්ධවන්ත දිනය ලෙස නත්තල සමරන්නේ මානව දයාවෙන් පිරි මිනිස් සිත් සතන් සාමයේ අරුණැල්ලෙන් පුබුදුවා ලෝක සත්ත්වයාගේ හදවත් සතුටින් පුරවාලීමටයි.

කෝටි 60ක ජනගහනයකට හිමිකම් කියමින් යුරෝපා මහද්වීපයේ අතිසුන්දර පරිසරයක් තුළ පිහිටි ලෝකවාසී කිතුනු බැතිමතුන්ගේ තිඹිරිගෙය වන්නේ රෝමයේ පිහිටි වතිකානුවයි. ලෝකය පුරා විසිරී ඇති බැසිලිකා දේවස්ථාන 1580 ක් වන අතර එයින් කතෝලික බැතිමතුන්ගේ ජීවමාන පුදසුන වන්නේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවයි.

නත්තල් දින සාම්ප්‍රදායික වතාවත්වලට මුල් තැන ලබාදෙමින් දේව මෙහෙයන් ආරම්භවන්නේ ද මේ බැසිලිකාවේ සිටයි. නත්තල් අසිරිය උදාවන මධ්‍යම රාත්‍රියේ අති උතුම් ශුද්ධෝත්තම පියාණන් වහන්සේ, දිව්‍ය පූජාමය යාගය සිදුකරන අතර සාම්ප්‍රදායිකව පවත්වන පුජාවන් අතර මැදියම් රැයේ දිව්‍ය පූජාව, අලුයම දිව්‍ය පූජාව සහ නත්තල් උදාවත් සමඟම පවත්වනු ලබන දේව වචනයේ දිව්‍ය පූජාව 7 වැනි සියවසේ පටන් සාම්ප්‍රදායිකව අනුගතව ඇත. ශුද්ධ වූ හෙලේනා නම් මුනිවරිය බෙත්ලෙහෙමෙන් රැගෙන ආ බව කියන ගව ඔරුවේ කොටසක් වතිකානුවේ සුවිශේෂී ස්ථානයක් වූ මේරිමේජ් බැසිලිකාව තුළ ඇති කුඩා යැදුම් කුටිය තුළ තැන්පත් කිරීමේ සුවිශේෂ බව පසුබිම් කරගනිමින් මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව සඳහා මෙම බැසිලිකාව සූදානම් වන්නේ අතිමනස්කාන්තයක් නත්තලට එක්කරමිනි.

ලිබේරියන් ශුද්ධෝත්ම පියතුමාට සහ රෝමයේ ජෝන් නම් ප්‍රභූවරයෙකුට ක්‍රි.ව. 352 දී පමණ මරියතුමිය දර්ශනය වී වදාළ කරුණක් අරභයා එතුමිය සලකුණු කරන ස්ථානයෙහි දෙව්මැඳුරක් ඉදිකරන ලෙස කළ ඉල්ලීම මත අසාමාන්‍ය හැඩයකනින් හෙබි මෙම බැසිලිකාව ගව ඔරුවක් සාදා වැඩ කටයුතු නිමකරන ලද්දේ ක්‍රි. ව. 440 දී පමණ තෙවැනි පීස්සවර් ශුද්ධෝත්තම පියාණන්ගේ කාල පරිච්ඡේදයේ ය. රාත්‍රි 12 හෝරාවේ දිව්‍ය පූජාව හංගේරියාවේ එළිසබෙත් මුනිවරියගේ මැදිහත්වීමෙන් ආරම්භ වනුයේ 13 වැනි සියවසේ දීය. සාම්ප්‍රදානුකූල නත්තල් දින උදෑසන ගව ඔරුවට කෙරෙන ගෞරවයක් ලෙස පෙරහැරක් ද පවත්වා මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අල්තාරය මත තැන්පත් කිරීමද බැසිලිකාව තුළදී දැකිය හැක.

වර්තමානයේ යුරෝපයේ කිතුනු බැතිමතුන් සිදුකරනු ලබන චාරිත්‍රයන් අතර ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයෙන් ලොව පහන් වන සංකේතය ලෙස “හනුක්කා” පහන දැල්වීම මගින් නත්තල් අසිරියට එකතුවන්නේ තවත් ශාන්ත බවකි. ජූදා ජාතිකයන්ගේ ආලෝකයේ උතුම් මංගල්‍ය ලෙස පුරා දින හතක් පවත්වන මෙය හඳුන්වන්නේ ආලෝකයේ මංගල්‍ය ලෙසයි. රෝමයේ St. Peter’s බැසිලිකාව ඉදිරිපිට දැවැන්ත ගවලෙනක් සහ ඉතාලියේ ඉදිවන විශාලතම නත්තල් ගස නිර්මාණය වීමත් කැරොල් ගීත සහ බැති ගීයෙන් හැඩවෙන වතිකානුවට ලෝකවාසී අති විශාල ජනතාවක් ප්‍රවිශ්ඨ වීමෙන් නත්තල් අසිරියට එකතුවන්නේ අති සුන්දරත්වයකි.

ශුද්ධෝත්ම පාප්වහන්සේ ලෝකවාසී ජනතාව උදෙසා විවිධ භාෂාවලින් සුභපැතුම් පණිවිඩ කියවා අපොස්තුළුවරුන් සමඟ වතිකානුවේ බැසිලිකාවට රොක්වන ජනයා සමඟ නත්තලේ සතුට සහ සාමය බෙදාගන්නේද හදවත් තුළට බැතිබර ශාන්ත බවක් එක්කරමිනි.

උතුම් වූ නත්තල් අසිරියෙන් රෝමය බබළවමින් වතිකානුවෙන් ලොවට මුදාහරින්නේ පාපයෙන් ලෝක සත්වයා මුදවා සසරින් එතෙර කරන්නට බෙත්ලෙහෙමෙන් ජනිත වූ අති උතුම් ශුද්ධෝත්තම ක්‍රිස්තුස් වහන්සේගේ සාමයේ පණිවිඩයයි.

ලලිත් හෙට්ටිආරච්චි – ඉතාලිය

advertistmentadvertistment
advertistmentadvertistment