විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට විශේෂ ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා

134

විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

මූල්‍ය කළමනාකරණයේ දුර්වලකමින් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව පිට පටවන්න එපා – වාසුදේව නානායක්කාර (ශ්‍රීලපොපෙ)
තෙල් ගෙන්වීම හරහා මහා දූෂණයක් සිදුවෙනවා – තිස්ස අත්තනායක (සජබ)
විදේශ ණය ගත් ජල සම්පාදන ව්‍යාපෘති රැසක් නතර කරලා – විජිත හේරත් (ජාජබ)

ලබන වසරේ විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය විශේෂ ජනන සැකැස්මක් ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වෙනි දිනය ආරම්භ විය. ඒ අනුව විදුලි බල හා බලශක්ති, ජල සම්පාදන, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, යන ආයතනයන්හි වැය ශීර්ෂයන් පිලිබඳ විවාදය ආරම්භ කරමින් ,

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (ස.ජ.බ)-

විදුලි බල හා බල ශක්ති ඇමැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා ආගමික සිද්ධස්ථානවලට පනවා තිබෙන විදුලි බිල ගැන සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇතිවුණා. ඒක සමහර සිද්ධස්ථානවලට ප්‍රශ්නයක් නොවුනත් ග්‍රාමීය සහ දුෂ්කර සිද්ධස්ථානවලට ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය එම සිද්ධස්ථානවලට ලබා දෙන්න පුළුවන්නම් හොඳයි.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

රුපියල් බිලියන 850ක් වැය වෙනවා. පැවැති බලශක්ති මිල ගණන් ගියා. ඒත් උපයෝගිතා කොමිසම මිල සංශෝධනයෙන් දුන්නේ බිලියන 500යි.

ඒ නිසා කවුරු ඇමැති වුණත් විදුලි බිල නැවත වතාවක් සංශෝධනය නොකර මේ ගමන යන්න බෑ.

පැය 24 විදුලිය දෙන්න බැරි නම් වැඩක් නැහැ. අපි ලබන වසරේ ජනන සැලැස්ම ඉල්ලුවා. මණ්ඩලය සැලැස්ම දුන්නා. වර්ෂාපතනය ලැබෙන්නේ නැත්නම් ඒකකයට 56.90ක් වැය වෙනවා. දැන් රුපියල් 29යි අය කරන්නේ. ජනන වියදම වසරකට බිලියන 423ක පාඩුවක් එමගින් තියෙනවා. ඉන්ධන, දැවිතෙල්, ගල්අඟුරු ගත යුතුයි. පසුගිය සතියේ ගාස්තු සංශෝධනයට නැවත ගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.

අද අර්බුදය නිසා ජනජීවිතය අඩාල වෙලා.

ටෙන්ඩර්වලින් පිට ඇනවුම් දෙන බවට පාර්ලිමේන්තුවේ චෝදනා කළා. මම මේ වසරේ ටෙන්ඩර් දාපු විස්තර දුන්නා. ටෙන්ඩර් දැමීමට කවුරුවත් ඉදිරිපත් වන්නේ නෑ. රටේ තත්ත්වය නිසා. ඩොලර් හිඟය බලපානවා. පසුගිය කාලයේ ඉන්ධනවලට අවශ්‍ය ඩොලර් දුන්නේ මහ බැංකුව හා රාජ්‍ය බැංකු දෙකයි. එයත් ඩොලර් මිලියන 200 ක් පමණ ලබා ගත්තේ කිව්. ආර්. ක්‍රමය නිසා කළමනාකරණය කර නොගත්තා නම් අදත් පෝලිම් පවතිනවා.

ත්‍රිරෝද රථ 65000ක ලීටර් 10ක් දෙනවා. බස් රථ 17000ක් ඕනම ඉන්ධන පිරවුම්හලකින් ඉල්ලපු ප්‍රමාණට ආසන්න ප්‍රමාණයක් දෙනවා. ඊළඟ මාස දෙක ඇතුළත පාසල් ළමුන්, සේවක ප්‍රවාහන බස්වලට සහන දෙන්න.

විදුලිබිල ආගමික සිද්ධස්ථාන වගේ හැම කෙනාගෙම බිල වැඩි කළා. සෞඛ්‍ය අංශවල කටයුතු අඩාල නොවන ආකාරයට බිල අයකිරීම් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. විහාරස්ථාන 134ක් විදුලි බිලෙන් නිදහස් කර තිබෙනවා. පන්සලට බිල ගෙව්වෙත් මණ්ඩලයයි. උපයෝගිතා කොමිසම කිව්වා කාගෙවත් බිල් ගෙවන්න එපා කියලා. ඩොලර් මිලියන 100 ක් ඉන්දියානු ණය මුදලක් ලැබෙනවා ආගමික ස්ථාන රජයේ ගොඩනැඟිලි හමුදා කඳවුරු ගොඩනැගිලිවලට සූර්ය බලශක්ති පැනල් ලබා දෙන්න. මාස කිහිපයක් ඇතුළත සිදුකරනවා.

ඉන්ධන මිල පාඩු ලැබුවා. දැන් යාවත්කාලීන කර තියෙනවා. ගල්අඟුරු තවම ගත්තේ පසුගිය වසරේ ගේවපුවායි. අලුතෙන් ටෙන්ඩර් කැඳවුවෙත් ඊයේයි.

නිලධාරීන්ට චෝදනා කරන්න ඉඩ තියන්න එපා. කෝප්, කෝපා හෝ වෙනත් කටයුතු මාධ්‍ය සංදර්ශන වගෙයි. ඒ වගේ වෙන්න ඉඩ තියන්න එපා. දෙසැම්බර් මස 01 වනවිට සංචාරක කලාප 17 අඛණ්ඩව විදුලිබ ලබාදීමට පියවර ගන්නවා. ඊට විපක්ෂයේ අය විදුලිබිල සංශෝධනයට විරුද්ධ වෙන්න එපා. අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි විය යුතුයි.

රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර

රටේ ආර්ථිකය කඩා වැටෙන අවස්ථාවක රජය රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට විශාල කාර්යක් ඉටු කළා.

තාප විදුලි බලාගාරවලින් මුදල් විශාල ප්‍රමාණයක් පිටරටට යනවා. විකල්පයක් ලෙස පුනර්ජනනීය ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමට විශාල කාර්යයක් මේ වනවිට සිදු කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් වාසුදේව නානායක්කාර

පෙට්‍රල්වල මිල සූත්‍රය ගැසට් කර නැහැ. සූත්‍රය හදලා හුඟක් කල්. පුනර්ජනනීය බලශක්තිය මිලදී ගන්නෙත් සූත්‍රයකට. ඒවා අපි දන්නෙ නෑ. විගණකාධිපති ගණන් බලනවාද අපිට දැනගත යුතුයි. විදුලිබල මණ්ඩලයේ අලාභය මූල්‍ය කළමනාකරණයේ දුර්වලකමයි. මේ තත්ත්වය නිවැරදි නොකර ජනතාව පිට බර පටවන්න එපා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ්‍රීලපොප)

රජයෙන් කරන්න ගිය ඉදිකිරීම් රැසක් නවතා දැමීම නිසා මහනුවර ජනතාව අසරණ වෙලා. ජල සම්පාදන ව්‍යාපෘති, අපජල ව්‍යාපෘති නතර වෙලා. මහවැලි ජලය පිරිසිදු කර ලබාදීමේ ජයිකා ව්‍යාපෘතිය අද වනවිට මහනුවර ජනතාව මහත් පීඩාවක් වෙලා. මීට විශාල මුදලක් වැය කළා. තැන තැන කාණු ඉදිකර අතරමඟ නවතලා. මේ තත්ත්වය නිවැරදි කරන්න පියවර ගන්න. රුපියල් මිලියන 950ක් අයවැයෙන් මේ සඳහා මෙවර වෙන් කරලා. මේවා දෙන කොන්ත්‍රාත්කරුවන් කවුද හිත මිතුරන්ද?

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ මේ රට නොබලා වෙන රටවලට යන කාලයක්. ණයවර ලිපියක්වත් ගන්න බැහැ. රටේ සිද්ධීන් වැරදි විදිහට විවේචනය කරන්න එපා. අඩුපාඩු වැරදි තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කමිටු තියෙනවා කතා කරන්න. අපි කරන වැරදි ප්‍රචාර නිසා හානි වන්නේ රටටයි ජනතාවටයි. විදුලිය බලශක්තිය කඩා වැටුණත් මේ යාන්ත්‍රණ දුවන්න බැහැ. එය හරියට ක්‍රියාත්මක කර ගත යුතුයි. අභූත චෝදනා නඟන්න එපා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරාල (ශ්‍රීලපොපෙ)

ඉදිරි දශකයේ ලෝකයට ඇති විශාලම අභියෝගය බලශක්ති හා ජලයයි. ඊට රටවල් අතර තරගයක් ඇති වේවි. සංචාරක ව්‍යාපාරය අඩාල වුණාට දැන් හිස ඔසවා තිබෙනවා. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ජල ව්‍යාපෘතිවලට විශේෂ වියදමක් කළ යුතුයි. මුහුදුබඩ කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පානීය ජලය උග්‍ර අර්බුදයක් පවතිනවා. ඊට වහා විසඳුම් අවශ්‍යයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර

විදුලිබල මණ්ඩලය රාජ්‍යයේ තබාගෙන බෙදාහැරීම පළාත් නවයකට බෙදා හැරියහොත් කාර්යක්ෂම වන බවට යෝජනා ඇවිත් තියෙනවා. එමගින් පාඩු විශාල ලෙස අඩු කරගත හැකියි. අලුතෙන් විදුලි සැපයුම දෙන්න අවශ්‍ය භාණ්ඩ මීටර් දැන් නෑ. ග්‍රාමීය ප්‍රදේශවල මේ ප්‍රශ්නය උග්‍රයි. මීට යම් ප්‍රමුඛතාවක් දෙන්න. ලබන ජනවාරි සිට වැස්ස අඩුයි. පායන කාලයක් එනවා. ඒ නිසා පුනර්ජනනීය වැඩපිළිවෙළ හැදිය යුතුයි. ඒවා නොකර හදිසි මිලදී ගැනීම් කරන්න මුදල් ඉල්ලා තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) –

පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය තුළ හොඳ ආයෝජකයන් පිරිසක් අපේ රටේ සිටිනවා. ඔවුන් විදේශ රටවල මේ වන විට ඒ කටයුතු කරනවා. ඔවුනට අපේ රට තුළත් එම අවස්ථාව ලබා දිය යුතුයි. පුනර්ජනනීය බලශක්ති පනත පසුගියදා වෙනස් කළා. නමුත් තවම ඒකෙන් වැඩක් අරගෙන නෑ. දැන් සුළං බලයෙන් ක්‍රියාකරන විදුලි ජනක යන්ත්‍ර ගෙනැල්ලා තිබෙනවා. ඒත් ඒවා වරායෙන් නිදහස් කරගන්න අවශ්‍ය වන ඩොලර් ටික මහ බැංකුවෙන් දෙන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන්න නම් ගල්අඟුරු ටික අවශ්‍ය වෙනවා. ඒ ගල් අඟුරු හිඟයකින් තොරව ගෙන්වන්න කටයුතු කරන්න. දැන් අපේ ධීවරයට අවශ්‍ය ඉන්ධන ටික ලැබෙන්නේ නෑ. ඒක මම දකින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසයි. මොකද අපේ මත්ස්‍ය සම්පත ඉන්දියානු ධීවරයන් ඇවිත් නෙළාගෙන යනවා.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා –

මේ රටේ ආර්ථිකය කඩාවැටුණේ ජනාධිපති ගෝඨාභය යටතේ නෙවෙයි. 2015 ජනවාරි 08 දා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වෙලා සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූ පසුවයි. එම කඩාවැටීම ආරම්භ වුණේ පාස්කු ප්‍රහාරය හමුවේ සංචාරක ක්‍ෂේත්‍රය කඩාවැටිලා තිබුණු මොහොතකයි. ගෝඨාභය ජනාධිපතිතුමා රට භාරගත්තේ. කොවිඩ් 19 වසංගතය නිසා රටේ ආර්ථිකය කඩාවැටීම ආරම්භ වුණා. ලෝක තත්ත්වය හමුවේ මේ රටේ කැරලි ඇතිවුණා. නොවෙයි ඇතිකළා. කොහොම වුණත් මේ වන විට අපි පිරිසිදු පානීය ජලය සියයට 59.7 කට අපි ලබා දෙමින් සිටිනවා. දැන් අපි නොසිතන විදියට පානීය ජල ඉල්ලුම වැඩිවෙමින් තිබෙනවා. ජල මණ්ඩලයෙන් ඒ පිරිසිදු ජලය අපෙන් ලබාගන්නකොට අපට ශත 02 ක ලාභයක් තිබෙන්නේ. නමුත් ඒක කඩේකින් ගත්තොත් රුපියල් 150 ක් පමණ වෙනවා.

පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (සජබ) –

රටක පැවැත්මට බලශක්තිය ඉතාමත් වැදගත්. ඒ ක්‍ෂේත්‍රය කඩාවැටීමත් සමඟයි මේ රටේ මහා කඩාවැටීමක් ඇතිවී සමාජ පෙරළියක් ඇතිවුණේ. මේ කාලය ජනතාවට ඉතාම අසීරු කාලයක්. ඒ තත්ත්වයට මේ බලශක්ති ක්‍ෂේත්‍රයත් විශාල වශයෙන් බලපානවා. මේ දිනවල තෙල් ගෙන්වීමට ඩොලර් මිලියන 6000 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ හරහා මහා දූෂණයක් වෙනවා. අපි දැක්කා තෙල් නැව් ගෙනල්ලා මුහුදේ තියාගෙන ඉන්නවා. ඒකට ප්‍රමාද ගාස්තු විශාල වශයෙන් වැය වුණා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) –

අදත් බොන්න වතුර ටික නැතිව ජනතාව දුක් විඳිනවා. හිටපු ජනාධිපතිවරයා මහා සංදර්ශන තිබ්බත් කිසිම දෙයක් සිදු වී නෑ. එදා ඇති කළ ව්‍යාපෘතීන්ට කිසිම සැලැස්මක්, ක්‍රමවේදයක් නැතිව පටන් ගත්තේ. රුපියල් කෝටි 1000 ක් ඒ ව්‍යාපෘතියට වියදම් කළා. නැව් පිටින් බට ගෙනාවා. ඒවා තැන්තැන්වල ගොඩ ගහලා. කෝටි 400 ක් පමණ බටවලටම වියදම් කළා. ගෝඨාභය පැනලා ගිය වෙලාවේ ජලසම්පාදන ලේකම් ප්‍රියත්බන්දු වික්‍රමත් පැනලා ගියා.

විදේශ ණය මත ව්‍යාපෘති රැසක් ජලසම්පාදනයේ ක්‍රියාත්මකයි. ව්‍යාපෘති ආරම්භ කරලා අතරමඟ නතර වෙනවා. අත්තනගල්ල ජල ව්‍යාපෘතිය 2017 පටන් ගත්තා. 2020 ඉවර කරන්න තිබුණා. අද වෙනකම් අවසන් කර නෑ. කටාන ජල ව්‍යාපෘතියත් 2017 පටන් ගත්තේ. වසර 3 කින් ඉවර වෙන්න. ඒත් තවම එකතැන. ආණමඩුව ජල ව්‍යාපෘතිය 2016 පටන් ගත්තේ අද වෙනකන් ක්‍රියාත්මක නෑ. ගත්ත ණය මුදලට මොකද වුණේ. විදේශ ණය මත ගත්ත ව්‍යාපාති ක්‍රියාත්මක නොවී නතර වෙනවා. මේ මූල්‍ය අපරාධ කරපු අයට කිසිම නීතියක් ක්‍රියාත්මක වන්නේ නෑ. බොරතෙල් පිරිපහදුවෙන් ලංකාවේ තෙල් අවශ්‍යතාව සැපිරුවා. ක්‍රමයෙන් අඩු වුණා. තෙල් පිරිපහදුව වසා දැම්මා. අද බොරතෙල් නැවට සල්ලි

ගෙවාගන්න බැහැ. තෙල් පිරිපහදුව අපට සම්පතක්. නිෂ්පාදන රැසක් රටට ලබා දුන්නා. ආර්ථිකයට විශාල ශක්තියක් වුණා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ –

තෙල් බෙදාහැරීම තවත් සමාගම් කිහිපයක් සමඟ තරගයට සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙමගින් තරගකාරීව ජනතාවට තෙල් ලබාදීමට හැකියි. තෙල් සංස්ථාවට පාඩුව දරන්න බැහැ. එය අඩු කිරීම අත්‍යවශ්‍යයි. ලංකාවට අදානි සමාගම ආයෝජනයට ඉදිරිපත් වී සිටිනවා. ඔහුට විවිධ චෝදනා එල්ල කරමින් විපක්‍ෂය කටයුතු කරනවා. විදුලිය ආයෝජනය අත්‍යවශ්‍යයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) –

ගෑස් එකට රුපියල් 80 ක් වැඩි කළා. පාඩු පිට යන්නේ කියලා පසුගියදා විශාල පාටියක් තිබ්බා වෝටර්ස් ඒජ් එකේ. ජනතාවට ඉවසන්න කියනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ) –

මේ අය වැයෙන් අමාත්‍යාංශ දැවැන්ත ප්‍රමාණයකට මුදල් වෙන් කරලා. ජනතාවගේ මුදල් අපි බලයට ආවා නම් අමාත්‍යාංශ 15 කට අඩු වෙනවාමයි. ජනාධිපතිවරයා ස්ථාවර නියෝග කඩකරනවා. ඔහුට එහෙම කරන්න බැහැ. ඔහු රටේ ප්‍රශ්න විසඳන්න මුල් තැන දිය යුතුයි. අද විපක්‍ෂ නායකවරයාට ඇඟිලි දික්කරමින් ඉන්නවා. වැඩක් කරන්නේ නෑ. රටේ නායකයා දන්නවා රට හරි පාර

ගෙනියන්න පුළුවන් සජබයට විතරයි කියලා. ඔහු අපේ මන්ත්‍රීවරුන්ගෙන් විස්තර අහනවා.

මුහුදේ දින 48 තියෙන බොරතෙල් නැව කාගේද? ඒවා හෙළි කරන්න. ඇමැතිවරයා කරන්නේ ජ්‍යෙෂ්ඨයන් ගිය මගයි. කොරල් එනර්ජි සමාගමේ නැවක් තිබෙන්නේ. රටේ ජනතාව තවමත් විශාල අර්බුදයක ඉන්නේ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –

විදුලි බිල ජනතාවට දරන්න බැහැ. නමුත් පාඩුව දරාගෙන ජනතාවට අඩු මිලට විදුලිය දීම නිසා මණ්ඩලයට දරන්න බැරි පාඩුවක් සිදුවෙනවා.

නිෂ්පාදිත පිරිවැය අයකර ගන්න. පසුගිය අවුරුදු 10 ටම මෙගාවොට් 100 යි හදලා තියෙන්නේ. අදත් හදිසි මිලදී ගැනීම් වැඩි මිලට කරන්න වෙනවා. ජනන සැලැස්මට අනුව බලාගාර හදපු නැති නිසා එහි පාඩුවත් ජනතාව පිට ගිහිල්ලා. බලාගාර හදන්න මණ්ඩලයේ සමහරු කැමති නෑ. හදිසි මිලදී ගැනීම් කරද්දී කොමිෂන් එනවා. බලාගාර හැදුවොත් එය නැතිවෙනවා. සේවක අතිරික්තය විශාලයි. අවුරුදු 5 ට සේවකයන් දස දහසක් වැඩිවෙලා. විදුලි සම්බන්ධතා දෙන්නේත් විසන්ධි කරන්නේත් පුද්ගලිය සමාගම්. සියලු දේ කරන්නේ පුද්ගලික අංශය. මේ කොන්ත්‍රාත් කරන්නේ මණ්ඩලයේ අයගේ පිරිස්. සියලු පෞද්ගලික සේවා අවලංගු කරන්න. විශාල මුදලක් ගන්නවා මණ්ඩලයේ නිලධාරීන්. සේවකයන් 26,000 ක් ඉන්නවා. ඔවුන්ගෙන් කරගන්න. මණ්ඩලය පැත්තෙන් සිදුවිය යුතු පාඩුව අඩුකර ගන්න.

මණ්ඩලයට වාහන 1500 ක් තියෙනවා. පිටින් හයර් කරනවා 1500 ක්. ඒ හයර් කරන ඒවායින් බාගයක් ඉංජිනේරු මහත්වරුන්ගේ. බාගයක් විදුලි අධිකාරිවරුන්ගේ. මේවා නවත්වන්න.

මණ්ඩලය කඩන්න කෑලි 3 කට. ඒ බෙදාහැරීම වෙනම දෙන්න. මේ මගින් පාඩුව අවම කර ගන්න පුළුවන්. බිල විතරක් වැඩි නොකර ජනන සැලැස්ම හා මණ්ඩලය තුළ අඩුපාඩු සකස් කරගත්තොත් රුපියල් 10 කින් විතර පාඩුව අඩුකර ගන්න පුළුවන්.

පාර්ලිමේන්තුව අද (25දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment