විදුලි ඒකකය රු. 30ට දෙන පුනර්ජනනීය ව්‍යාපෘති අවලංගු කරන්න කැබිනට් පත්‍රිකාවක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් – සංජීව ධම්මික

189

මාස තුනක් හදිසි විදුලිය ගත්තොත් බිලියන 40ක් යනවා

ඉදිරි වියළි මාස 3 ක කාලයක් සඳහා රටේ ඉල්ලුමෙන් 10%ක් ප්‍රමාණයක් හදිසි විදුලි මිලදී ගැනීම්වලින් සිදු කළහොත් ජනතාවගේ මුදල් රුපියල් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. එමෙන්ම විදුලි ඒකකයක් රුපියල් 30 බැගින් මිලදී ගැනීමට හැකි යෝජිත සූර්ය සහ සුළං විදුලි ව්‍යාපෘති මෙගා වොට් 200ක් පමණ අවලංගු කිරීමට කංචන විජේසේකර ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ඔහු කීවේය. කොළඹදී 11 දා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

පසුගිය ජූලි (31 දින) ජන හමුවකදී විදුලි බල සහ බලශක්ති ඇමැතිවරයා විසින් සමනල වැවේ පවතින ධාරිතාව ගොවිතැන් කටයුතු සඳහා නිකුත් කළහොත් සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිත දිස්ත්‍රික්ක 4 කට දිනකට පැය 4 බැගින් විදුලිය කපන බව ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය අර්ථකථනය කිරීමේදී ජල විදුලිය නිපදවීම සඳහා රටේ ජලාශවල පවතින්නේ සීමිත ජල ප්‍රමාණයක් බවත් එම ජල ප්‍රමාණය ගොවිතැන් කටයුතු සඳහා නිකුත් කළහොත් රටට විදුලිය සැපයීමට වෙනත් විකල්පයක් නොමැති බවටත් නිගමනය කළ හැකිය. තවදුරටත් එම කරුණ සනාථ කරමින් පසුගිය අගෝස්තු 08 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා සඳහන් කළේ හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යොමුවීමට සිදු වන බවයි. දැනට පවතින වෙළඳපොළ මිල ගණන් අනුව ඩීසල් හෝ දැවී තෙල් වලින් නිපදවන විදුලිය සඳහා අවම වශයෙන් විදුලි ඒකකයක් සඳහා රුපියල් 100ක් පමණවත් වැය වනවා.

ඒ අනුව ඉදිරි වියළි මාස 3 ක කාලයක් සඳහා රටේ ඉල්ලුමෙන් 10%ක් ප්‍රමාණයක් හදිසි විදුලි මිලදී ගැනීම්වලින් සිදු කළහොත් රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යනවා. එමෙන්ම එම මුදල් ඩීසල් සහ දැවී තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් බවට මාරු කර රටෙන් පිටතට විදෙස් විනිමය යෑම ද සිදුවෙනවා. මෙම සමස්ත ක්‍රියාදාමය තුළ ඉමහත් විමතියට පත්වන කාරණාවක්ද තියනවා. ඒ මෙවැනි විදුලිය හිඟ සහ හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකරන මෙම කාල වකවානුවේදීම වර්තමාන විදුලි බල ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සන්දේශයක් සම්බන්ධයෙන්.

2023 අගෝස්තු මස ඉදිරිපත් කර ඇති එම කැබිනට් සංදේශය අනුව ටෙන්ඩර අනුසාරයෙන් අඩුම ලංසුවලට 2020, 2021, 2022 වර්ෂවල ප්‍රදානය කර, ඉඩම් මිලදී ගෙන ලංවිම සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් තැබීමට යෝජිත සූර්ය සහ සුළං විදුලි ව්‍යාපෘති මෙගා වොට් 200ක් පමණ අවලංගු කිරීමට ඇමැතිවරයා යෝජනා කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සංවර්ධනය කරන දේශීය ආයෝජකයන් මේ කැබිනට් සංදේශය නිසා ඉමහත් කනස්සලට සහ අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් මේ වන විට මෙම ව්‍යාපෘති වෙනුවෙන් යට කර ඇති ආයෝජනය රුපියල් බිලියන 2කට අසන්නයි. රටක් වශයෙන් මෙහි ඇති අවදානමද ඉමහත්.

මේ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති මඟින් රුපියල් 30/- ක පමණ මිලකට විදුලි ඒකකයක් මිලදී ගත හැකියි. එම ව්‍යාපෘතිවලින් බොහොමයක් ඉදිරි මාස 12 ඇතුළත ජාලගත කළ හැකි තත්ත්වකට සංවර්ධනය කර තියෙනවා. ඒ තුළින් වසරකට විදුලිය ඒකක මිලියන 350ක් පමණ ජාතික පද්ධතිය වෙත සැපයීමට හැකියි. ඩීසල් වලින් මිලදී ගන්නා විදුලි ඒකකයකට වඩා 70% අඩුවෙන් මෙම පුනර්ජනනීය බලාගාරවලින් විදුලිය ලබා ගත හැකියි. ඒ සඳහා ගෙවන මුදල්ද රටේ දේශීය යෝජකයා අතටයි පත් වෙන්නේ. ඩීසල් මිලදී ගැනීම සඳහා රටෙන් පිටතට යැවෙන ඩොලර් මිලියන ගණනක් රට තුළම ඉතිරි වෙනවා. එහෙත් එම පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති සියල්ල අවලංගු කිරීමට ඇමැතිවරයා සැරසෙනවා. මෙම පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති අවලංගු නොකර ඒ සඳහා යම් සාධාරණ මිලක් නියම කළහොත් රටට සිදුවන ආර්ථික වාසි බොහෝයි. එය ඇමැතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට නොතේරීම රටේම අභාග්‍යයක්.

● අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment