බාහිරින් හැඩිනොවී, හැඩවිය යුතු පොත් කම්භය

පොතක අන්තර්ගතයේ සාර අසාර භාවය එහි පිටවැස්මෙන් මැනිය නොහැකිය යන්න බොහෝ අය තුළ ඇති ආකල්පයකි. නමුත් සත්‍යය නම් අප බොහෝ දෙනෙක් පොත් තෝරා ගන්නේ එහි කවරය මත විශාල අවධානයක් යොමු කිරීමෙන් බවයි. කෙසේ වෙතත් පොත් කවර නිර්මාණයට දිගු ඉතිහාසයක් ද තිබේ. එය ඒ ඒ කාලයට හා නිර්මාණ තාක්ෂණයට සාපේක්ෂව දිගු ගමනක් පැමිණ තිබේ. බොහෝ අය මෙහි නිර්මාණාත්මක ඉතිහාසය 19 වන සියවසේ සලකුණු කළත් ඉතිහාසය පිරික්සීමේ දී ඉන් එහා අවස්ථාවන් ගණනාවක් ද අපට හමුවේ.

දැනට ලෝකයේ විවිධ පුස්තකාලවල සංරක්ෂණය කර ඇති දහනව වන ශතවර්ෂයේ මුල් භාගයට පෙර, රන්, රිදී සහ ස්වර්ණාභරණ වැනි ද්‍රව්‍ය භාවිතා කරමින් කවර නිර්මාණය කළ සුඛෝපභෝගී මධ්‍යකාලීන අත්පිටපත් අතින් බැඳ තිබූ පිටපත් හමුවේ. වසර සිය ගණනක් තිස්සේ මිල අධික ලෙස මුද්‍රණය කරන ලද හෝ අතින් සාදන ලද පොත් සඳහා ආරක්ෂිත උපාංගයක් ලෙස පොත් කවර නිර්මාණය කර ඇති බව එහිදී හඳුනාගත හැකිය. අනෙක් අතට එය ඔවුන්ගේ සංස්කෘතික අධිකාරියට අලංකාර උපහාරයක් ලෙසත් ක්‍රියාත්මක වී තිබේ. 1820 ගණන්වල දී යාන්ත්‍රික පොත් බැඳීම සඳහා ක්‍රමානුකූලව විවිධ ක්‍රම හඳුන්වා දීමත් සමඟ පොතක් ආවරණය කළ හැකි ආකාරයෙහි කවර නිර්මාණයන් හි විශාල වෙනස්කම් සිදු වීමට පටන් ගත්තේය. එහිදී රෙදි සහ පසුව කඩදාසි වැනි අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉතා ලාභදායී ලෙස පොත් කවර නිර්මාණය කිරීම ඇරඹිනි. වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මුද්‍රණ යන්ත්‍ර සහ යාන්ත්‍රිකව නිපදවන ලද කඩදාසි සොයාගෙන තිබීම මෙයට ප්‍රබල හේතුවක් විය. ග්‍රැෆික් නිර්මාණකරණයේ වෘත්තීමය පරිචයන් මෙන්, දහනවවන සියවසේ පෝස්ටර් නිර්මාණකරුවන්ගෙන් උකහා ගත් ශිල්පීය ක්‍රම, ක්‍රමයෙන් පොත් කර්මාන්තයට ඇතුළු විය. පොත් කවරය පොතේ පිටු සඳහා ආරක්ෂාවක් පමණක් නොව, ප්‍රචාරණ කාර්යය ද භාර ගනිමින් සහ ඇතුළත ඇති පෙළ පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමක් බවට ද එය ක්‍රමයෙන් පත් විය.

The Yellow Book සඟරාව සඳහා ඕබි්‍ර බෙයර්ඩ්ස්ලි විසින් කරන ලද කවර නිර්මාණය පොත් කවර නිර්මාණ කලාවේ වාණිජමය සහ කැපී පෙනෙන පළමු උදාහරණය ලෙස අද සලකනු ලබන අතර එය 20 වන සියවසේ මුල් භාගයේ පොත් කවර නිර්මාණය සඳහා විශාල බලපෑමක් එල්ල කළේය. එසේම සෝවියට් දේශයේ ඇලෙක්සැන්ඩර් රොඩ්චෙන්කෝ සහ එල්. ලිසිට්ස්කි වැනි කලාකරුවන් රැඩිකල් ලෙස නවීන පොත් කවර නිර්මාණය කිරීමත් සමඟින් රුසියානු ඇවන්ගාඩ් චිත්‍රශිල්පය පොත් කවර නිර්මාණයේ කලාව ඉදිරියට ගෙන යෑමට සුවිශාල බලපෑමක් කළේය.

විවර නොවන පිට කවර කතාව…

පොත් කවර නිර්මාණය ගැන ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම පොත්කවර නිර්මාණ ශිල්පියෙකු වූ මහගම සේකර මහතා එකල පුවත්පත් ලිපියක මෙසේ ලියා තිබුණි. “පොතකට පිටකවරයක් ඇඳීම අමාරු වැඩකි. පොත දුටු පමණින්ම පාඨකයාගේ සිත් ඇදගැනීමට ද, පොතේ අන්තර්ගත විෂය පිළිබඳ සාමාන්‍ය හැඟීමක් ඇති කිරීමට ද කවරයේ චිත්‍රය සමත් විය යුතුය. ඉහත දී සිත්තරා කළේ තාත්විය චිත්‍රයක් පොතේ අන්තර්ගතයට අනුව චිත්‍රයට නැගීමයි. අද තත්වය ඊට වඩා වෙනස් ය. එම්. සාර්ලිස්, ජී. එස්. ප්‍රනාන්දු, ජී. එල්. ගෞතමදාස, සිරි ගුණසිංහ ආදීන්ගේ ඇසුරෙන් දියුණුවට පත් වූ මෙරට පිටකවර කලාව ජාත්‍යන්තර මට්ටමින් බැලුවත් උසස්කොට සැලකිය හැකි තත්වයකට දැන් පැමිණ ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස වර්ධනය වීමත් සමග එහි නිමාව ගැන සුවිශේෂ අවධානය යොමු කරන්නට ප්‍රකාශකයින් හා මුද්‍රණකරුවන් උත්සුක වුණි. ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ පොත් කවර නිර්මාණ ශිල්පී ඒ. ඩී. රංජිත් කුමාර මහතා; “ලංකාවේ පොත් කවර නිර්මාණය මුලින් පැවතියේ හුදෙක් අකුරු පමණක් සහිත තනි වර්ණයේ කවර විදියට. නමුත් නූතනයේ දක්නට ලැබෙන චිත්‍ර හෝ ඡායාරූප භාවිතය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වෙන්න ඕනේ එම්. සාර්ලිස් කියන සිත්තරාට. ඉන් පසුව ජී. එස් ප්‍රනාන්දු, ජී. එල්. ගෞතමදාස, සිරි ගුණසිංහ වැනි සිත්තරුන් මෙය වඩාත් වැඩි දියුණු කලා. ඒ චිත්‍ර ස්වභාවිකත්වයට නැඹුරු වූ ඒවා. නමුත් මේ අතරින් ජී. එල්. ගෞතමදාස මහතා නිර්මාණාත්මක චිත්‍ර ශිල්පය මේ සඳහා භාවිතා කරන්න පටන් ගත්තා. මොකද ඒ වෙනකොට 1935 දී ලෝකයේ ඉතා විශිෂ්ට ප්‍රකාශන සමාගමක් වන පෙන්ගුයින් පොත් පෝටේ්‍රට් චිත්‍ර කවර සඳහා භාවිතා කරන්න පටන් ගත්තා. එයත් අපට යම් බලපෑමක් කරන්න ඇති මේකෙදි කළේ පොතේ අන්තර්ගතය කියවලා චිත්‍රශිල්පියා තමන් කැමති ආකාරයේ චිත්‍රයක් කතුවරයා සමග සාකච්ඡා කර නිර්මාණය කළා. අකුරු පවා ඇන්දේ අතින්. චිත්‍ර ශිල්පියෙකු වීම එදා කවර නිර්මාණයට මහත් පිටිවහලක් වුණා” යනුවෙන් පැවසීය.

නූතන පිටකවර කලාව සමාජීය ගතිකයන්ගේ ස්වරූපයන් සමග වෙනස් වෙමින් පුළුල් වන ආකාරය නූතනයේ දැකිය හැකිය. ඒ තුළ පොතේ ආරක්ෂාව කියන මූලික පිළිගැනීම එසේම තිබියදී එය අභිබවමින් ඇසුරුම්කරණය වැනි අලෙවිකරණ දිශාවකට පොත්කවර නිර්මාණය ගමන් කරමින් තිබේ. විද්‍යාව හා තාක්ෂණයේ නොවූ විරූ දියුණුවත් සමග මෙම කර්මාන්තය ද වේගයෙන් වෙනස්වීමට පටන් ගැණුනි. පරිගණක භාවිතය හා ග්‍රාපික ශිල්පය පැමිණීමත් සමග නිර්මාණාත්මක කලාවේ දිගු පිම්මක් පැනීමක් ඇති විය. අද අප දකින බොහෝ පොත් කවරවල දීප්තිමත් වර්ණ සහ තද අකුරු ඇතුළත් වේ. කෙසේ වෙතත්, කාලයත් සමඟ පොත් කවර නිර්මාණ ක්ෂේත්‍රයේ විවිධ හැඩයන් මතුවෙමින් පවතින බවද දැකගත හැකිය. ඒ සියල්ලන්ටම බලපාන පොදු දෙයක් තිබේ. ඒ අද පොත් කවර නිර්මාණකරුවන් රාමුවෙන් පිට සිතන්නට බිය නොවීමයි.

නූතන පොත් කවර නිර්මාණ ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයක් වන දිනිඳු සිරිවර්ධන නූතන කවර නිර්මාණ ශිල්පය ලබා ඇති දියුණුව සම්බන්ධව දක්වන්නේ මෙවැනි අදහසකි. “නූතන පොත් කවර කලාවේ පොතේ අන්තර්ගතය ගැන ඍජුවම කියවෙන නිර්මාණ සිදුකරන්නේ නෑ. යුරෝපයේ සිදුවූ “සැහැල්ලු කවර විප්ලවයෙන්” (Paper – back Revolution) පස්සේ කවරය අලෙවිකරණ උපකරණයක් හැටියට භාවිතා වෙන්න පටන් ගත්තා. මෙම විප්ලවය ප්‍රකාශන කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියට සැලකෙනවා. එක් එක් යුගවලදී ලෝකයේ සුසමාදර්ශයන් වෙනස් වෙනවා. දැන් ඍජු අන්තර්ගත ප්‍රකාශනයක් වෙනුවට කෘතියේ අන්තර්ගතය හැඟවෙන නිර්මාණාත්මක අදහසක් තමයි කවරයෙන් පිළිබිඹු කරන්නේ. එය කවර නිර්මාණ ශිල්පියාට පොත කියෙව්වාම එන අදහස. දැන් ව්‍යවහාරික කලාව හා ශුද්ධ කලාව බෙදා වෙන්කරන්න බෑ. ඒ දෙකේ මිශ්‍රවීමක් තමයි තියෙන්නේ. එය පොත් කවරවලටත් බලපානවා. පොත් කවරයක් දැන් පද්ධතිමය ප්‍රකාශයක්. ඒක ඇතුලේ කලාව, වෙළඳපොළ, එහි මනෝ මූල සාධක, ඉලක්කගත පාඨකයාගේ ස්වරූපය, කතුවරයාගේ සන්නාම වටිනාකම, ප්‍රකාශකයා ගොඩ නගා ඇති සන්නාම වටිනාකම වගේ ගොඩක් දේවල්වල එකතුවක් තියෙන්නේ. පොත් කවර නිර්මාණයේ දී මම බරපතල විදියට පද්ධතියම සැලකිල්ලට ගන්නවා.”

නූතනයේ පොත් කවරයක් යනු පොතේ ප්‍රචාරක හා ප්‍රවර්ධන දැන්වීම් පුවරුව වන අතර, පාඨකයා හෝ කතුවරයා නොදැන වුවද, එය පාඨක සමාජය තුළ අපේක්ෂාවක් දල්වයි. කිසියම් පාඨකයකු ආධුනික පෙනුමක් ඇති, ආකර්ෂණීය බවෙන් අඩු කවරයක් සහිත පොතක් දුටුවහොත්, එය ද දුර්වල කෘතියක් ලෙස විශ්වාස කිරීමට ඇති ඉඩ වැඩිය. පොත් කවරයේ මූලික අරමුණ ආරක්ෂාවේ සිට ප්‍රවර්ධනය දක්වා පරිණාමය වී ඇති අතර, වැඩි පාඨකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ සාර්ථක කරගැනීමට නම් පොතක කවරය මනා ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම වර්තමානයේ නොසලකාහැරිය නොහැකි කාරණයක් වී ඇත.

විවර නොවන පිට කවර කතාව…

නූතන නිර්මාණශීලී පොත් කවර නිර්මාණ ශිල්පියෙක් වන විකුම් ජිතේන්ද්‍ර සිය කාර්යය ගැන අදහස් දැකුවූයේ මේ ලෙසිනි. “කවර නිර්මාණ ශිල්පියාගේ කාර්යය වෙන්නෙ, කතුවරයාගේ වියමන දෘශ්‍ය පර්යාලෝකයකින් දැක, එය සංකේතාත්මක ලෙස කවරය නම් වූ අවකාශය තුළ වෙළෙඳපොළ ආරාධනාවක් සේ පෙළගැස්වීම. මේ වෙළෙඳමය කාරණාවේදි කවරය කියන දේ කලාවෙන් බාල වෙන්න බැහැ. මේ කාරණාව සමග යථාර්ථවාදී මෙන්ම අමුර්ත ශෛලීන් තුළ භාවිතාවේ නියැලි චිත්‍ර ශිල්පින් ලෝකයේද, ශ්‍රී ලංකාවේද පොත් කවර නිර්මාණය කර තිබෙනවා වගේම දැනටත් කරන බව අපි දන්නවා. ඔවුන් තම තමන්ගේ චිත්‍රීය සුවිශේෂතාව මගින් කවර කලාවේ අනන්‍යතා විශිෂ්ට ලෙස සටහන් කොට තිබෙනවා. ඒ වගේම ඡායාරූප ශිල්පයත් නූතන කවරය සමග සම්බන්ධයි. මේ දෙක මිශ්‍රව කොලාජිය ලෙස ද නිමැවුණු අවස්ථා ද අප දකිනවා. ඒ අනුව නිගමනය කරන්න වෙන්නෙ මෙය ‘සංස්ලේශී භාවිතාවක් සහිත ප්‍රකාශන වේදයක් ලෙස. කෙසේ නමුත් චිත්‍ර ශිල්පියෙක් නොවන්නෙකුට කවර නිර්මාණ ශිල්පියෙක් වෙන්න බැහැ කියලා මම හිතන්නේ නෑ. නමුත් ඔහුට හෝ ඇයට දෘශ්‍ය කලාවේ මූලික සිද්ධාන්ත පිළිබඳ හෝ දැනුමක් තිබීම අවශ්‍යයි කියලයි මගේ පෞද්ගලික මතය. චිත්‍රයේ, ඡායාරූපයේ එන සංරචනය වගේ කාරණා මෙහිදී අදාළයි. ඒවා තුළ සිරවී සම්ප්‍රදාය ගත වෙන්න නෙවෙයි රාමුවෙන් ඔබ්බට සිතීමට සහ වැඩ කිරීමට ඒ අවබෝධය අවශ්‍යයි. ඒ වගේම නිර්මාණශීලි පරිකල්පනය වඩවා ගැනීමට චිත්‍රකලාව පමණක් නොව සිනමාව ආදී වෙනත් කලාවන්ගේ ඇසුර ලැබීමත් මොළයට ලාභයක්. කෘත්‍රිම බුද්ධියෙන් පවා වැඩ ගැනීමට ඒවායෙන් රුකුලක් ලැබෙනවා. මුද්‍රණ යුගයට වඩා පිමි ගණනක් පැන්න මේ අන්තර්ජාල යුගයේ හැමෝම, කැමති, කැමති ලෙස පිටකවර නිර්මාණ ශිල්පියෝ ලෙස පමණක් නොව ඕනෑම කෙනෙක් ලෙස තමාව නිර්මාණය කර ගත හැකියි. ඉස්සර අනෙකාව අර්ථකථනය කළේ සමාජය සහ කතිකාව විසින්. නමුත් දැන් තමා කවුදැයි ලොවට පෙන්වන්නේ තමා මයි. මා දෙස මේ කෝණයෙන් බලන්න, මගේ සුවිශේෂතාව මෙයයි යන්න මේ යුගයේ නාසිස්මික සිංහනාදයක්. ප්‍රබන්ධ විශ්වයේ හැටියක්. නමුත් ඒ වෙනුවෙන්, අරමුණක පිහිටා වැඩ නොකරනතාක් එය හංසගීතයක්.”

තාක්ෂණික දියුණුවත් සමග පොත් කවර වඩාත් විචිත්‍ර (Sophisticated) නිර්මාණයක් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන් පරිගණක තාක්ෂණය ඒවායේ නව ප්‍රතිරූපය ගොඩනැගීමේදී ඉටු කරන කාර්යභාරය නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට වර්තමානයේ පත්ව තිබේ.

මේ කවර නිර්මාණ ශිල්පී මොල සෙනෙවිරත්න ඒ ගැන දැක්වූ අදහසක්; “අන්තර්ගතය සහිතව සහ රහිතව කියල පොත් කාණ්ඩ දෙකකට දාන්න පුළුවන්. තරගකාරී පොත් වගේම තරගකාරී නොවන පොත් වශයෙන්. තරගකාරී නොවන කාණ්ඩයේ සිංහල ශබ්දකෝෂය වැනි පොත් සඳහා වෙනම පිටවැස්මක් යොදනවා. වෙළෙඳපොළ තරගකාරී පොත් සඳහා අන්තර්ගතය සලකා වගේම නොසලකාත් කවර නිර්මාණය වෙනවා. කවරය කියන්නේ පොතේ අන්තර්ගතයේ සම්පූර්ණ පිළිබිඹුවක් වෙන්නේ නෑ. ඒකේ සංයුක්ත අදහසක් විතරයි. පරිගණක තාක්ෂණය නිසා නිර්මාණ ශිල්පියාට නොහිතන ප්‍රමාණයේ ඉඩක් හා වාසියක් ඇතිවෙලා තියෙනවා. ග්‍රැපික් නිර්මාණ කියලා කියන්නේ නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ නව දිගුවක්. එයින් කළ හැකි දේ අතිමහත්. එය අතීත දැනුම් ශිල්පය අතික්‍රමණය කිරීමක්. කවරයට අවශ්‍ය නිර්මාණය කිරීමට පරිගණකය වගේම අතීතයේ භාවිත කළ උපකරණ හා ආම්පන්නත් අද පවා පාවිච්චි කරනවා. විෂය දන්න අයට මේක ගැටලුවක් නෙවෙයි. පරිගණකයට වහල් නොවී පරිගණකය අපේ වහලෙක් කරගන්න ඕනේ. ඒ වගේම නිර්මාණාත්මක වෙනස් සිතීමක් පවා අවශ්‍යයි.”

ඉතාම යොවුන්වියේ පසුවන තරුණ පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙකු වන පවන් අංජන ඉතාම වේගයෙන් පොත් ප්‍රකාශන කර්මාන්තයේ අවධානය තමන් වෙත දිනාගත්තෙකි. ඔහු මේ ශිල්පය ගැන දරණ අදහස ද ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට බලපාන්නක් බව වටහාගත හැකිය.

විවර නොවන පිට කවර කතාව…

“ඉස්සරට වඩා දැන් කවර නිර්මාණය කරන එක ලේසි කියල ගොඩක් අය හිතනව. ඒත් ඒක ලේසි නෑ. පොත් කවර නිර්මාණය කියන්නෙ ව්‍යාපාරික අරමුණක්, වෙළඳපොළ භාණ්ඩයක් වෙනුවෙන් වෙන දෙයක්. ඒවගේම ඒකෙ ඇතුලෙ තියෙන්නෙ වෙනම ආර්ට් එකක්. පොතක් වෙළෙඳපොළ අලෙවි භාණ්ඩයක් විදිහට එද්දී එකේ මාර්කටින් කොටස ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. එතකොට ඒක වෘත්තීමය නිර්මාණකරුවන් අතින් නිර්මාණය විය යුතු දෙයක් විදියටයි මම දකින්නේ. ඒ කියන්නෙ පොතක් වෙළඳපොළ භාණ්ඩයක් නම්, ඒක වෙළඳපොළට යන ප්‍රඩක්ට් එකක් විදිහට එද්දි, ඒකට අවශ්‍ය මිලදී ගැනීම් පෙළඹවීම කවරය තුළ තියෙන්න ඕනේ. ඒක හැමෝටම කරන්න බෑ. ඒක ඊට අදාළ ඒ විෂයට ප්‍රාමාණික දැනුමක් තියෙන, ඒ විෂය තුළ ඉන්න මිනිස්සු අතින් නිර්මාණය විය යුතුයි. කවර නිර්මාණය ඒවගේ නිෂ්පාදන භාණ්ඩයකට කරන කටයුත්තක් වගේම ඒක අනිත් අතින් කලාකෘතියක්. එතකොට ඒවගේ කලාවක නිරත වෙන්න නම් ඒ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් සහ පුහුණුවක් තියන අය තමා ඒක නිර්මාණය කළයුත්තෙ. ඒත් සමහරු හිතනවා පරිගණකයෙන් කරන බැරි දෙයක් නැති නිසා හැමෝටම මේක කරන්න පුළුවන් කියල. ඒත් එහෙම බෑ. නමුත් උත්සාහ කරන්න පුළුවන්. ඒත් වෘත්තීමය නිර්මාණ සහ ඒ අතර වෙනස ඉක්මනින් හඳුනගන්න පුළුවන් වගේම ඒවගේ වැඩ අලෙවියේදි අසාර්ථක වෙනවත් මං දැකල තියෙනවා. පොතක් ප්‍රකාශනයේදී, ලිවීමෙන් එහාට ගිහිල්ල, ඒක වෙළඳපොළ භාණ්ඩයක් විදියට සාර්ථක වෙන්න නම් සුදුසු කවරයක් කියන්නෙ අත්‍යවශ්‍ය සාධකයක්. පොතක් වෙළඳපොළ තුළ අලෙවීමට නම් ආකර්ෂණයක් දිනාගත යුතුයි. ඒවගේම ඒකෙ ඇතුලෙ වෙන වටිනාකම් ටිකක් එකතු කරගන්න ඕනෙ. එතකොට වෙළඳපොළ තරගයෙන් ජය ගන්න නම් හොඳ කවරයක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනව පොතකට. පොතක් ලියනවා හා සමානවම කතුවරයා හා ප්‍රකාශකයා පොතක කවරය ගැන අවධානයක් දක්වන්න ඕනේ. නිර්මාණකරුවා චිත්‍රශිල්පියෙක් වීම වර්තමානය වෙද්දි අවශ්‍යම නෑ. මොකද මේ වෙද්දි නිර්මාණය කරන්නෙ පරිගණක හරහානෙ ඒනිසා ඒක අත්‍යවශ්‍ය නැ. නමුත් මම විස්වාස කරනව චිත්‍ර ශිල්පියෙක් වීම සහ චිත්‍ර කලාව පිළිබඳ උනන්දුවක් සහ කියවීමක් තියනවානම් වඩාත් හොඳයි. චිත්‍ර ශිල්පියෙකුට හොඳ පොත් නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුලුවන්. මොකද චිත්‍ර කලාව සහ සැළසුම්කරණයේදි (Designing) එක සමාන ප්‍රමිතීන් සහ එක සමාන නීතිරීති කිහිපයක් සමඟ තමා කටයුතු කෙරෙන්නෙ. චිත්‍රශිල්පියෙක් ඩිසයිනර් කෙනෙක් වෙද්දි ඩිජිටල් තාක්ෂණය ඇතුලේ චිත්‍ර අඳින්න හැකියාව තිබිය යුතුයි. ඒවගේම අදහස් සහ හැඟීම් අපූර්ව ආකාරයාට රූපමාධ්‍යට ගොනු කරගන්න කවර නිර්මාණශිල්පියා චිත්‍ර ශිල්පියෙක් උනා නන් ගොඩක් පහසුවක් තියනව. නමුත් චිත්‍ර ශිල්පියෙක් විය යුතුමයි කියන එක සාධාරණ නෑ. නමුත් චිත්‍ර ශිල්පය පිළිබඳ උනන්දුවක්, ඒ ගැන කියවීමක් තියනව නම් එහෙම කෙනෙක්ට හොඳ කවර නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන් කියල මං හිතනව.බී
කවර නිර්මාණ ශිල්පී විකුම් ජිතේන්ද්‍ර උපුටා දැක්වූ Writer’s Digest වෙබ් අඩවියේ පලවූ ප්‍රකාශය මෙය නිමා කරන්නට කදිම උපුටනයකි. ට්ඔබට ඔබේ පොත් කවරය නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට පමණක්ම නොව, නිවැරදි පාඨකයන් ආකර්ෂණය කර ගැනීමටය.ට්

මෑතක දී පොත් කවර නිර්මාණය සඳහා අන්තර්ජාලයේ ඇති ඡායාරූප හා චිත්‍ර මෙන්ම පොනරූ භාවිතා කිරීම සදාචාර විරෝධි කාරණයක් ලෙසින් සංවාදයක් ඇතිවුණි. එය බොහෝ දෙනෙකු සඳහන් කළේ නිර්මාණ මංකොල්ලයක් ලෙසිනි. එයට හේතුව වෙනත් නිර්මාණ ශිල්පියෙකුගේ නිර්මාණයක් භාවිතා කරමින් යළි ප්‍රති නිර්මාණයත් කිරිමම යුක්තිසහගත හා සදාචාරාත්මක නොවන බවයි. නමුත් කවර නිර්මාණ හා සැලසුම්කරණ ශිල්පියෙක් මෙන්ම සිංහල පොනරූ නිර්මාණකරුවෙක් වෙන පුෂ්පානන්ද ඒකනායක ඒ පිළිබඳව දරන්නේ වෙනස් අදහසකි.

“පොත හඳුනාගැනීම හා කතුවරයා හඳුනාගැනීම සඳහා කවරය ඉතාම වැදගත් අංගයක්. පොත මිලදී ගැනීම සඳහා පාඨකයා තුළ උවමනාවක් ජනිත කරන දෙයක්. පහුගිය කාලයේ අන්තර්ජාලයෙන් වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ භාවිතා කිරීමේ සදාචාරය ගැන සංවාදයක් ඇතිවුණා. මම නම් හිතන්නේ ඒකේ වරදක් නෑ. අන්තර්ජාලය නැති කාලයේ චිත්‍ර, ඡායාරූප හා අකුරු කවර නිර්මාණ ශිල්පියා විසින්ම හෝ වෙනත් නිර්මාණකරුවකු ලවා හෝ සපයා ගත්තා. දැන් එහෙම අවශ්‍ය නෑ. අන්තර්ජාලය සියල්ල සපයා දෙනවා. කවර නිර්මාණකරුවා ඒවා එකලස් කරලා කවරය සැලසුම් කරනවා. ඒකත් එක නිර්මාණ විධියක්. අවශ්‍ය වන්නේ පොතේ අන්තර්ගතය කුළු ගැන්වෙන ආකාරයෙන් කවරය නිර්මාණය කිරීම පමණයි. මේක ලෝකයේ හැම තැනම සිදුවන දෙයක්. හැබැයි ඒ සංවාදයේ වුණත් ඡායාරූප හා චිත්‍ර ගැන අවධානය යොමුකළා ඇරෙන්න, අකුරු නැත්නම් පොනරු නිර්මාණයන් අවසරයකින් තොරව ලබා ගැනීම ගැන කවුරුත් කතා කළේ නෑ. පරිගණකය සඳහා මුල්ම පොනරු නිර්මාණකරුවෙකු ලෙස මට තියෙන ගැටලුව ඒක. එහෙම නම් ඒකත් සොරකමක් නේ. අන්තර්ජාලය හා සබැඳි මේ දේවල් ගැන අපිට දැන් වෙන විදියක කියවීමක් අවශ්‍යයි. මේ තාක්ෂණික දියුණුව එක්ක අපිට පැරණි ආකල්ප මත ඉන්න බෑ. නිකන් හිතන්න, ඉතාම නුදුරේදී පොත් කවර නිර්මාණය කරන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) විසින්. එතකොට අපි අද ගේන මේ සොරකමේ හා තර්කය නිෂ්ප්‍රභ වෙනවා. මගේ අදහස නම් මේවාගේ සදාචාරාත්මක සීමාවන් අපි යළි සලකුණු කළ යුතුයි කියන එක.”

● නෙතුනි බටදූව ආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment