විවාහයට බාධා දෙන වාස්තු දෝෂ

357

මනුෂ්‍යයන්ගේ පැවැත්ම සඳහා ලෝකය අවශ්‍ය සේම ලෝකයේ පැවැත්ම සඳහාත් මනුෂ්‍යාගේ පැවැත්ම අත්‍යවශ්‍ය වේ. උපදින සෑම මනුෂ්‍යකුම අපිත් ජීවිතයකට යොමුව නිවන් මාර්ගයම තෝරාගනු ලැබුවහොත්, මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම නවතිනු ඇත. ඉදිරි පරම්පරාවක් යාවත්කාලීන වීමට නම් මිනිසුන් හා ගැහැනුන් වශයෙන් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රජනනයක් අවශ්‍ය වේ. ගස් වැල්වල පවා වර්ධනයට ඵල හටගැනීමට නම් ප්‍රජනන ක්‍රියාවලිය හෙවත් පරාග පෝෂණය සිදුවිය යුතුය. මනුෂ්‍යයන් හා සතුන් මෙම ක්‍රියාදාමයෙන් තම පරපුර යාවත්කාලීන කළ ද ගැහැනු පිරිමින්ට එසේ කිරීමට නීතියෙන් අවසර නොමැත. ඒවා ශිෂ්ට නොවේ. සතුන් සහ මනුෂ්‍යයන් අතර ප්‍රධාන වෙනස මෙයයි. පිරිමියකුට හෝ ගැහැනියකට ලෝක සම්මත නීතියට අනුව නීතියෙන් දෙදෙනා එකිනෙකාට අත්පත්වීම විවාහය, සරණ බන්ධනය, අතිනත ගැනීම යනුවෙන් විවිධ නම්වලින් පැවසුන ද එකම අර්ථය දෙදෙනකුට නිසි වයසේදී කායිකව එක්වීමටත් අඹු සැමියන් ලෙසින් එකට ජීවත් වීමටත් නීතිය මගින් අවසරය ලබා දීමය. මෙලෙස තම දියණිය, තම පුතා නිසි වයස ලබා එය ඉක්මයෑමට පෙර විවාහයක් කරදී සෑම දෙමාපියකුම බලාපොරොත්තු වන්නේ ඔවුන් සතු දේපළ, වත්කම්, පෙළපත තමුන්ගෙන් පසු තම දරුවකුට තම ලේ හිමිකාරිත්වයට පත්වුණ අයුරින්ම තම දරුවාගේ ඊළඟ පරම්පරාව ආරම්භ කිරීම උදෙසා කටයුතු කිරීමයි. නමුත් බොහෝ නිවෙස්වල එලෙස විවාහයක් කර දීමට හෝ විවාහයක් කර ගැනීමට නොහැකිව මානසිකව දුක් විඳින දියණිවරුන්, පුත්‍රයන් සෑම තැනකදීම දැකිය හැක. හැඩූ කඳුළෙන් දේවාල, කෝවිල්වල දෙමාපියන් තම දරුවාගේ විවාහයට ඇති බාධා, විවාහය නොසිදුවීම ගැන මානසිකව පීඩා විඳියි. එසේ නම් අප බලමු යම් දරුවකුගේ හෝ දැරියකගේ සියලු දේ අංගසම්පූර්ණව හිමිවුණ ද විවාහය අහිමි වීමට, ප්‍රමාද වීමට හේතු දෙන කරුණු මොනවාද යන්න.

ජන්ම කේන්ද්‍රයක පාපග්‍රහයන්ගේ බලපෑම ද විවාහය කෙරෙහි බලපානු ඇත. කේන්ද්‍රයක 7 වැන්න විවාහය කෙරෙහි බලපායි. 7 වැන්නේ සෙනසුරු ග්‍රහයා නීච වීම, 7 වැන්නට දෘෂ්ටි වැටීම, ශනි සඳුගේ නැකතේ හෝ සඳු ශනිගේ නැකතක සිටීම. ශනි 1, 3, 5, 7, 10 රාශිගත වීම විවාහයට බාධා, කරදර, ඇතිකරයි. විවාහයට බලපාන සිකුරු ග්‍රහයා සතුරු රාශියක සිටීම, පාප ග්‍රහයන්ට එකතුවීම, සෙනසුරු දෘෂ්ටියට බලවත්වීම ඇතුළු බොහෝ කරුණු නිසා විවාහයට බාධා ගෙනදේ. මේ අපල හෙවත් පාප ග්‍රහයන්ගේ බලපෑම් ඇතිකර දී පීඩාවට පත්කිරීම සිදුවන්නේ පූර්ව සංසාරයේ කරන ලද අකුසල් මූල ශක්තිමත් වී මේ ආත්මයේ විපාක ලැබීමටයි.

  1. පූර්ව ආත්මවල විවාහ වීමට සිටි යුවළවල් බේද බින්න කර විවාහය කඩාකප්පල් කර වෙන්කිරීම නිසා.
  2. සතුටින් ජීවත්ව සිටි අඹු – සැමියන් එකිනෙකාට හතුරුකම් කර දෙපැත්තට කිරීම, ඔවුන්ගේ කැදැල්ල විනාශ කිරීම.
  3. බොරු, කේලම්, හූනියම්, ගුරුකම් කර අඹු සැමියන්, විවාහ ගිවිසගත් ජෝඩු දෙකඩවීමට කටයුතු කිරීම
  4. කුරුලු කූඩු කඩා එම පක්‍ෂීන් ඝාතනය කිරීම. නාගයන් මරණයට පත්කර හැපින්නගේ ශාපයට ලක්ව, මේ ආත්මයේ කාල සර්පයෝග සහිතව උපත ලැබීම.

නිවාසවල වාස්තු දෝෂ බලවත් වීම නිසා ද විවාහය ප්‍රමාද වේ.

සමහර නිවෙස් පරීක්‍ෂාවලට සහභාගි වුණ අවස්ථාවල ගෙට ඇතුළුවීමට ප්‍රථම ගේ දොර, විශාල ඉඩම සුඛෝපභෝගි වාහන කීපයක් ගේ අවට ගාල්කර ඇති ආකාරය හා අවට පරිසරය තුලින් නිවැසියන්ගේ වත්පොහොසත්කම මනාව පිළිබිඹු වේ. එවැනි එක්තරා නිවෙසක නිවෙස් හිමියා ගෙට ගොඩවීමටත් ප්‍රථම “මහත්තයෝ අපට නම් සල්ලි දේපළවලින් කිසිම අඩුපාඩුවක් නෑ. මේ ඉන්න ඉඩම වගේ ඉඩම් 4 ක් 5 ක්ම පුතාට තමයි. අපිට ඉන්නෙත් පුතා විතරයි. එයාගේ ලස්සන අඩුවකුත් නෑ. තියෙන එකම ප්‍රශ්නය මඟුල් හරියන්නේ නෑ. කතා කරනවා, බලන්න යනවා, මොකක් හරි වෙනවා. මේ වගේ සිද්ධි ගණනාවක් මාගේ වාස්තු පරීක්‍ෂා කිරීම් වලදී අත්විඳ ඇත. පසුගිය වසරක මාස 03 ක් තුළ ඉහත ආකාරයේම අංගසම්පූර්ණ සුදුසුකම් තිබුණ ද විවාහ සුදුසුකම අහිමි වුණ නිවාස ප්‍රදේශ 06 කින්ම නිවාස 07 ක් පමණ ලැබුණි. එහිදී මා ප්‍රායෝගිකව ලත් පොදු සමාන දෝෂ මෙම සියලු නිවාසවල දක්නට ලැබුණ අතර ඒවා නම්.

  1. භූමියේ පැවැති දෝෂ

මෙම නිවාස 07 න් 05 කම භූමියේ දෝෂ පැවතිණි. එක නිවසක විෂම භූමියක් පැවතුණි. විෂම භූමිය යනු මායිම් පරස්පරව හමුවන සේ පිහිටි භූමිය. ඊසාන දිශාව අහිමිවන සේ අනෙක් කොටස් සම්පූර්ණව පැවතීම විෂම භූමියක ලක්‍ෂණයන්ය. ගෙවල් 03 ක භූමිය පැවතියේ පොරව හැඩය හෙවත් පර්ශුනාව හැඩගත් භූමියක් ලෙසිනි. මෙම භූමිවල සුදුස්සාට සුදුසු තැන අහිමි කරයි. අනෙක් භූමිය බෘහාර භූමියකි. එනම් දෙපැත්ත දික්ව පිහිටා එක් කොටසක් කෙටිව පිහිටි භූමියයි. මෙම භූමිවල අශුභතා මෙන්ම ශෛල්‍ය දෝෂ භූමිවල ශෛල්‍ය සක්‍රීයව පැවතීම ද අශුභ දේ.

ප්‍රධාන ද්වාරයේ දෝෂයන්

මෙම සියලුම නිවාසවල ප්‍රධාන ද්වාරය දෝෂයට ලක්ව තිබුණි. ප්‍රධාන ද්වාරයේ වාස්තු දෝෂ බලවත්ය. එයට හේතුව ප්‍රධාන ද්වාරය විවාහය කෙරෙහි සෘජුව බලපාන හෙයිනි. මෙහිදී එක නිවසක දොර පියන එළියට ඇරෙන ආකාරයට පැවතුණි. එයද විවාහය ප්‍රමාදයට බලපාන වාස්තු දෝෂයකි. වැරදි පාද සටහනට ද්වාරය දැමීම එනම් භද්‍රා පාදය හා රික්තා පාදයයි. ඒවා ද මේ නිවාසවල තිබුණි. තවත් නිවසක දකුණු පස පිහිටි ප්‍රධාන ද්වාරයට සෘජුව පැවැති ජල පොකුණෙහි නෙළුම් සිටුවා අලංකාර මත්ස්‍යයන් පැවතුණි. මෙය දිශාව අනුවත් බලන කල වැරදිය. ප්‍රධාන ද්වාරය වේද දෝෂයට ලක්වීම ද සිදුව පැවතුණි. මෙය කර්දර්ම වේද දෝෂයයි. ඒ වගේම ප්‍රධාන ද්වාරය ගැන කීමේදී නිවෙස් වල ප්‍රධාන ද්වාරය දිරායෑම, ඇදයට තැබීම නිසා මෙන්ම දකුණු දිශාවට ද්වාරයක් නොමැතිවීම ද එම නිවසේ විවාහ කටයුතු බාධාවීම් ප්‍රමාදවීම් කෙරෙහි බලපායි.

බ්‍රහ්ම පාදය යටවීම (බිත්තියකට, පඩිපෙළට) හා බ්‍රහ්ම පාදය හරහා මැදින් දිවෙන රේඛා (මර්මස්ථාන රේඛා) සෘජුව වැසිකිළි වළකට වැටීමත් නිවසේ වහලයේ මුදුන් යටලීය බ්‍රහ්ම පාදයෙහි ලක්‍ෂ්‍යය මතට සෘජුව වැටීම, මුදුන් යටලීය වැසිකිළි වළට සෘජුව වැටීම තුළින් ද එම නිවසේ දූ දරුවන්ගේ විවාහය ප්‍රමාදයට හේතු වේ. ඉහත කරුණු සියල්ලම හෝ එකක් දෙකක් මා කලින් කී සියලුම නිවාසවල පැවැතුණි. ඒවා පමණක් සමහර නිවෙස්වල වෙනස් කිරීමෙන් පසු ඒ අයගේ විවාහ සිදුවී සමහර අය විදේශගතව පදිංචිය ද ලබා ඇති බව මට දන්වන ලදී.

ගෘහ පිණ්ඩය අශුභ වීම

ගෘහ පිණ්ඩය ශුභාකාරයට නොගැනීම නිසා හිතූමතයට ක්‍ෂේත්‍රඵලය වෙසකට ලක්කිරීමත්, අශුභ ගෘහ පිණ්ඩයක් තුළින් ඒකදශ පොරොන්දම් වලින් ගෙහිමියා, බිරිඳ, දරුවන්ගේ නැකැත්වලට නිවසේ නැකත මෛත්‍රී – සම්පත්, පරම මෛත්‍රී, සාධක, ක්‍ෂේම වෙනුවට අශුභ යැයි පවසන වධ, ප්‍රත්‍යාරි, විපත්, ජන්ම යන නැකැත් පැවතියහොත් අනිවාර්යයෙන්ම එම නිවසේ දරුවන්ගේ විවාහය ප්‍රමාද වේ. බාධා දේ.

නිවසේ කාමර නිවැරදිව දිශාගත නොකිරීම

නිරිත දිශාවේ නාන කාමරය දියණියගේ විවාහය ප්‍රමාද කරයි. දකුණ, නිරිත, ගිනිකොන දිශාවන්හි ළිඳ පැවතීම ද දූ දරුවන්ගේ විවාහ කෙරෙහි බලපායි. දකුණු දිශාවට අන්ධ බිත්තිය :ඊකසබා උ්කක* ඇති නිවෙස්වල ද විවාහය බාධාවීම්, ප්‍රමාදවීම් සිදුවේ. සියඹලා ගස්, මඩු වැනි කටු ගස් ද පිළිල සහිත අඹ ගස් ද නිවස ඉදිරිපිට පැවතීම ශුභ නොවේ. එය ද විවාහය ප්‍රමාද කරයි.

දකුණු හා බටහිර දිශාවේ ප්‍රධාන දොර ආසන්නව ජල ටැංකි, මාළු ටැංකි, වතුර මල් පැවතීම ද එම නිවසේ දූ දරුවන්ගේ විවාහයට බාධා ගෙන දේ.

ඉහත කී ආකාරයන්ට නිවෙස්වල පවතින වාස්තු දෝෂ බලවත්වීම තුළින් එම නිවසේ දූ දරුවන්ගේ විවාහය බාධාවන්ට, ප්‍රමාදයට හේතු වන බවත් ඒවා ඉවත් කළ පසු එම බාධාවන් ඉවත් වී බොහෝ විවාහයන් සිදුවූ බවටත් මාගේ ප්‍රායෝගික පරීක්‍ෂණ වලදී මා සත්‍ය වශයෙන්ම අවබෝධ කර ගත්තෙමි.

විවාහයට බාධා දෙන වාස්තු දෝෂ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment