ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 73යි

95

ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වූ 73 වන සංවත්සරය 2024 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදි අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වූ අතර 1972 මැයි මස 22 වන දින ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පත්වීමෙන් අනතුරුව රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක්අඔර සුරකින්නට ‘සුරකිමු ලකඹර’ උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 73 ක් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

මෙවර ගුවන් හමුදා 73 වන සංවත්සරය ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණු 17 හි ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනය හා පාරිසරික තිරසාරත්වය යන අරමුණ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ප්‍රජා සංවර්ධන වැඩසටහන් පෙළක් ‘Wings of Friendship’ තේමාව මූලික කරගනිමින් උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙහිදී උතුරු පළාතේ සංවර්ධනය කළ යුතු පාසල් 73 ක් හඳුනාගෙන එම පාසල් සංවර්ධනය කිරීම මෙන්ම උතුරු පළාත් පාසල් දරු දැරියන් හට තම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය වන අභ්‍යාස පොත්, මූලාශ්‍ර පොත්, ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා උපකාරක පොත් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් පාසල් ළමුන්ගේ අතිරේක කියවීම් කටයුතු සඳහා භාවිත කිරීමට නිර්දේශිත පොත් 73000 ක් මගෙන් පොතක් උතුරට වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු ගුවන් හමුදාධිපතිවරුවන් 19 දෙනකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 73 ක් ශ්‍රී ලාංකීය ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉටු කළා සේම ඉදිරියටත් මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කිරීමට සූදානම්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment