ශ්‍රී ලංකා රග්බි වෙත නැවතත් ආසියානු රග්බි සාමාජිකත්වය

126

ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකා රග්බි වෙත නැවත හිමි වී ඇත.

ආසියානු රග්බි සම්මේලනය විසින් එම තීරණය ගෙන ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා නිල වශයෙන් තහවුරු කරන ලදී.

2022 මැයි 1 වන දින ආසියානු රග්බි විධායක කමිටුව විසින් ඒකමතිකව අනුමත කර ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා රග්බි සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේය.

ඊට දින කීපයකට පෙර එනම් එම වසරේ අප්‍රේල් 9 වන දින ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා රග්බි නැවතත් ආසියානු රග්බි ක්‍රීඩාවේ පූර්ණ සාමාජිකයකු ලෙස ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ආසියානු රග්බි සභාපති කයිස් අල් ධලායි මහතා ද අදහස් දක්වා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම් ආසියාවේ රග්බි තරගාවලියට නැවත පිළිගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කර තිබේ. මේ අතර ක්‍රීඩා ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හැර මාස 6 ක කාලයක් සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට ද ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය 12 වැනිදා ක්‍රියා කළේය. අදාළ ස්ථාවරකරණ කමිටුව සාමාජිකයන් 9 දෙනකුගෙන් යුක්ත වන අතර කීර්තිමත් රග්බි ක්‍රීඩකයකු, විනිසුරුවරයකු සහ පරිපාලකයකු වන චූලා ධර්මදාස මහතා එම කමිටුවේ සභාපති ධුරය දරයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment