සර්ත් ෆේල්… සාත් ෆේල්… දැන් රටට අවශ්‍ය විකල්පයක් මිස ආදේශකයක් නොවෙයි – හිටපු මුදල් ඇමැති මංගල සමරවීර

847

අද ෆේල් වෙලා තියෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව ඔහු නියෝජනය කරන ආගම් වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයත් ෆේල් වී ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ සැබෑ දේශපේ‍්‍රමීන් නමැති සංවිධානය විසින් ඊයේ (25දා) කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි ‘ෆ‍්‍රීඩම් හබ්‘ හි දී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.
 
 අපි මේ ආරම්භක මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්නට තීන්දු කළේ, ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැලකෙන කළු ජූුලියට 38 වසරක් සපිරෙන මොහෙතේදීයි.
 
 අද අපි රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයට හේතු හදපු තවත් එක තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කළු ජූලිය හඳුන්වන්න පුළුවන්.
 
 1948 දී අපි නිදහස ලබා ගන්නා විට ආසියාවේ දියුණුම රටක් හැටියට සැළකුවා. නවීන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යු මහතා පොදු රාජ්‍යය මණ්ඩලයේ ආදර්ශමත් රට හැටියට ශ‍්‍රී ලංකාව හඳුන්වා තිබුණා.
 
 නමුත්, එදා අපිට වඩා දිළිඳු යැයි සැලකු රටවල් ඇතුළුව, අද ලොකයේ බොහෝ රටවල් දියුණු යුගයක් කරා ගමන් කරමින් ඉන්න වෙලාවේ, අපි බංකොළොත්භාවයේ පතුලටම වැටී තිබෙනවා. ලෝකයෙන් හුදෙකලාවු අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් ඉන්නවා.
 
 ජූලි 27 වෙනිදාට පෙර අපි 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට තියෙනවා.

එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ ශ‍්‍රී ලංකා සංවර්ධන ගිවිසුම් ගෙවන්නට තිබෙනවා.
 
 මම මුදල් ඇමැති ලෙස 2019 දී බාර දෙන විට භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් බිලියන 7.6ක් පමණ වූ විදේශ විනිමය සංචිතය, 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6ට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා.
 
 අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600කින් පමණ අඩුවෙමින්, පසුගිය දශක 7දී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දීය.
 
 1988 න් පස්සේ විශාලතම අයවැය පරතරය 2020දී වාර්තා වුණා.
 
 වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට, ඉතිහාසයේ වසරකදී අච්චු ගැසු වැඩිම මුදල අච්චු ගහන්නට මහබැංකුවට සිදු වුණෙත් පසුගිය වසරේදීයි.
 
 ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලූ‍තෙන් ලබාගත් ණය ප‍්‍රමාණය තවත් රුපියල් ටි‍්‍රලියන 2කින් පමණ වැඩිවෙලා.
 
 මේ නිසාම මේ තත්වය තුළ, රටේ මහා පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධනවලට ඩොලර් බිලියන 1.2ක් පමණ ගෙවන්නට ඇති නිසා ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.
 
 මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.
 
 දශක ගණනාවක් තිස්සේ ඊනියා දේශපේ‍්‍රමය විකුණගෙන කාපු දේශපාලනය නිසාත්, ඊනියා දේශපේ‍්‍රමීන් ඉදිරියේ රැුවටුන ඡුන්ද දායකයා නිසාත්, වරින්වර අපගේ රාජ්‍යය නායකයන් නිවැරදි දේ කිරීමට උත්සහා කරපු අවස්ථාවලදී පවා, ඊනියා දේශපේ‍්‍රමි නාමයෙන් ඒවාට හරස් කැපූ විපක්ෂ නිසාත්, අද අපේ රට මේ තැනට වැටී ඇති බව අපි හැමෝම පිළිගත යුතුය.
 
 ඇත්තෙන්ම කියනවානම් රාජ්‍ය පාලනය සම්බන්ධ වූ මා ඇතුළු අනෙක් සියලූ‍ දෙනාත්, මේ අද තියෙන තත්වයට කිසියම් මට්ටමකින් හෝ වගකිව යුතුයි. 1965 දී පංච මහා බලවේගයේ නාමයෙන් ඇති කරන ලද බහුතරවාදී කුහක ලිංමැඩි මානසිකත්වයත්, පසුගිය මැතිවරණයේදි එහි කූට ප‍්‍රාප්තියට පත්වීමත්, මේ විනාශයට ප‍්‍රධාන වශයෙන් වගකිව යුතුයි.
 
 අද සර් ෆේල්- සර් ෆේල් කියලා හැමතැනම කියනවා. නමුත් ඇත්තටම අද ෆේල් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. එතුමා නියෝජනය කරන ආගම් වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයයි.
 
 අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු වූ රජයයි.
 
 අද ෆේල් වෙලා තියෙන්නේ සර් ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡුන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි. කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.
 
 අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි. ප‍්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්, තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලූ‍වන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශපේ‍්‍රමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගමු.
 
 අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා.
 
 හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.
 
 ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශපේ‍්‍රමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි.

advertistmentadvertistment
advertistmentadvertistment