සියක්කාරයෝ ශ්‍රී ලංකාවට

204

නිවර්තන කලාපීය රටවල්වල සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංක්‍රමණය වන ඉතාම දුර්ලභ හා තර්ජනයට ලක්ව සිටින ඉතාම ආකර්ෂණීය සියක්කාරයා නොහොත් ෆ්ලෙමින්ගෝ කුරුලු විශේෂය මේ දිනවල ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටී.

දකුණු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව දක්වාත්, කසකස්තානයේ වැව් මත බෝවන මෙම කුරුලු විශේෂය මුහුදු කලපුවල, මෝයවල, නොගැඹුරු ජලයේ ළඟාවීමට අපහසු විශාල ලුණුවිල්වල ජීවත් වේ. සාමාන්‍ය පිරිමි, වැඩිහිටි පිරිමි, ගැහැනු කුරුල්ලන් මුදු රෝස පැහැයක් ගනී. එසේම ෆ්ලෙමින්ගෝ කුරුල්ලෙකුගේ පියාපත් දම්, රතු, කළු පියාසර පිහාටු පිහිටා ඇත. මෙම පක්‍ෂීන්ගේ සිරුර සෙන්ටිමීටර් 120-130 වන අතර වැඩිහිටි පක්‍ෂියෙකුගේ බර කිලෝග්‍රෑම් 3 හෝ 4 ක් පමණ වේ. ඔවුන්ගේ පාදවල ඇඟිලි හතරක් ඇති අතර තුනක් පිහිනුම් පටලයකින් සම්බන්ධ වේ. එසේම මෙම පක්‍ෂීන් ටියුනීසියාව, මොරොක්කෝව, මොරිමේනියාව, කෙන්යාව සහ කේප් වර්ඩ් යන දූපත්වලද වාසස්ථාන කරගෙන සිටී.

මෙම ෆෙලෙමින්ගෝස්ලාගේ පිහාටුවල ආකර්ෂණීය රෝස පැහැති වර්ණය ලබාදෙන්නේ ආහාර සමග ලැබෙන කැරොටින් ද්‍රව්‍ය මගිනි. ඔවුන්ගේ රෝස පැහැයට හේතු කාරය වන්නේ කැරොටින් අඩංගු කුඩා රතු කබොල නිසාය.

නිරන්තරයෙන් නිවර්තන කලාපීය රටවල් වලට අයත් ප්‍රදේශවල වාසය කරන ෆෙලෙමින්ගෝ, සීතල කාලගුණයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය වී ඇත. සියලු වර්ගවල ෆෙලෙමින්ගෝ නොගැඹුරු ජල කඳේ වෙරළ තීරයේ ජීවත්වන අතර ජලය සමග සිටීමට වැඩි කැමැත්තක් දක්වයි. ඒ වගේම මෙම පක්‍ෂීන්ගේ ආහාරවල ස්වභාවය අනුව වාසස්ථාන වෙනස් වන අතර කුඩා කබොල සහ අන්වීක්‍ෂීය ඇල්ගි ශාක හා සත්ව ජලවාංග ආහාරය ගන්නා අතර පෙරා බුදින සත්වයකු ලෙස සැලකේ.

මෙම පක්‍ෂීන්ගේ වර්ණක පිහාටුවල එකතුවී රෝස හෝ රතු පැහැයක් ලබාදෙයි. කාලයත් සමගින් ෆෙලෙමින්ගෝ ගේ වර්ණය නැතිවී සුදු පැහැයක් ගනී.

සියක්කාරයෝ ශ්‍රී ලංකාවට

නොගැඹුරු ජලයේ ඇවිදිමින් ජලය කලතවමින් එකට රංචුවකට හිද වාසය කරයි. ඒ අතරට තම හොට වතුරට පහත් කර ආහාරයට ගත හැකි බොහෝ දේ ඒ හරහා උපරිමය සොයාගැනීම සිදුකරයි. මේ අයට නොගැඹුරු ජලයේ සිටගෙන නිදා ගැනීමටත් හැකියාව ඇත. හොඳින් පියාසර කිරීමේ හැකියාව තිබුණද ගුවන් ගතවන විට සමහර අවස්ථාවලදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පෑමටද සිදුවන අවස්ථා ඇත.

ෆ්ලෙමින්ගෝ පැටවුන් මුල් ළමාවියේදී සුදු පැහැයක් ගන්නා අතර සෑම අවදියේදී සෘජු හොටකින් සමන්විතය. දෙමවුපියන් ඔවුන්ව මාරුවෙන් මාරුවට පෝෂණය කරන අතර වර්ණවත් කුරුලු කිරිවලින් පෝෂණය කරනු ලබයි. රෝස පැහැති මෙම ආහාර විශේෂය ග්‍රන්ථි මගින් වැඩිහිටි පක්‍ෂීන්ගේ Esophapas තුළ නිපදවන අතර එය ඉතාමත් පෝෂ්‍යදායී වේ. ගැහැනු පක්‍ෂීන් මෙන් නොව පිරිමි පක්‍ෂීන්ද පැටවුන්ට කිරි දී පෝෂණය කිරීම පුදුමයට කරුණකි.

පැටවකු කුඩා අවදියේ දී සුදු පැහැයක් ගන්නා අතර ෆෙලෙමින්ගෝ කුරුලු පැටවා වයස අවුරුදු 3 දී පමණ වැඩිහිටි කුරුල්ලෙකුගේ වර්ණය ලබාගනී. මෙම විශ්මිත අලංකාරවත් කුරුලු විශේෂයක් වන ෆ්ලෙමින්ගෝ එක කකුලක් මත නිදාගැනීමේ පුරුද්දක් ඇති අතර ශක්තිය ඉතිරි කර ගැනීමට සහ තාපය ආරක්‍ෂා කිරීම පිණිස මෙම ක්‍රමවේදය භාවිතා කරයි. ෆ්ලෙමින්ගෝ පරිණතභාවයට පත්වීමට වසර 3 ක් 5 ක් අතර කාලයක් ගතවේ.

තරුණ ෆ්ලෙමින්ගෝ ඉතා අලංකාර ලෙස පෙනේ. මෙම විශාල ජල කුරුල්ලා සිහින් දිග කකුල් සහ නම්‍යශීලී වන අතර සාමාන්‍ය පිරිමි පක්‍ෂීන්, වැඩිහිටි පිරිමි පක්‍ෂීන් මෙන්ම ගැහැනු පක්‍ෂීන් මෘදු රෝස පැහැයෙන් යුක්ත වේ. බොහෝ දුර කතරක් ගෙවා දමමින් දීර්ඝ ගමනක යෙදෙන ෆ්ලෙමින්ගෝ නොවැම්බර් මාසයේ සිට මැයි, ජුනි මාසවල ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන අතර ෆ්ලෙමින්ගෝ කුරුලු විශේෂය සුප්‍රකට වන්කාලේ ජාත්‍යන්තර (මන්නාරම්) රැම්සා අභයභූමියේදී මෙම දුර්ලභ කුරුලු විශේෂය දැකබලා ගැනීමේ හැකියාව ඇත. එකවර 400 ක් 500 ක් අතර කුරුලු රෑනක් එකම කණ්ඩායමක් සේ මන්නාරම් ප්‍රදේශයේ වාසභූමිය කරගෙන ජීවත් වේ. මෙහිදී වැඩිහිටි කුරුල්ලන් තම පැටවුන් ආරක්‍ෂාකර ගනිමින් සිටිනා අයුරුද දැකබලා ගැනීමේ හැකියාව ඇති අතර එය ඉතා අපූරු අත්දැකීමක් වනු ඇත. මොවුන් වාසය භූමිය කරගෙන ජීවත්වන මෙම රැම්සා අභයභූමිය සංචාරකයන්ගෙන් රැකගැනීම වනජීවී නිලධාරීන් සතු කාර්යයකි.

නිකෝන් ස්කූල් මගින් සංවිධානය කර ඩෙල්ෆ් හා මන්නාරම් ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණු Tamarone වැඩමුළුව ඇසුරෙන් සකස් කරන ලදී. විශේෂ ස්තූතිය නිකෝන් ස්කූල්හි උපදේශක වනජීවී ඡායාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා මහතාට.

සටහන – සුජාතා ජයරත්න
ඡායාරූප – රොහාන් ෆොන්සේකා, සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment