සී සී කඩවූ පක්ෂ දේශපාලනය

370

විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙසැම්බර් 13 තුන්වර කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් ආකාරය මැති සබය නියෝජනය කරන දේශපාලන පක්ෂ බෙදී වෙන්වී, අවුල්වී ඇති ආකාරය අපූරුවට අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් විශේෂයෙන්ම බංකොලොත් වූ රටකට කිසිසේත්ම යහපත් බලාපොරොත්තුවක් තබාගත නොහැකිය.

රට බංකොලොත් වීමට විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද වගකිවයුතු බව සහ වගවිය යුතු බව රටේ ඉහළම උසාවිය පසුගිය නොවැම්බර් 14 වැනි දින තීන්දු කළේය. නමුත් රටට තමන් අත්කර දුන් අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් අවම වශයෙන් කනගාටු වන බවක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් පෙන්නුම් නොකරයි.

මන්ත්‍රීවරු තම ඡන්දය පාවිච්චි කරන ආකාරය/දේශපාලන පක්ෂ හැසිරීම අනුව ගම්‍ය වන්නේ තීන්දු තීරණ ගැනීමේදී පක්ෂ ව්‍යවස්ථාව කිසිදු ආකාරයකට බලපෑමක් අදාළ පුද්ගලයින්ට/පක්ෂවලට ඇති නොකරන බවයි. මෙම අවාසනාවන්ත තත්ත්වය මෙවර අයවැය සම්බන්ධයෙන් පමණක් නොවේ, සමස්ත පාර්ලිමේන්තු ක්‍රියාදාමයම අවුල්ය. නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි තරමට අවුල්ය.

පාර්ලිමේන්තුවේ තත්ත්වය සාකච්ඡා කිරීමට පෙර පසුගිය ඔක්තෝම්බර් මාසයේ මුලදී රටේ ඉහළම උසාවිය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් (ශ්‍රීලමුකො) මන්ත්‍රී සනුල් ආබ්දීන් නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීම සම්බන්ධයෙන් දැනුවත් විය යුතුය. ඒ 2020 දෙසැම්බර් 10 දින විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් නසීර් අහමඩ්ව පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය ගත් ආන්දෝලනාත්මක තීරණය අවසානයේ රටේ ඉහළම උසාවිය ස්ථිර කළේය. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයට තරග කළේ ශ්‍රීලමුකො පක්ෂයෙනි.

ආසනය අහිමි වූ මන්ත්‍රීවරයා තම පක්ෂයට එරෙහිව පැවරූ නඩුවට අදාළව එම එෛතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කළේ ප්‍රීති පද්මන් සූරසේන (විනිසුරු මණ්ඩලයේ සභාපති), එස්. තුරේයිරාජා සහ මහින්ද සමයවර්ධනයි. ඔවුන්ට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුය. එම තීන්දුව ද නොවැම්බර් 14 දින රට බංකොලොත් කිරීමට එරෙහිව දුන් අධිකරණ තීන්දුව මෙන්ම ජනතාවට ශක්තියක් වූ අවස්ථාවකි.

නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙසැම්බර් 13 තුන්වර කියවීමෙන් පසුව ඡන්දය පාවිච්චි කළ ආකාරය අනුව ශ්‍රීලමුකො මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපූ තීරණය කිසිසේත්ම බලපෑමක් කර නොමැත. එලෙසම ශ්‍රීලමුකො පක්ෂය අහමඩ් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතාමත් නිවැරදි ක්‍රියාමාර්ගය අනෙකුත් පක්ෂවලට රුකුලක් වී නැත. එම පක්ෂයේ මහා ලේකම් ජනාධිපති නීතිඥ නිෂාම් කාරියප්පා එම කටයුත්ත මෙහෙයවපු ආකාරය අනෙකුත් පක්ෂවල එම නිලය දරන පුද්ගලයන්ට ආදර්ශයකි.

පසුගිය දෙසැම්බර් 15 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ තමන්ගේ ආසනය කැප කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සංවත්සරදී අහමඩ් මන්ත්‍රීවරයා පළමුවන පේළියේම සිටියේය.

සමගි ජන බලවේගය (සජබ) ලාංඡනය යටතේ 2020 අගෝස්තු මහා මැතිවරණයට තරඟ කළ ශ්‍රීලමුකො පක්ෂයට ආසන හතරක් හිමිවිය. ඒ ශ්‍රීලමුකො පක්ෂයක් ලෙස තරග කර දිනාගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසනයට අමතරව ය. සජබ හරහා පත්වූයේ රෆුහ් හකීම් (මහනුවර), ෆයිසාල් කාසිම් ෆයිසාල් (අම්පාර), එච්. එච්. එම්. හාරිස් (අම්පාර) සහ එම්. එස්. තෞෆීක් (ත්‍රිකුණාමලය) එම මන්ත්‍රීවරු හතරදෙනාය.

එම කණ්ඩායමේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉවත් කළ පසුව එම අසුනට සහිඩ් අලි සහීර් මෞලානා පත්විය. මීට පෙර එක්සත් ජාතික පක්ෂය (එජාප) ජාතික ලැයිස්තුව නියෝජනය කළ මෞලානා 2004 වසරේදී ප්‍රසිද්ධියට පත්වූයේ කොටි ත්‍රස්තවාදී නායකයකු වූ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාට මඩකලපුවේ සිට කොළඹට පැන යෑමට පහසුකම් සැලසූ පුද්ගලයා ලෙසය. ඒ කරුණා කොටි සංවිධානයට එරෙහි මඩකලපුවේ කළ සටන අතහැර දැමීමෙන් පසුවය. එජාපය වහාම මෞලානා පක්ෂයෙන් නෙරපා හැරියේය. මෞලානාට තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවීමට සිදුවිය. එය වෙනමම සාකච්ඡා කළ යුතු සිද්ධියකි.

මෙවර අයවැය අවසන් ඡන්දයේදී ශ්‍රීලමුකො පක්ෂය ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය. නමුත් එච්. එච්. එම්. හාරිස් මන්ත්‍රීවරයා අයවැය දෙවන වර කියවීමෙන් පසුව ඡන්දයට මෙන්ම අවසන් ඡන්ද විමසීමටද සහභාගී වූයේ නැත. දේශපාලන පක්ෂ තුළ මෙන්ම එම පක්ෂ සංධාන අතර ක්‍රියාකිරීම ද අතිශය සංකීරණය.

● ලිහා ගත නොහැකි අවුලක්

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ කාර්යාලය විසින් සකස් කළ පිටුහයක වාර්තාවකට අනුව විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙසැම්බර් 13 තුන්වර කියවීමේන් පසුව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් ආකාරය අනුව 2020 අගෝස්තු පවත්වන ලද මහා මැතිවරණයෙන් ආසන 145 (ජාතික ලැයිස්තු ආසන 17 ක්ද ඇතුළුව) ලබා ගත් එම පක්ෂය මුහුණ දෙන අභියෝගය අවධාරණය කරයි.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ රොෂාන් රණසිංහ (පොලොන්නරුව දිස්ත්‍රික්කය) වික්‍රමසිංහ-රාජපක්ෂ රජයට එරෙහිව තම ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ දූෂිත බවට චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව තමන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ක්‍රියාමාර්ගය ආපිට හරවා තම අමාත්‍ය ධුරය ද අහිමි කිරීමට එරෙහිවය.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ප්‍රකාශ කර ඇති ආණ්ඩු පක්ෂයේ එකම මන්ත්‍රීවරයකුවත් රොෂාන් රණසිංහ සමඟ සිට ගත්තේ නැත. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට අවශ්‍ය නැත.

තමන් පොහොට්ටු පක්ෂයෙන් ස්වාධීන වූ බවට ප්‍රකාශ කළ අනුර ප්‍රියදර්ශන යාපා සහ ප්‍රියංකර ජයරත්න අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. එම කණ්ඩායමේම බවට මීට පෙර වාර්තා වූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඡන්දය දීමට නොපැමිණිය අතර ජෝන් සෙනෙවිරත්න (රත්නපුර දිස්ත්‍රික්කය) අයවැයට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කළේය. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු ක්‍රමය විසඳිය නොහැකි ප්‍රශ්නයකි. ප්‍රහේලිකාවක් කීවත් වරදක් නැත.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ කාර්යාලයට අනුව පොහොට්ටුවෙන් ස්වාධීන වූ විශාලතම කණ්ඩායම 25 දෙනෙකුගෙන් සමන්විත වේ. එම කණ්ඩායමම අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය. එම මන්ත්‍රීවරුන් වූයේ විමල් විරවංශ, උදය

ගම්මන්පිල, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, ලලිත් එල්ලාවල, උදයන කිරිදිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ශාන් විජයලාල් ද සිල්වා,ඩලස් අලහප්පෙරුම, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, දයාසිරි ජයසේකර, මහාචාර්ය චන්න ජයසුමන, සරත් කුමාරසිරි, මෛතිපාල සිරිසේන, ඩිලාන් පෙරේරා, ගාමිණී වලේබොඩ, සාරති දුෂ්මන්ත, මහාචාර්ය ජි. එල්. පිරිස්, මොහමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග සහ මහාචාර්ය චරිත හේරත්ය.

මෙම 25 දෙනා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) පොහොට්ටුව හරහා තරග කර පාර්ලිමේන්තුවට පත්වූ මෛතිපාල සිරිසේන, ශාන් විජයලාල් ද සිල්වා, දයාසිරි ජයසේකර සහ සාරති දුෂ්මන්ත ද විය. නමුත් ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්වූ එකම මන්ත්‍රී අන්ගජන් රමනාතන් (යාපනය දිස්ත්‍රික්කය) ඡන්දය දීමට පැමිණියේ නැත. පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට මෙවර ඇතුළුවූ පහත සඳහන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, කාදර් මස්තාන්, ශාන්ත බණ්ඩාර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය සහ ආචාර්ය සුරේන් රාඝවන් (ජාතික ලැයිස්තුව) අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.

ඇත්ත වශයෙන්ම හිටපු යහපාලන ජනාධිපති සහ ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන සමඟ කටයුතු කිරීමට ඉතිරිවී ඇත්තේ මන්ත්‍රීවරු තිදෙනෙක් පමණය. ඒ අතර මෑතකදී පක්ෂ සාමාජිකත්වය අහිමිකර ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් නෙරපා දැමූ දයාසිරි ජයසේකර ඇත. ඇත්ත වශයෙන්ම පක්ෂය අන්ත අසරණය. නායකයාට කළ හැකි දෙයක් නොමැත. පක්ෂ තීන්දු තීරණවලට එරෙහිව ක්‍රියාකිරීම ද මෝස්තරයක් වී ඇත. ශ්‍රීලනිපය මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයට සැම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මුහුණ දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නායකත්වයට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් දයාසිරි ජයසේකර දොට්ට දැමූ පක්ෂය තම කණ්ඩායමේ නව දෙනෙකුම අයවැයට ඡන්දය දීම ප්‍රශ්නයක් කරගෙන නැත. තවත් අයෙකු ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටීමෙන් වැලකී ඇත. ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකද පක්ෂ නායකයාව අත හැරියේය. වැඩබලන මහා ලේකම් සාරති දුෂ්මන්ත හිටපු ජනාධිපති සිරිසේන සමඟ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය.

ප්‍රජාතන්ත්‍රවාදි නව වාමාංශික පෙරමුණ ද පසුගිය මහා මැතිවරණයට තරග කළේ පොහොට්ටු පක්ෂයෙනි. එම පක්ෂයෙන් තේරී පත්වූ වාසුදේව නානායක්කාර (රත්නපුර දිස්ත්‍රික්කය) ඡන්දය දීමට පැමිණියේ නැත. වෛද්‍ය ගයේෂාන් නවනන්ද (මොණරාගල දිස්ත්‍රික්කය) අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය. මෙය පුදුමාකාර තත්ත්වයකි.

‘යුතුකම’ සංවිධානය පොහොට්ටු පක්ෂය හරහා ඉදිරිපත් කළ අනූප පැස්කුවල් (කළුතර දිස්ත්‍රික්කය) ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර එම කණ්ඩායමේ සභාපති ගෙවිඳු කුමාරතුංග ද ඊට එරෙහි විය. අධිකරණ පක්ෂ තීන්දුවකට එරෙහිවූ සනුල් ආබ්දීන් නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහිමි කළත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු නිදහසේ තීරණ ගැනීමට බිය නොවෙති. කිහිප වරක්ම තම පක්ෂය මාරු කර ඇති ඒ. එච්. එම්. ෆව්සි (සජබ), අලි සබ්රි රහීම් (මුස්ලිම් ජාතික සන්ධානය), වඩිවේල් සුරේෂ් (සජබ), ඩයනා ගමගේ (සජබ/ජාතික ලැයිස්තුව), හරින් ප්‍රනාන්දු (සජබ/ජාතික ලැයිස්තුව) සහ මනුෂ නානායක්කාර (සජබ) පක්ෂයේ තීරණයට පටහැනිව ඡන්දය දුන්නේය.

ඒ. එච්. එම්. ෆව්සි මෑතකදී පාර්ලිමේන්තුවට පැමිණියේ මුජිබුර් රහුමාන් තම කොළඹ දිස්ත්‍රික්ක ආසනයෙන් ඉල්ලා අස්වූ නිසාය. ඒ පුංචි මැතිවරණයේදී කොළඹ මහා නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරග කිරීමටය. පසුගිය මාර්තු 20 අවසන් වීමට පෙර ඡන්දය පවත්වා සභිකයින් පත්කර ගැනීමට ව්‍යවස්ථානුකූලව ගතයුතු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්නේ නැත. පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන ආයතන සඳහා වූ ඡන්දය අතුරුදන් කළේය. එපමණක් නොව තම ඡන්ද ගොඩට ෆව්සිවත් එකතු කර ගත්තේය.

● රත්‍රන් ඡන්දයක්

ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරු අතර පසුගිය මාර්තු මාසයේදී රුපියල් මිලියන 74 පමණ වටිනා රත්‍රන් වංචනික ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් රටට ගෙන ඒමට කළ උත්සාහයේදී අත්අඩංගුවට පත්වූ අලි සබ්රි රහීම් ද විය. ආණ්ඩුවට පක්ෂව ලැබුණු ඡන්ද 122 අතර එම ‘කිලිටි’ ඡන්දය ද විය. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් ජාතික සන්ධානය හරහා තරග කිරීමට ඔහුව ඉදිරිපත් කළ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඔහුව තම පක්ෂයෙන් නෙරපා දැමුවත් තවමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ‘එතුමා’ ක්‍රියා කරයි. රත්‍රන්වලට අමතරව එම මන්ත්‍රීවරයා මිලියන හතරකට වඩා වටිනා ජංගම දුරකථන ගෙන ඒමට කළ වංචනික උත්සාහය ද අසාර්ථක විය.

කොටි නායකයකු වූ කරුණාව කොළඹට ආරක්ෂිතව ගෙන ඒමෙන් බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉමහත් අවදානමක් ගත් අලි සහීර් මෞලානාට තම පාර්ලිමේන්තු අසුන වහාම අහිමි වුවත්, අලි සබ්රි රහීම්ට තවදුරටත් ක්‍රියා කිරීමේ ප්‍රශ්නයක් නැත. කෙසේ වෙතත් දැන් එම දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

අලි සබ්රි රහීම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද කොමිටියේ සාමාජිකයෙකු විය. විපක්ෂයේ විරෝධතා හේතුවෙන් පසුව කථානායකවරයා ඔහුව එම කමිටුවෙන් ඉවත් කළේය.

දෙසැම්බර් 13 වැනිදා අයවැයට ඡන්දය දීමට නොපැමිණි මන්ත්‍රීවරු අතර මීට පෙර සඳහන් කළ අයට අමතරව චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ (තමන් ඡන්දය නොදෙන බවට ඊට පෙර ඔහු ප්‍රකාශ කළේය), නිමල් පියතිස්ස (විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ), උද්දික ප්‍රේමරත්න (ජාතික නිදහස් පෙරමුණ), චන්දිම වීරක්කොඩි (පොහොට්ටුව), අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය) සහ ද්‍රවිඩ මන්ත්‍රීවරු අට දෙනෙකුද විය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් සකස් කරන ලද වාර්තාවේ බලවත් වරදක් තිබිණි. එනම් ජවිපෙ සහ ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්දය දෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටිය බවට සඳහන් කර තිබූ අතර එම පක්ෂයේ විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරියගෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ තම කණ්ඩායමේ තුන් දෙනාම ඡන්දය පාවිච්චි කළ බවයි.

අපේ ජන බල පක්ෂය නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමි තම ඡන්දය අයවැයට එරෙහිව පාවිච්චි කරන ලද මන්ත්‍රීවරු 81 දෙනා අතර විය.

එදා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට සැලකිය යුතු කාර්යයක් කළ ‘වියත්මග’ සංවිධානය නියෝජනය කළ මන්ත්‍රී කණ්ඩායම 10 පමණ වූ අතර එම ඡන්ද ආණ්ඩුව සහ පොහොට්ටු පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායම අතර බෙදීයෑම විශේෂත්වයකි. ‘වියත් මග’ අතුරුදන් වී ඇත.

කෙසේ වෙතත් මහජන එක්සත් පෙරමුණට ආඩම්බර විය හැක. පොහොට්ටුවෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි තුන් දෙනෙකුගෙන් සමන්විත ඒ මන්ත්‍රී කණ්ඩායම 2020 අගෝස්තු මහා මැතිවරණයෙන් පසුව සැම විටම කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කර ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහ 2022 ජුලි තුන්වන සතියේ ජනාධිපති ධුරයට පත්වුවත් මහජන එක්සත් පෙරමුණ එක කණ්ඩායමක් ලෙස ක්‍රියා කර ඇත. මෙවර අයවැය ඡන්දයේදී ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ යදාමිනි ගුණවර්ධන (ජාතික ලැයිස්තුව) නොපැකිලිව වික්‍රමසිංහ-රාජපක්ෂ රජය වෙනුවෙන් පෙනී සිටියේය. තමන්ට ඡන්දය දුන් ජනතාව සමග හැංගිමුත්තන් කරනවාට වඩා ඕනෑම තත්ත්වයක් තුළ පැහැදිලි ස්ථාවරයක් ගැනීම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හේතුවක් බව සැකයක් නැත.

ජනතාව පලවා හැරිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි වසර පහේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට පොහොට්ටු පක්ෂය 2022 ජුලි මාසයේ එක ආසනයක් පමණක් හිමි රනිල් වික්‍රමසිංහව ජනාධිපති ලෙස තෝරාගත්තේ තම පක්ෂයේ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාව 134-82 පරාජය කරමිනි. අද එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි එජාප නායක ජනාධිපතිය. වර්තමාන පාර්ලිමේන්තුවේ අවුල විමසා බැලිය යුතු වන්නේ එතැන් සිටය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment