අපි තවමත් අඳුරේ අත පත ගාන්නේ ඇයි?

රටේ බලශක්ති උත්පාදනයේ වැඩි බර සූර්ය ශක්තියට භාර දිය යුතුයි

සූර්ය බලශක්ති විශේෂඥයකු සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා සංගමයේ වත්මන් විධායක නිලධාරී සහ හිටපු හිටපු සභාපති දක්ෂි ද සිල්වා මහතා ඉකුත්දා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සහ කාර්යක්ෂමතාව පිළිබඳව අප හා කළ සාකච්ඡාවකි මේ. ඒ ඩී එස් සෝලාර් පවර් සමාගමේ සාමාන්‍යාධිකාරී චන්දන දීපවංශ මහතා ද මෙම සාකච්ඡාවට එක්විය.

“ශ්‍රී ලංකාව, එහෙමත් නැතිනම් මගේ මාත ෘභූමිය නිවර්තන කලාපයේ සහ සමකයාසන්නව පිහිටි බලශක්ති විභවය උපරිමව තියෙන රටක් බව අප දන්නා කරුණක්. මොකද වසර පුරාම රටට ඉතා හොඳින් වර්ෂාව වගේම සූර්යාලෝකයත් ලැබෙනවා. මේ තමයි අපි බලශක්තියෙන් ගොඩ යන, ගොඩ යායුතු මාර්ග දෙක. එක පැත්තකින් ජල විදුලියෙන් අපි අපේ උපරිමය කරගෙන රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගත යුතුයි. ඒ පැත්ත නම් ඉතා හොඳින්, උපරිමයෙන් රටේ කෙරෙන බව පෙනෙනවා.

නමුත් ඇයි අනිත් ස්වභාවික බල ශක්ති උත්පාදන විභවය වන සූර්යාලෝකය භාවිතයෙන් බලශක්තිය නිපදවීම රටේ මේ තරම් පරක්කු. වැඩි කාලයක් රටට උපරිම සූර්යාලෝකයක් ලැබෙනවා. මේ මගින් රටට බලශක්තිය නෙළා ගන්න අපි දැනටමත් පරක්කු වැඩියි. ඒ සඳහා අපි යන්න තිබුණේ කාලයකට ඉස්සර. නමුත් දැනුත් පරක්කු නෑ. පිටරටින් ඉන්ධන ගෙනත් දහනය කරල තාප බලාගාර මගින් බලශක්තිය නිපදවන එක මොන තරම් අකාර්යක්ෂම වැඩක්ද. අනික රටකට එහෙම පැවැත්මක් තියනවද? රටේ ආර්ථික කඩාවැටීමට ඒ තත්ත්වයත් ඉතා ඉහළින් බලපෑවා. බලශක්තිය නිපදවීම අතින් රටක් හැකිතරම් ස්වාධීන වෙන්න ඕන. වෙන රටවල් මත, තෙල් ඇතුළු තාප ශක්ති අමුද්‍රව්‍ය මත යැපීම රටකට සුදුසු නෑ. එනිසා හරිත බලශක්තිය ගැන, පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන රටවල් අනිවාර්යයෙන්ම සූර්ය බලශක්තියට යායුතුමයි. පරිසර හිතකාමී ලොවක් අපේෂා කරන අය, අනිවාර්යයෙන්ම සූර්ය බලශක්තියට යා යුතුමයි. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපයේ, ලෝකයේ සූර්ය බලශක්තිය කේන්ද්‍රස්ථානයක් විය යුතුයි. එයයි අපගේ බලාපොරොත්තුව. මමත් මේ ක්ෂේත්‍රයට ආවේ ඒ ගැන හිතලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්තියට විසඳුමක් ලෙසත්, හරිත බලශක්තියට විසඳුමක් ලෙසත් තමයි මම මේ ක්ෂේත්‍රය ගැන හදාරලා ආයෝජකයෙක් ලෙසත් එක්වුණේ.”

මෙසේ කියන්නේ සූර්ය බලශක්ති විශේෂඥයකු සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා සංගමයේ වත්මන් විධායක නිලධාරී සහ හිටපු සභාපති දක්ෂි ද සිල්වා මහතාය.

“මම කොළඹ උපන් අයෙක්. දැන් ජීවත්වෙන්නෙ ඇමරිකාවෙ. පාසල් ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මම මේ පාසලේ අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක වසර 2 ක් විතර සේවය කළා, පුහුණු වන්නෙක් හැටියට. පසුව තවත් ආයතනයකට ගියා. ඔහොම ඉන්නකොට මට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න අවස්ථාවක් ආවා. 1988 වසරේදී ඇමරිකාවට පිටත්ව ගියා. මම ඉගෙන ගත්තෙ ගිණුම් අංශයෙන්. 1995 දී ඇමරිකාවේදී අධ්‍යාපනය හමාර කරල මම එරට පළමු රස්සාවට ගියා. ඒ ‘යූ. එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝර්ට්’ කියන ලෝකයේ ප්‍රකට මාධ්‍ය ආයතනයේ ගිණුම්කරණ සහායකයෙක් විදිහට. මෙහි වසර 3 ක් පමණ සේවය කරල, ඉන්පසු මම සම්බන්ධ වුණා ‘ඇමරිකා ඔන්ලයින්’ කියන ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගමට. මේ සමාගම තමයි ලෝකයේ ප්‍රථමවරට ව්‍යාපාරික මට්ටමින් ලෝකයට අන්තර්ජාලය, නොහොත් ඉන්ටර්නෙට් හඳුන්වා දුන්නෙ. මේ සමාගම ලෝක මට්ටමේ සමාගමක්. වසරක ආදායම ඩොලර් බිලියන තුනක් විතර වෙනවා. එහි මම අන්තර්ජාල ක්‍රියාකරුවකු ලෙස සේවය කළා විතරක් නෙමෙයි, මේ සුවිසල් ආයතනයේ “බැක් ඔෆිස් ඔපරේෂන්” සම්පූර්ණයෙන්ම පාලනය කළෙත් මම. ශ්‍රී ලාංකිකයකු ලෙස ඒ ගැන මම ආඩම්බර වෙනවා. එතන මම වසර 18 ක් වැඩ කළා. 2016 දී එතැනින් මම අයින් වුණා. නමුත් එතැනින් තමයි, අන්තර්ජාලය වැනි දේ ගැන මට ඉතා හොඳ පළපුරුද්දක් ලැබුණේ.

සේවයෙන් ඉවත් වුණු මම ඊට පස්සෙ පටන් ගත්තෙ මගේම කන්සල්ටින් (උපදේශන සේවා) ජොබ් එකක්. ඒ කියන්නේ ආයතනයක වියදම් අඩුකරල, වැඩි ආදායම් උපයන්නේ කොහොමද කියල සහ බලශක්තිය ඇතුළුව වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව, පරිසර හිතකාමීව, තිරසරව කොහොමද ආයතන පවත්වාගෙන යන්නෙ කියල සමාගම් සඳහා උපදේශන සේවා සපයනවා. දැනටමත් මගේ සේවය ඇමරිකාවෙ සමාගම්, ආයතන රැසක් ලබාගන්නවා.

සූර්ය බලශක්තිය උතුරා දෝරේ ගලයි

කොහොම වුණත්, ඉහත කී මාධ්‍ය ආයතනයේ වැඩකරනකොට මම බලශක්ති කාර්යක්ෂමතාව සහ සූර්ය බලශක්තිය ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කළා. අන්තර්ජාලයේ ඒ පිළිබඳව තොරතුරු ගවේෂණය කළා විතරක් නෙමෙයි, ඒ පිළිබඳව ඉහළින්ම අධ්‍යයනය කළා. මේ සඳහා තවත් ඉවහල් වුණු සිද්ධියක් තිබෙනවා. මම හැකි සෑම අවස්ථාවකදීම ලංකාවට ආවා, ගියා. කොහොමත් මම ලංකාව අමතක කළේ නැහැ. ඒ ආපු එක කාලෙක දෙදාස් ගණන්වල ලංකාවේ නිතරම ලයිට් කපන්න පටන්ගත්තා. එක පැත්තකින් රස්නෙ. තව පැත්තකින් අඳුරේ, ලයිට් නෑ. ලංකාව ගැන කලකිරුණා ඒ දවස්වල. අදත් ඒ අවදානම රටට ඇවිල්ල තියනවානේ.

කොහොම නමුත් ඒ දවස්වල මම හොයල බැලුවා මොකද්ද මේ ලයිට් කපන්න හේතුව කියල. මේකට විසඳුම් මොකද්ද කියල මම හොයල බැලුවා. නියඟය, වනාන්තර විනාශය හින්ද ජලාශවල ජල මට්ටම් පහළ බැහැල ජල විදුලිය නිපදවන්න බැරි තත්ත්වයක තමා තිබුණේ. ඒ කාලෙ විදුලිය නිපදවන්න වෙන ගැලපෙන විකල්පයක් තිබුණේ නෑ, පොසිල ඉන්ධන දහන බලාගාර අතලොස්සක් හැරෙන්නට. මේකට විසඳුම සූර්ය බල ශක්තිය භාවිතයට ගැනීම කියන එක මම ඒ කාලෙම තේරුම් ගත්තා. නමුත් ඒ කාලයේ සූර්ය පැනල, බැටරි හරි ගණන්. ඒ නිසා සූර්ය බලශක්තිය සල්ලි තියන අයගේ සුඛෝපභෝගී පරිභෝජනයක් බවට පත්වෙලා තිබුණේ. ඒ කියන්නේ තාක්ෂණය තිබුණා. නමුත් ගාණ වැඩියි. ඒ නිසා ලංකාවට සූර්ය බල තාක්ෂණය යොදාගන්න එක ප්‍රායෝගික නැති වුණා. මේ ගැන මගේ ලොකු කනස්සල්ලක් තිබුණා.

නමුත් චීනය මේ වෙළෙඳ පළට ආවට පස්සෙ සූර්ය බල උපාංග ඉතා ලාභ වුණා. ඒ කියන්නේ සූර්ය බලශක්තිය ලාභ දෙයක් බවට පත් වුණා. 2010-2012 කාලයේදී ලංකාවට ආවහම මම තේරුම් ගත්තෙ සූර්ය බලශක්තිය තමයි රට ගොඩගන්න තියන එකම ප්‍රධාන හරිත බලශක්ති ප්‍රභවය කියල.

කොහොමත් ශ්‍රී ලංකා රජය 2014-15 කාලයේ වැඩි උනන්දුවකින් සූර්ය බලශක්තිය ගොඩනගන්න කටයුතු කරනවා මම දැක්කා. ඉතිං කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටුකරමින් 2016 දී මමත් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට මගේ දැනුම භාවිතයට ගෙන ප්‍රවිෂ්ට වුණා. මොකද ඒ වෙනකොට මම ඇමරිකාවේදී ඒ ගැන හොඳින් අධ්‍යයනය කරල මට ඒ ගැන හොඳ දැනුමක්, අවබෝධයක් තිබුණා.

ලංකාවට වැටෙන මේ හිරු එළිය අපි අපතේ යවන එක දැන්වත් නතර කළ යුතුයි. දිනපතාම පොළොවට වැටිලා උතුරා දෝරෙ ගලාගෙන අහකට යන සූර්ය ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්නෙ නැත්තෙ ඇයි…? මම එහෙම හිතලයි සූර්ය බල තාක්ෂණය ගැන මුලින්ම හිතුවෙ. මම ඒ ගැන ඉගෙන ගත්ත දැනුමෙන් එක පැත්තකින් රටේ ජනතාව දැනුවත් කරන්නත්, අනිත් පැත්තෙන් ඒ සඳහා ආයෝජනය කරන්නත් මම තීන්දු කළා. මොකද ඇමරිකාවට වෙලා මගේ දෙයක් බලාගෙන ඉන්නවට වඩා මම හැමවෙලාවෙම හිතන්නේ ලංකාව ගැන. මගේ රටට දෙයක් කරන්න ඕන කියල මම කල්පනා කළා. ඒ අනුවයි සූර්ය බල ශක්තිය රටේ නංවන්නට එක පැත්තකින් ආයෝජනය කරන්නත් මම තීන්දු කළේ. මොකද ඒ යටතේ ඉතා හොඳ සූර්ය බල තාක්ෂණය අපේ රටට ගෙනෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි ආයෝජනය කරන්නේ පිටරට සල්ලි. එතකොට විදේශ විනිමය, එහෙමත් නැතිනම් රටට ඩොලර් ලැබෙනවා. අනිත් පැත්තෙන් පුනර්ජනනීය බල ශක්තිය නිපදවන නිසා සහ එම බලශක්තිය පරිභෝජනය කරන නිසා පරිසර දූෂණය රටේ අවම වෙනවා. දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම වැඩි කරන්න අපි දායක වෙන්නෙ නෑ. අපි හරිත රටක් ගොඩනගන පරිසර ලෝලීන් පිරිසක් බවට පත්වෙනවා. බලන්න ඇමරිකාව, යුරෝපය, ජපානය වගේ රටවල් දිහා ඔවුන් සියල්ලෝම දැන් භාවිතා කරන්නේ හරිත බලශක්තිය. එහෙමත් නැතිනම් “ක්ලීන් එනර්ජි” කියන කන්සෙප්ට් එක. එහෙමයි රටවල් දියුණු වෙන්නෙ.

සාකච්ඡාවට එක්වෙමින් චන්දන දීපවංශ මහතා මෙසේ පැවසීය.

“දුම් ගහන, ගඳ ගහන, පරිසරය රත් කරන, ගෝලීය උණුසුම වැඩිකරන, ලෙඩ රෝග හදන බලශක්තියට තවත් ලෝකෙ ඉඩ නැහැ. ඒ නිසා අපි හැකි ඉක්මනින් හරිත, පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි. තවත් බල බල ඉන්න කාලයක් නැහැ. අපිට වෙන විකල්පයකුත් නැහැ. රටේ උපයන මුදල් විදේශයන්ට දෙන්නත් බැහැ. දෙන්නත් මුදල් නැහැ. ඒ නිසා සූර්ය බලය, සුළං බලය වගේ දේවල්වලට මුල්තැන දිය යුතුයි.

ශ්‍රී ලංකාවේ සූර්ය පද්ධති, බලාගාර හදන්න ආයතන දෙකක් අපි ලංකාවේ ආරම්භ කරලා තියනවා. පාදුක්ක ප්‍රදේශයේ මෙගාවොට් එකක බලාගාරයක් මම (සොලාර් ෆාර්ම්) හදලත් තියනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. රටේ සල්ලි නෙමෙයි, පිටරට සල්ලි ගෙනල්ල තමයි දක්ෂි ද සිල්වා මහතා ආයෝජනය කරලා අනර්ඝ තාක්ෂණය ගෙනල්ල ක්‍රියාවෙන්ම ඒ බව ඔප්පු කරලා තින්නේ. හොඳම සූර්ය තාක්ෂණික උපකරණ (ඉන්වර්ටර් සහ පැනල්) ලංකාවට ගෙනල්ල තියනවා. ‘හුවාවී’ සහ ‘ට්‍රීනා’ කියන නම්දරාපු පැනල් ආයතනය දෙකේම නියෝජිත ආයතනය බවට පත්වෙලා උසස් සූර්ය උපකරණ ලංකාවට ලබාදෙන්න අපි කටයුතු කරල තියනවා. ඒ වෙනුවෙන් දක්ෂි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඩී එස් කැපිටල් රිසෝර්සස් ප්‍රයිවට් ලිමිටඩ් DS Capital Resources Pvt. Ltd) සහ ඒ ඩී එස් සෝලාර් පවර් (ADS Solar Power) සමාගම් දෙක ශ්‍රී ලංකාවේ ආරම්භ කරල තියනවා. ඒ ඉතා ප්‍රමිතිගත උපකරණ ලංකාවට ගෙන්වන්න සහ අලෙවි කර අලෙවියෙන් පසුත් සේවාව සලසන්න” යයි චන්දන දීපවංශ මහතා පැවසීය.

මම හැමදාමත් මගේ රට යම් අර්බුදයකට පත්වුණු අවස්ථාවල ශ්‍රී ලාංකිකයකු ලෙස රට දිහා බලල කටයුතු කළ කෙනෙක්. මම ඇමරිකාවේ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් එකේ (ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය – Sri Lankan Association of Washington DC) සභාපතිවරයා හැටියට 2008 සිට 2010 දක්වා කටයුතු කළා. අනතුරුව වසර 8 ක් සංගමයේ නිලවරණ භාර නිලධාරියා (කමිෂනර්) ලෙස කටයුතු කළා. ඒ කාලයේ රටේ පැවති යුද්ධය ජයගන්න හා ඊට පහසුකම් ලබා දෙන්න වගේම රටට සාමය ගෙන එන්න අපගේ සංවිධානය උපරිමයෙන් කටයුතු කළා. සුනාමි ව්‍යසනයේදී ශ්‍රී ලංකාවට ආධාර ලබාදී අසරණ වූ ජනතාවට උදව් උපකාර කළා. ඒ වෙලාවෙ අපි ඩොලර් මිලියනයක් එකතු කරල ලංකාවේ පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම කරන ව්‍යාපෘතිවලට ඇවිත් අපි කටයුතු කළා. ඒ වගේම දෙරට අතර සංස්කෘතික දියුණුවට හා හුවමාරුවට සංගමය නිබඳවම කටයුතු කළා. අදටත් කරනවා. ලංකාවේ සංස්කෘතික උත්සව සියල්ලක්ම අපි ඇමරිකාවේදී සමරනවා. අදටත් මම සංවිධානයේ අනුශාසක විදියට කටයුතු කරනවා. අපේ සංවිධානයේ සාමාජිකයින් 5000 ක් විතර ඉන්නවා. නමුත් මේ සංවිධානය දේශපාලන සංවිධානයක් නෙමෙයි. තනිකරම මාතෘ භූමියේ පිරිස් එකතු වී හදාගත් රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානයක්. අපි බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවේදීත් රට ආර්ථික වශයෙන් ගොඩනගන්න සහ විදුලි අර්බුදයට ස්ථිරසාර විසඳුමකට වෙනුවෙන් හරිත බලශක්තියට රට ගෙන යායුතු බවයි. එහිදී විශාල වශයෙන් සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීමට රජය හා පෞද්ගලික අංශය පෙරට ආ යුතු බව මගේ අදහසයි. දක්ෂි ද සිල්වා මහතා පවසයි.

සකස් කළේ –
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment