හේනේගම බස් ත්‍රිරෝද රථ අනතුරෙන් තරුණයෙක් මියයයි – තවත් අයෙකුට බරපතළයි

297

අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ හේනේගම ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස්රථයක් හා ත්‍රීරෝද රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස ආසනයේ ගමන් ගත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල, මාරගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පසන් මනූෂ ගමගේ නමැති තරුණයාය.

24 වෙනි දින පස්වරු 4.00 ට පමණ අකුරැස්ස – ගාල්ල (ඒ 17) ප්‍රධාන මාර්ගයේ අකුරැස්ස සිට මගීන් රැගෙන ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථය සහ ගාල්ල දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය එකට එක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මෙම අනතුරේදී ත්‍රීරෝද රථය පැදවූ තෙලිජ්ජවිල, අකුරුගොඩ පදිංචි 19 හැවිරිදි නානායක්කාර හල්ඔලු‍වගේ ඩිලූෂ සඳමිණ සහ පසුපස ආසනයේ ගමන් ගත් මනුෂ ගමගේ (17) තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කෙරින.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මනූෂ ගමගේ තරුණයා ජීවිතක්ෂයට පත්විය.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති එස්. සුදුසිංහ මහතාගේ උපදෙස් මත අකුරැස්ස රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජිනසිරි කරුණාසිංහ ඇතුළු නිලධාරීන් රියැදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකළහ.

පෞද්ගලික මගී බස් රථයේ රියැදුරු අකුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment