අපරාධකරුවන්ගේ බන්ධනාගාරයේ හෝටල් පිහිනුම් තටාක හා රාත්‍රී සමාජ ශාලා

5620

උතුරු වෙනිසුවේලාවේ බලවත් අපරාධ කල්ලියක් විසින් වසර ගණනක සිට අල්ලාගෙන පාලනය කරමින් සිටි දැවැන්ත බන්ධනාගාරයක් වැටලූ වෙනිසුවේලා හමුදා භටයන් එම බන්ධනාගාරයේ තිබී හෝටල්වල පවතින ආකාරයෙන් ඉදි කළ පිහිනුම් තටාකයක්, රාත්‍රී සමාජ ශාලාවක්, සුදු ක්‍රීඩා සඳහා වෙන් කර ඇති කාමර හා කුඩා සත්ත්වෝද්‍යානයක් සොයා ගෙන තිබේ.

හෝටලයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම බන්ධනාගාරය තුළ බැංකුවක්, බේස්බෝල් පිටියක් හා තානායමක්ද ඉදි කර තිබූ අතර බන්ධනාගාරය පාලනය කළ අපරාධ කල්ලියේ සාමාජිකයන් සඳහා එම ස්ථාන බොහොමයක් වෙන් කර තිබූ බව වාර්තා වී තිබේ. “ට්‍රනේ ඩි ඇරගුවා” නමැති ජාත්‍යන්තර අපරාධ කල්ලිය විසින් පාලනය කරමින් තිබූ උතුරු වෙනිසුවේලාවේ ‘ඇරගුවා’ ප්‍රාන්තයේ පිහිටි ‘ටොකොරොන්’ නමැති මෙම බන්ධනාගාරය එරට පිහිටි විශාලතම බන්ධනාගාරවලින් එකක් වන අතර එම බන්ධනාගාරය කල්ලියෙන් මුදාගැනීම සඳහා හමුදා භටයන් 11,000ක පිරිසක් යවමින් එය නැවත රජයට පවරාගැනීමට බලධාරීන් ක්‍රියා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. හමුදා භටයන් විසින් බන්ධනාගාරය වටලන අවස්ථාවේ එහි සිරකරුවන් 6000ක් පමණ දෙනා සිට ඇති අතර ඔවුන්ට අමතරව සිවිල් වැසියන් ගණනාවක්ද හෝටලයක් ආකාරයෙන් බන්ධනාගාරය තුළ ඉදි කර තිබූ ඉදිකිරීම්වල වාසය කරමින් සිට ඇති බව එම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. වසර කිහිපයකට පෙර ‘ට්‍රනේ ඩි ඇරගුවා’ නමැති බලවත් අපරාධ කල්ලිය විසින් මෙම බන්ධනාගාරය අල්ලා ගෙන ඇත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment