කුරුල්ලන්ගල අභිරහස විසඳිය හැකිද?

326

බණ්ඩාරවෙල ඇල්ල පාරෙන් ගොසින් වැල්ලවාය හරහා කුරුල්ලන්ගලට පැමිණෙන්නට හැකියි. කරගුගොල්ල ගම්මානයේ තිබෙන ඓතිහාසික ලෙන් විහාරය පියමං කොට රත්කිත්තා කන්ද තරණය කළ කෙනෙකුට කුරුල්ලන්ගල පර්වතයේ සිත්තම් කළ ආදි මානව චිත්‍ර දකින්නට හැකියි.

රත්කිත්තකන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3800 ක් පමණ උසය. එවැනි තැනක කඳු මුඳුනක පර්වත බිත්තියේ මිනිස් උසට වඩා ඉහළින් රතු කහ වර්ණයෙන් ඇඳි මේ සිතුවම් දකින්නෙකුට ඇතිවන කුතුහලය අසීමිතය. ඒ මන්ද මිනිස් වාසයක් නොමැති තැනක ඉතා අසීරුවෙන් නැගිය යුතු හෙළක ඉතා වුවමනාවෙන් මේ චිත්‍රණය කර ඇති නිසාය.

මේ සිතුවම් අතර තිබෙන්නේ කුරුළු රූප සත්වරූප සහ අත් සලකුණු කීපයක්. රක්ත වර්ණය මූලිකව යොදා ගෙන තිබෙන්නේ එම වර්ණය සාදා ගැනීමට සුලභව අමුද්‍රව්‍ය හමුවන නිසා විය හැකියි. නමුත් වසර 8000 කට එහා කාලයක ඇඳි චිත්‍ර නොනැසී පවතින්නට හේතු වන්නට ඇත්තේ වර්ණ සංයෝජනයේ ප්‍රබලත්වය නිසා විය හැකියි. විශේෂයෙන්ම සක්වළේ (රුධිරය) සහ යම්කිසි මැලියම් විශේෂයක් සමහර විටක දිවුල් ලාටු වැනි දෙයක් මිශ්‍ර කර ගත්විට එය කදිම සායමක්. සායම් සාදනු පිළිවෙළ නමැති පැරණි පුස්කොළ ග්‍රන්ථයක මෙවැනි සංයෝග ගැන සටහන්ව තිබෙන බව කිව යුතුයි.

රත්කිත්තාකන්ද තරණය කර කුරුල්ලන් ගල ආශ්‍රිතව ලැගුම් ගත් කෙනෙකුට පාන්දර ජාමයේ විශාල කෑ ගැසීම් ශබ්දයක් ශ්‍රවණය කළ හැකියි. පර්වතයේ ඇඳ ඇති කුරුලු සිත්තම්වලට උදේ පාන්දරම මේ කුරුල්ලන් රෑන් හැදී බණින ආකාරයේ මතයක් තමයි ජන සමාජයේ පවතින්නේ. මේ මතය විශ්ලේෂණය කළ විට මෙවැනි අදහසක් මතු කළ හැකියි.

කුරුල්ලන්ගල අභිරහස විසඳිය හැකිද?

කුරුල්ලන්ගල කුරුලු රූප අතර එක් විශේෂත්වයක් වන්නේ පක්‍ෂීන් මරා ආහාරයට ගත් පසු ඉතිරිව තිබෙන ඇටකටු සැකිල්ලක් රූපයට නගා ඇති බැවිනි. හිස හොට ආදී ශරීර කොටස් ඉතිරි වන සේ ඇඳ ඇති රූපය තුළින් දැකිය හැක්කේ මේ සිදුවීමේ බියකරු බවයි. යම් කිසි ස්වභාවික සංසිද්ධියක් තුළ මෙම බියකරු බව සැඟව තිබෙන්නට හැකිය යන මතය මෙහිදී ඉදිරිපත් කළ හැකියි.

වසර අට දහසකට පමණ පෙර ඈත අතීතයේ මෙම ප්‍රදේශයට සංක්‍රමණය වූ ආගන්තුක මිනීමරු පක්‍ෂියකු පරිසරයේ වෙසෙන ලොකු කුඩා කුරුල්ලන් කා දමමින් කළ විනාශය ගිරි ශිඛර සහ තැනිතලාවල ජීවත් වූ මිනිසුන් දකින්නට ඇතැයි සිතමි. මේ විනාශය වළකා ගන්නට බැරිම තැන එක් අපූරු යෞවනයෙන් එයට ඉදිරිපත්ව රත්කිත්තකන්ද තරණය කොට සැඟව සිට සංක්‍රමණික පක්‍ෂියාගේ හැසිරීම් සහ ආහාර රටාවන් නිරීක්‍ෂණය කරන්නට ඇතැයි සිතමි.

හීයක වේගයෙන් කුරුල්ලන් වෙත පහත්වී උන් ඩැහැගෙන විත් ගල් දෙබොක්කාවේ තබා ගෙන ආහාරයට ගන්නා බව ඔහු නිරීක්‍ෂණය කරන්නට ඇත. සංක්‍රමණික ආගන්තුක පක්‍ෂියා තරමින් විශාලය. ලෙහෙසියෙන් මෙල්ල කළ නොහැකි යැයි සිතූ තරුණයා මෙයට උගුලක් අටවා පක්‍ෂියා කොටු කර ගන්නට ඇතැයි සිතන්නට පිළිවන. ප්‍රදේශයේ කුරුල්ලන්ගේ පමණක් නොව මොනරුන් බඩගා යන සතුන් ආදී සත්ව රූප 29 ක් පමණ මෙහි පවතී.

මෙම සිතුවම් අතර වම් අතක සලකුණු කීපයක් දක්නට හැකිය. මෙම සිතුවමට සහභාගි වූ කීප දෙනාගේ අනන්‍යතාවය නැතිනම් අත්සන එය විය හැකිය. ඒ අනුව නිගමනය කළ හැක්කේ මෙම කුරුලු දඩයමට සහ එම සිද්ධිය චිත්‍රණය කළ කීප දෙනකුම සිටින බවයි.

කුරුල්ලන්ගල අභිරහස විසඳා ගැනීමට මෙවැනි මතයක් ඉදිරිපත් කළ හැකි වුවද මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඉදිරිපත් කරන්නේ වෙනස්ම අදහසක්. පෞරාණික මානව චිත්‍ර පිළිබඳ ගවේශනයක යෙදුණු ඔහුට මොණරාගල දිස්ත්‍රික්කයේ පෙට්ටන්ගල නමැති ගිරි ශිඛරයේද මේ හා සමාන චිත්‍ර දැක ගන්නට හැකිව තිබෙනවා. එමෙන්ම ද. ඇමරිකාවට නුදුරු දූපතක තිබෙන කුරුලු මිනිසුන්ගේ හිස්වලින්ද නිරූපිත වන්නේ මානවයා විසින් තමන්ගේ ලෞකික ජීවිතය තුළ කරනු ලබන යාතු කර්ම විශේෂයක් බව ප්‍රකාශ කරනවා. පක්‍ෂි දඩයම කරන මානව සමූහයක් තමන්ගේ දඩයම සාර්ථක කර ගැනීමට කුරුලු සිතුවම් ප්‍රතිනිර්මාණය කර ගැනීම සංස්කෘතියේ අපූර්වත්වය හෙළි කරන බව කිව හැකියි. කෙසේ වෙතත් ඌව පළාතට විශේෂ ඓතිහාසික වැදගත්කමක් එකතු කරන කුරුල්ලන් ගල සිතුවම් සංරක්‍ෂණය කොට ඉදිරි පරපුර වෙනුවෙන් තබා ගැනීම වර්තමානයේ අපගේ යුතුකමකි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment