ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ වාර්තා 3 ක්

149

මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කළ තුෂේන් සිල්වා, මහනුවර මහාමායා බාලිකා විදුහල නියෝජනය කළ එස්. බී. කහංගම සහ මහනුවර ස්වර්ණමාලී සමාජය නියෝජනය කළ එස්. බී.එස්.එල්. දිසානායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 66 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (07 වැනිදා) ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තා පිහිටුවමින් කැපී පෙනෙන්නට සමත් වූහ.

තුෂේන් සිල්වා පිරිමි අවුරුදු 18 න් පහළ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර් 4.50 ක් වූ අතර එය නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් ලෙස සටහන් විය.

ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ වාර්තා 3 ක්

2019 වසරේ චාවාකච්චේරිය හින්දු විදුහල නියෝජනය කරමින් ඒ. පුවිදරන් විසින් පිහිටුවා තිබූ මීටර් 4.40 වාර්තාව ඒ අනුව බිඳ වැටිණි. මීටර් 5.15 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන යුද හමුදාවේ ඒ. පුවිදරන් මෙරට සිටින අංක එකේ රිටි පැනීමේ ශූරයා ද වන්නේය. මීටර් 3.80 ක උස ප්‍රමාණය සාර්ථකව තරණය කළ චාවාකච්චේරිය හින්දු විදුහලේ එස්. කජානන් හට මෙවර ඉසව්වේ දෙවන ස්ථානය හිමි විය.

අවුරුදු 23න් පහළ කාන්තා මීටර් 100 කඩුළු මතින් දිවීමේ තරගය තත්: 14.51 කින් නිම කරමින් එස්. බී.එස්.එල්. දිසානායක එම එම ඉසව්වේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිහිකිරීමට සමත් වූවාය.

අවුරුදු 20 න් පහළ කාන්තා මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්: 14.45 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් එස්.බී. කහංගම අනෙක් නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිහි කරමින් කැපී පෙනුණි..

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක කනිෂ්ඨ තරගාවලිය දින හතරකින් යුතු වේ.

මෙම තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට අවුරුදු 23 න් පහළ මීටර් 5000 තරගය ජයගත් එම්.එස්.ඒ. ප්‍රනාන්දු (කොළඹ) ට හැකියාව ලැබිණි. ඔහු මිනිත්තු 15.48.97 ක තරග නිමි කාලයක් ප්‍රදර්ශනය කළේය.

හින්දු ජාතික පාසල නියෝජනය කළ එස්. තුදීර්හෂිදන් අවුරුදු 20 න් පහළ මීටර් 5000 ඉසව්ව ජය ගනිමින් දෙවන රන් පදක්කමට හිමිකම් පෑවේය. ඒ මිනිත්තු 16.07.14 ක දක්ෂතාවයක් සටහන් කරමිනි.

මෙවර කාන්තා අංශයේ ප්‍රථම රන් පදක්කම වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ ඩබ්ලිව්. ඒ. ඩී. එන්. සමරකෝන් (අවුරුදු 20 න් පහළ මීටර් 5000 – 19.26.45) දිනා ගන්නා අතර වාරයේ කළුතර නියෝජනය කළ බී. ඩබ්ලිව්. නයනා සෙව්වන්දී (අවුරුදු 23 න් පහළ මීටර් 5000 – 19.26.45) දෙවන රන් පදක්කම හිමි කර ගත්තාය.

කාන්තා රන් පදක්කම් ලාභිනියන්

අවුරුදු 20 න් පහළ මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්: 14.45 එස්.බී. කහංගම

අවුරුදු 23න් පහළ කාන්තා මීටර් 100 කඩුළු මතින් දිවීමේ තත්: 14.51 එස්. බී.එස්.එල්. දිසානායක

අවුරුදු 20 න් පහළ උස පැනීම

රනින්දී පෙහන්සා ගමගේ (පන්නිපිටිය ධර්මපාල විදුහල) මීටර් 1.70

අවුරුදු 16 න් පහළ දුර පැනීම

ශේෂා උමායා රත්නායක (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) මීටර් 5.46

අවුරුදු 16 න් පහළ යගුලිය දැමීම

සනුගී සවනිතා (බෝපිටිය ලොයොලා විදුහල) මීටර් 10.50

අවුරුදු 18 න් පහළ කවපෙත්ත විසිකිරීම සෙල්වකුමාර් සෙව්නවනම් (වැල්වැටිතුරේ හින්දු දෙමළ මිශ්‍ර පාසල) මීටර් 29.46

අවුරුදු 23 න් පහළ උස පැනීම

යශෝධා තේජානී (යුද හමුදාව) මීටර් 1.60

පිරිමි රන් පදක්කම් ලාභීන්

අවුරුදු 20 න් පහළ රිටි පැනීම

රහීමා හස්තික (මීගමුව මාරිස්ටෙලා විදුහල) මීටර් 4.00

අවුරුදු 18 න් පහළ රිටි පැනීම තුෂේන් සිල්වා (මීගමුව මාරිස්ටෙල්ලා විදුහල) රන් පදක්කම මීටර් 4.50

අවුරුදු 23 න් පහළ රිටි පැනීම

සුගුමාර් තිසාන්ත් (අලවෙඩ්ඩී අරුණෝදය) මීටර් 4.00

අවුරුදු 16 න් පහළ යගුලිය දැමීම

ඉසිත වික්‍රමාරච්චී (කොළඹ නාලන්ද විදුහල) මීටර් 12.89

අවුරුදු 18 න් පහළ කවපෙත්ත විසිකිරීම එවීන් සේනාරත්න (කොළඹ ඩී. එස්. සේනානායක විදුහල) මීටර් 39.39

අවුරුදු 20 න් පහළ උස පැනීම

ඒ.ආර්. පසන් දිල්හාර (කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල) මීටර් 2.08

අවුරුදු 18 න් පහළ දුර පැනීම

ඔවිඳු නෙත්සර (කොළඹ ඩී. එස්. සේනානායක විදුහල) මීටර් 6.83

අවුරුදු 18 න් පහළ යගුලිය දැමීම

ඉවානෝ වයට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) මීටර් 13.87

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment