දකුණ මත් කළ සංකු ඇතුළු 13ක් සෙල්ලකතරගම හෝටලයකින් අල්ලයි

72

ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ දකුණේ ප්‍රබලයකු ලෙස කටයුතු කරන ‘සංකු’ නමැත්තා ඇතුළු සැකකරුවන් 13 දෙනකු මෝටර් රථ දෙකක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන්ගෙන සිටියදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (23 දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිස් ස්ථානයට භාර දී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබලයකු හා සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු බවට අනාවරණය වන සුදුවැල්ල, නලාගස්දෙණිය, හික්කඩුව පදිංචි ‘සංකු’ නමැත්තා ඇතුළු සැකකරුවන් 13 දෙනකි. අත්අඩංගුවට පත් අනෙකුත් සැකකරුවෝ හික්කඩුව, තෙල්වත්ත, ඌරගස්මංහන්දිය, බලපිටිය හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු ‘යුක්තිය’ මෙහෙයුම යටතේ දිගින් දිගටම විවිධ ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම ජාවාරම්කරුවන් සෙල්ලකතරගම පිහිටි මෙම හෝටලයට පැමිණි සැඟව සිටීමට උත්සාහ කර තිබේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 8790ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන සුදු පැහැති වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් හා කළු පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් 13 දෙනා මෝටර් රථ දෙක හා හෙරොයින් සමග තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිස් ස්ථානයට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment