ද්විත්ව ශතකය පෙනි පෙනී මැතිව්ස්ගේ ඉනිම නවතී – ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

415

සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකයට තවත් එක් ලකුණක් පිටුපසින් සිටියදී මැතිව්ස්ගේ දැවී යෑමත් සමගින් බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ඊයේ (16 වැනිදා) ලකුණු 397කට සීමා විය. ඒ අනුව දෙවැනි දිනට ඊයේ තරගය නතර කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 76ක් ලබා සිටියේය.

 නයීම් හසන්ගේ පන්දුවකට එල්ල කළ පහරක් ෂකීබ් අල්හසන් උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමගින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ නැංගුරම බවට පත්ව තිබූ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ඊයේ ලකුණු 199කට සීමා විය. ඒ අනුව සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය අවාසනාවන්ත අන්දමින් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරුවාට අහිමිවී ගියේය.

 දැවී යනවිටදී පන්දු 397කට මුහුණ දී තිබූ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 19ක් සමගින් හයේ පහර එකකින් සිය ඉනිම සවිමත් කර තිබිණි.

 දෙවැනි දිනට ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබා සිටියේය. ඒ අනුව ඊට තවත් ලකුණු 139ක් පමණක් එක් වෙද්දී ශ්‍රී ලංකා අවසන් කඩුලු 6 දවා ගැනීමට ඊයේ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වී ද ඒ සඳහා ඔවුන්ට ඊයේ පන්දුවාර 63ක් වැය කිරීමට සිදුවීම කැපී පෙණුනි.

 ඊයේ පළමු කඩුල්ල ලෙසින් දිවා භෝජනයට පන්දුවාර 3ක් ඉතිරිය තිබියදී දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කිරීමට නයීම් හසන් සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක් වී ලකුණු 136ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් දැවී යන විටදී පන්දු 148කට මුහුණ දී ලකුණු 66ක් ලබා සිටියේය. හතරේ පහර දෙකක් එම ඉනිමට ඇතුළත් වෙද්දී හයේ පහරවල් 3කින් බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කිරීමටද චන්දිමාල් වගබලා ගත්තේය.

 අනතුරුව ලකුණු 9ක් තුළ පිළිවෙල්න් නිරෝෂන් දික්වැල්ල (03), රමේෂ් මෙන්ඩිස් (01) සහ ලසිත් ඇඹුල්දෙණිය (00)ගේ කඩුලු ශ්‍රී ලංකාවට අහිමි වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් සමගින් 8 වැනි කඩුල්ලට ලකුණු 47ක ලකුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. එහිදී පන්දු 77කට මුහුණ දුන් විශ්ව ප්‍රනාන්දු හතරේ පහර 3ක් සමගින් ලකුණු 17ක් ලබා මැතිව්ස්ට අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටියදී ෂොරුෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හිසේ වැදීමෙන් පිටියෙන් ඉවත්වී ගියේය.

 අනතුරුව අසිත ප්‍රනාන්දු මැතිව්ස් සමගින් එක්ව තවත් ලකුණු 15ක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කරද්දී නයීම් හසන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් අසිත ප්‍රනාන්දුගේ ඉනිම අවසන් විය. අසිත ප්‍රනාන්දුගේ කඩුල්ලත් සමගින් සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5ක් දවාගත් තුන්වැනි අවස්ථාව සටහන් කිරීමට නයීම් හසන්ට හැකියාව ලැබිණි.

 ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගින් සිය කඩුලු මල්ලට තවත් එක් කඩුල්ලක් එක් කරගත් නයීම් ලකුණු 105කට ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය.

 ෂකීබ් අල් හසන් ලකුණු 60කදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය.

ද්විත්ව ශතකය පෙනි පෙනී මැතිව්ස්ගේ ඉනිම නවතී - ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

advertistmentadvertistment
advertistmentadvertistment