නිවැරදි භාව කෝණය භාවිතා කර මරණ මාරකය හඳුනා ගන්න

198

කේන්දර පරීක්ෂා කිරීමේදී නිතර කවුරුත් සැලකිලිමත් වන කරුණු අතර මාරකය හා මරණය ප්‍රධාන තැනක් ගනී. නමුත් එය පරීක්ෂා කිරීමට බහුතරයක් ජ්‍යොතිෂවේදීන් භාවිතා කරන දළ රාශි කේන්දරය භාවිතා නොකළ යුතුයි. මරණය මාරකය පරීක්ෂා කළ යුත්තේ නිවැරදි උපන් වේලාවට සෑදු භාව කේන්දරය පදනම් කර ගනිමිනි. ඇතැමුන් භාව කේන්දරය සෑදීමට නොදන්නා නිසා භාව කේන්දරයෙන් කෙරෙන දෙය වර්ග කේන්දර මගින් කළ හැකි බව කියනවා මා දැක අසා ඇත.

නමුත් භාව කේන්දරයෙන් පමණක් පෙන්නුම් කරන භාව ගිලීම් වර්ග කේන්දර මගින් නොපෙනේ. භාවයත් ගිලිණු විට ඊට ප්‍රතිවිරුද්ධ භාවය ද ගිලේ. එහිදී එම භාවයෙන් කියවෙන ශුභඵල අහිමි වී අශුභ ඵල වැඩි කරයි. එම ගිලිණු භාවයේ අධිපතිගෙන් ද ලැබෙනුයේ අශුභ ඵලය. එමෙන්ම එම ගිලිණු භාවයේ යම් ග්‍රහයෙක් වේද එම ග්‍රහයාගෙන් ද ලැබෙනුයේ අශුභ ඵලමය. ශුභඵල අහිමි වී යනු ඇත. අනභිමුඛ කාල සර්පයක් හිමි ජන්මියෙකුට එම කාල සර්පයට අදාළ භාව 2 ක ගිලීමකට ලක් වීම තුළ අනභිමුඛ කාල සර්පය අභිමුඛ දරුණු කාල සර්පයක් බවට පත්වනු මා දැක ඇත. එහි අශුභ ප්‍රතිඵල අදාළ ජන්මීන්ට ලැබෙනු ද මා දැක ඇත. ඒ නිසා මාරකය හා මරණය ගැන සැලකීමේදී අනිවාර්යෙන්ම භාව කේන්දරයම භාවිතා කළ යුතුමය.

මරණය, මාරකය සැලකීමේදී 22වන දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති, අෂ්ඨාමාංශ ග්‍රහයින් හා නිදනාම්ශ ග්‍රහයින් හා නිදනාම්ශ ග්‍රහයින් ගැන විමසා බැලිය යුතුය. 22 වන දෙර්කාණාධිපති මරණයට දායක වන අතර 64 නවාංශකාධිපති, නිදනාම්ශ ග්‍රහයා හා අෂ්ඨමාංශ ග්‍රහයින් බහුලව මාරකයට තුඩු දේ. නමුත් යම් ජන්මියෙකු මියගිය විට 22 වන දෙර්කාණාධිපති හෝ 64 නවාංශකාධිපති කුමන අයුරකින් හෝ මහ දශා, අතුරු දශා විදශාවන්ට සම්බන්ධයක් දක්වයි. එසේ නොමැතිව මරණයක් සිදු නොවේ. 22 වන දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති සෘජුවම මහ දශා අධිපති, අතුරු දශා අධිපති, විදශා අධිපති නොවුණ ද, මිය යන මොහොතේ පැවති මහ දශා, අතුරු දශා හෝ විදශා අධිපති තැම්පත් රාශි අධිපතිවත් 22 වන දෙර්කාණාධිපතිගේ හෝ 64 නවාංශකාධිපතිගේ නැකතක හෝ සිටිනු දැකිය හැක. මෙවැනි සංකීර්ණ මාර්ගයකින් හෝ මරණයට 22 වන දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති සම්බන්ධ වීම දැකිය හැක.

මරණයට මාරකයට තුඩු දෙන 22 වන දෙර්කාණාධිපති හා 64 නවාංශකාධිපති යන ග්‍රහයින් ජන්මියෙකුගේ සතුටට සැපතට බාධා සිදු නොකරයි. 22 වන දෙර්කාණාධිපති හා 64 නවාංශකාධිපති සිටින ජන්මීන් ඉතා ප්‍රවේශම් විය යුතුමය. 22 වන දෙර්කාණාධිපතිට හා 64 නවාංශකාධිපතිට අදාළ වත්පිළිවෙත් කිරීම, බෝධි පූජා, ග්‍රහ පූජා ආදිය පැවැත්වීම, සෙත් කව් කීම ආදිය කළ යුතුයි.

22 වන දෙර්කාණාධිපතිගෙන් හා 64 නවාංශාකාධිපතිගෙන් සිදු වන මාරක කරදර අවම කිරීම සඳහා එම ග්‍රහයින්ට අදාළ මැණික් පැළඳීම කිසිවිට නොකළ යුතුයි. මාරක ඵල උදා කරන ග්‍රහයාගේ බලය අවම කළ හැකි ග්‍රහයා ජන්ම පත්‍රයෙන් සොයා එම ග්‍රහයාට අදාළ මැණික පැළඳිය යුතුයි. එවිට මාරක තත්ත්වය අවම කර ගත හැක.

මාරකය, මරණය ගැන සඳහන් කිරීමේදී අෂ්ඨාමාංශ, නිදනාම්ශ ග්‍රහයින් ද සඳහන් කළ යුතුය. ජන්මියෙකුට අනිවාර්යයෙන් 22 වන දෙර්කාණාධිපතියෙක් 64 නවාංශකාධිපතියෙක් සිටියද අෂ්ඨාමාංශ, නිදානම්ශ ග්‍රහයින් සිටීමට හෝ නොසිටීමට පුළුවන. යම් හෙයකින් අෂ්ඨමාංශ, නිදානම්ශ ග්‍රහයින් සිටින ජන්මියෙක් නම් එම ජන්මියා මෙම අෂ්ඨමාංශ, නිදානම්ශ ග්‍රහයින්ගේ මහ දශා, අතුරු දශා, විදශා කාලවල ඉතා ප්‍රවේශම් විය යුතුමය. ජන්ම පත්‍රයක අෂ්ඨමාංශ නිදානම්ශ ග්‍රහයින් සිට එම ග්‍රහයින්ගේ බලය ඉතා දුබල මට්ටමක පවතී නම් ජන්මියාට මාරක තත්ත්ව වැඩි කරනු ඇත. මෙසේ වී ජන්මියාගේ ලග්නාධිපති ද නිදානම්ශ ගත නම් ජන්මියා ඝාතනයට ලක් වී මිය යෑමේ අවදානම වැඩිය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ මහත්මා ගාන්ධි මැතිතුමා හා ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ජන්ම පත්‍ර ගත හැක. ඒවාහි ලග්නාධිපති නිදනාම්ශගතය. මොවුන් දෙදෙනාම නාඳුනන වෙඩික්කරුවන්ගේ වෙඩි පහරින් මියගිය අය වේ.

මාරක තත්ත්වය මෙසේ තිබියදී ග්‍රහයින්ගේ ගෝචර ගමනින් අපල වර්ග ගණනාවක් උදාවනු ඇත. ඒ අතර ගුරු ග්‍රහයා ගෝචරයෙන් උත්පත්ති සඳුගෙන් 1, 4, 10 ස්ථානයක ගමන් කිරීමෙන් උදාවන කර්ම ගුරු අපලයත්, ජන්ම කේන්දරයේ රවි සිටින රාශිය මතින් පාපී මහ දශා හෝ අතුරු දශා අධිපතියෙදක් ගමන් කිරීමෙන් උදාවන පාඩක අපලයත් යම් ග්‍රහයෙකුගේ මහ දශාවක් ලබා තිබියදී එම මහ දශා අධිපතිගේ සතුරු ග්‍රහයෙකුගේ අතුරු දශාවක් ලැබීමෙන් උදාවන භේදන අපලයක්, යම් දශාවක් ලබා තිබියදී එම දශා අධිපතියාට අයත් රාශියක පාප ග්‍රහයෙකු ගමන් කිරීමෙන් ඇති වන වේදන අපලයත් ප්‍රධාන තැනක් ගනී.

එමෙන්ම කේන්දරයක අපල පෙන්වන අවස්ථා ද බොහෝමයක් වේ. ඒ අතර ජන්ම කේන්දරයේ 8 අධිපතිගේ මහ දශාවත් හෝ අතුරු දශාවත්, විදශාවත් ඇති කාලය, 7 අධිපති හෝ 2 අධිපතිගේ දශාවත් ලබා තිබීම, 6, 8, 12 අධිපතිගේ හෝ 6, 8, 12 සිටි ග්‍රහයෙකුගේ දශාවක් ලබා තිබීම, සඳු සිටින රාශියෙන් 6, 8, 12 රාශියක සිටින ග්‍රහයාගේ දශාව, බාධක රාශි අධිපතිගේ දශා, අතුරු දශා කාලය, 7 හෝ 2 සිටින ග්‍රහයාගේ දශා කාලය වැනි පිහිටීම් කේන්දරයක අපල පෙන්වන විශාල ග්‍රහ පිහිටීම් ප්‍රමාණයක් අතරින් කිහිපයකි. තවද සඳු දශාව ලබා තිබියදී ශනි 08 වැන්නේ ගමන් කිරීම, රවි දශාව ලබා තිබියදී ශනි 10 වැන්නේ ගමන් කිරීම, කුජ දශාව ලබා තිබියදී ශනි 7 වැන්නේ ගමන් කිරීම ජන්මින්ට බොහෝ මාරක මෙන්ම මරණය වුව ද සිදු විය හැකි පිහිටීම් 3 කි. මෙය සෘෂිවරු ශ්ලෝකයෙන් ද දේශනා කර ඇත. එය මෙසේය.

අෂ්ඨ මන්දේ දශා චන්දෝ
දශ මන්දේ දිවා තරෝ
සප්ත මන්දේ මහී පුත්‍රෝ
ඒවාං ප්‍රාන විනාශනං

ඉහත ග්‍රහ පිහිටීම් පරීක්ෂාවේදී ද දළ රාශි කේන්දරයෙන් නොව භාව කේන්දරය මගින් පරීක්ෂා කළ යුතු බව මා නැවත වරක් අවධාරණය කරමු. මන්ද මීට අවුරුදු 4 කට පමණ පෙර මගෙන් ඉගෙනුම ලැබූ සිසුවියක් පලාපල කථනය සඳහා ඇගේ ජන්ම පත්‍රය මා හට දුනි. එහි පලාපල කථනය සිදු කිරීමේදී, ඇයට එවිට ජන්ම ඒරාෂ්ඨකය ආරම්භ වී දරුණුව පවතින බවත් එයින් ඇගේ කලාත්‍රයාට බොහෝ හානි ගෙන දෙන බවත් මා පලාපල කථන දේශන වාරයේදී පැවසීය. නමුත් එවකට ඇය ඉතා සුපිරි ජීවිතයක් ගත කළ බැවින් එවැන්නක් පිළිගැනීමට පවා ඇය අකමැති විය. ඇයගේ සැමියාගේ කේන්දරයේ ද කිසිදු අපල තත්ත්වයක් නොමැති බව ද ඇය මට පැවසීය. නමුත් මම ඇයගේ සැමියාගේ දළ කේන්දරය මෙන්ම භාව කේන්දරය යන දෙකම පරීක්ෂා කළ අතර එහිදී ඔහුට දළ කේන්දරයෙන් කිසිදු පීඩාවක් නොවුණ ද භාව කේන්දරයෙන් කර්ම ගුරු අපලය උදා වී ඇති බව මා දුටිමි. එයට හේතුව වී ඇත්තේ උත්පත්ති සඳු දළ රාශි කේන්දරයේ සිටින තැනින් භාවයේ නොසිටින නිසාය. මා ඔහුට පරිස්සම් වෙන්නැයි පැවසුව ද එය ගණන් නොගැනීමෙන් ඊට සති දෙකකට පසු ඔහු මිතුරෙකුගේ නිවසක වහලක් මතට නැග මහල් 3 කින් වැටී හිස බිම ඇනී සිහිසුන්ව මාස ගණනක් සිට මද සනීපයක් ලැබුව ද අදටත් ඔහු රෝගියෙකි. මා ඇගේ සහ ඇගේ සැමියාගේ භාව කේන්දරය බලා කියා දුන් සියලු පලාපල අද වනවිට සත්‍ය වී ඇත.

මා ඇගේ සැමියාගේ දළ රාශි කේන්දරය හා භාව කේන්දරය යන දෙකම ඇඳ කර්ම ගුරු අපලය පල දුන් ආකාරය පෙන්වීමට තීරණය කළෙමි. භාව කේන්දරය මෙහි මා ඇඳීම සිදු නොකරන අතර භාවයේ ග්‍රහයින් සිටින ස්ථාන සූර්ය චක්‍රයට දමා පෙන්වමි.

මෙහි දළ රාශි කේන්දරයේ උත්පත්ති සඳු වෘෂභ රාශියේය. 2020 මැයි 26 දින මෙම ජන්මියාට මෙම අනතුර විය. එවකට ගුරු ග්‍රහයා මකර රාශියේ ගෝචරය වේ. නමුත් දළ රාශි කේන්දරයේ මකර රාශිය සඳු සිටින රාශියෙන් 9 වැන්නයි. එහිදී කර්ම ගුරු අපලය නොයෙදේ. නමුත් භාව කේන්දරයේ සඳු සිටිනුයේ මේෂ රාශියේය. ගෝචර ගුරු මකර රාශියේය. උත්පත්ති සඳු සිටින මේෂ රාශියේ සිට ගෝචර ගුරු සිටින මකර රාශිය 10 වැන්නයි. එහිදී කර්ම ගුරු අපලය යෙදේ. නිවැරදි සත්‍ය කේන්දරය වන භාව කේන්දරයෙන් පමණක් යෙදුන කර්ම ගුරු අපලය මෙම ජන්මියාට දරුණු ලෙස බලපා ඇත.

මරණය හා ඊටත් වඩා භයානක මාරකය ජය ගැනීමට 100% ක් නිවැරදි භාව කේන්දරය පරීක්ෂා කර මරණය මාරකය මෙන්ම එහි ස්වභාවය හඳුනාගෙන ඊට අදාළ වත්පිළිවෙත් නිවැරදිව සිදු කරන්න. එවිට ඔබත් සුරක්ෂිත වී ඔබගේ ආදරණීයයන් ද සතුටින් තැබිය හැක.

නිවැරදි භාව කෝණය භාවිතා කර මරණ මාරකය හඳුනා ගන්න

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු ආචාර්ය
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර
දු.ක.- 0779282653

advertistmentadvertistment
advertistmentadvertistment