නිවැරැද්දට එරෙහිව වැරැද්දට තැන දීම

1069

අද අප ඔබට කියන්නේ ටිකක් වෙනස් ආරක කතාවකි. මෙය සම්බන්ධ වන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ය. 2018 දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයේ වැසියන් අතර අමුතු ස්වසන රෝගයක් පැතිරෙමින් පවත්නා බව ලී වෙන්ලියෑං නමැති චීන වෛද්‍යවරයෙක් හෙළි කළේය. මේ රෝගය ඊට කලකට පෙර පැතිර ගිය සාර්ස් රෝගය හා සමාන බව එම දොස්තරගේ මතය විය. ඔහු ඒ ගැන සිය මිතුරන්ට දැන්වූ අතර ඒ පිළිබඳ ආරංචිය චීන බලධාරීන්ගේ කනට ගියේ ය. චීන ආණ්ඩුව ඔහු අත්අඩංගුවට ගත් අතර බොරු ආරංචි පතුරුවා චීනයේ කලබල ඇති කිරීමට තැත් කරන බව කියමින් හිර කූඩුවේද දැම්මේ ය. මෙයින් දින කීපයකට පසු කොවිඩ් 19 වැළඳී දොස්තර ලී මිය ගියේ ය. එබැවින් ඔහු බොරු කියා චීනය තුළ කැළඹීමක් ඇති කිරීමට තැත් නොකළ බව අලුතින්ම කීමට චීන ආණ්ඩුවට සිදුවිය.

මේ කියන වකවානුවේදී ම චීනයට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි ඇමරිකාවේද මෙවැනිම කටකතාවක් පැතිර යන්නට විය. කොවිඩ් 19 නමැති වෛරසය කොරෝනා යන අලුත් ස්වරූපයෙන් ලොව පුරා පැතිර යන බව එම කාලයේදී ඇමෙරිකාවේ වෛද්‍යවරු, හෙදියෝත් කියන්නට පටන් ගත්හ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ රෝහල්වල ස්වසන ආධාර උපකරණ වැඩි කරන ලෙසත්, සියලුදෙනාම මුව ආවරණ පැළඳිය යුතු බවත් ය. මේ කටකතාව පැතිරෙන්නට පටන් ගත් විට ඇමරිකානුවෝ මහත් සේ කලබලයට පත් වූහ. එවිට එකල සිටි ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලගතු කාර්ය මණ්ඩලයට මාර විදිහට තදවිය. දොස්තරලාත්, නර්ස් නෝනලාත් කටවල් වසාගෙන සිටිය යුතු බව ඇමරිකන් ආණ්ඩුවේ අදහස විය. එහෙත් ටික දිනක් යන විට ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවකම කොරෝනා වෛරසය පැතිර යන්නට පටන් ගත් බැවින් ආණ්ඩුවට කටපියාගෙන සිටීමට සිදුවිය.

ඉදිරියේදී සිද්ධවීමට යන හානිදායක කාර්යයක් පිළිබඳ කල්තියා අනාවැකි පළකර ඊට මුහුණදීම සඳහා සමාජය සූදානම් කරන අය හැඳින්වීම සඳහා විශේෂ ඉංග්‍රීසි පදයක් තිබේ. ඒ වූ කලී WHISTLE BLOWER ය. WHISTLE BLOWER ලා ලෝක ඉතිහාසය පුරාම සිටි අතර මධ්‍ය කාලීන යුගයේදී නම් කට ඉස්සර කර ගැනීමට යෑමේ චෝදනාව යටතේ මැරුම් කෑහ. වකුගඩු රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල ද එවැනි WHISTLE BLOWER කෙනෙකි. හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට පසුගියදා විශේෂ අවසරයක් ලබාදෙන ලදී. ඒ අවසරයට අනුව හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා වැඩි මිලක් ගෙවීමේ බලය රෝහල් බලධාරීන්ට හිමි වේ. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල පාඩුවක් සිදුවන බව වෛද්‍ය චාල්ස් නුගවෙල සමීක්‍ෂණ වාර්තාවක් මගින් හෙළිකළේය. මේ අතර නුගවෙලගේ මේ වාර්තාවට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට මෙවැනි තීරණ ගැනීම සඳහා ක්‍ෂණික බුද්ධියක් පහළවන්නේ නැත. ස්ථීර වශයෙන්ම ඔහු පිටුපස දේශපාලන හස්තයක් තිබේ. ඒ දේශපාලන හස්තය සෞඛ්‍ය ඇමැතිවරයා වීමටත් පුළුවන; එසේ නොවීමටත් පුළුවන. මේ බළල් අත සෞඛ්‍ය ඇමැතිවරයා නම් ඇතිවන තත්ත්වය බරපතළය. බලු වලිගය වෙනුවට බල්ලා වැනීමේ හැකියාවක් සෞඛ්‍ය ඇමැතිට තිබේ. එය දේශපාලනික මැදිහත්වීමකි. අපගේ අදහසට අනුව මේ අත්තනෝමතික තීරණය ගන්නා ලද්දේ සෞඛ්‍ය ඇමැති නොවීමට පුළුවන. එබැවින් මෙය කළේ කවුදැයි සොයාගෙන වැඩිදුර විස්තර හෙළිකිරීමට ජනතාව ද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින සෙසු අය ද උදව් කළ යුතුය.

වරදක් පෙන්වන මිනිහා හැම විටම ද්‍රෝහියෙකි. වරදක් පෙන්වාදීමට එන මිනිහාට පහරදීම යුරෝපයේදී හඳුන්වනු ලබන්නේ පණිවුඩකරුවාට වෙඩිතැබීම යනුවෙනි. පණිවිඩකරුවා යනු රැකියාවක් කරන පුද්ගලයෙකි. ඔහුගේ රස්සාව වන්නේ පණිවුඩ එහා මෙහා ගෙනිහින් දීමය. එය හොඳ පණිවුඩයක් වීමටත් පුළුවන. නරක පණිවුඩයක් වීමටත් පුළුවන. එම පණිවුඩයට උත්තරය දීම හෝ එම පණිවුඩයට අනුව ක්‍රියාකිරීම සඳහා බලධාරීන් සිටිති. මෙවැනි විටක ඇතැම් බලධාරියෙක් කරන්නේ පණිවුඩකරු විසින් ගෙනෙන ලද නරක පණිවුඩය නිසා ඔහුට අඩන්තේට්ටම් කිරීමය. මෙය ගොං වැඩකි. වෛද්‍ය නුගවෙල ඖෂධ සිද්ධිය ගැන හෙළිදරව් කරන්නේ නීත්‍යනුකූල වාර්තාවකිනි. එම වාර්තාව නීත්‍යනුකූල වන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසින් එය සකස් කරන ලද නිසාය. මෙහිදී බලධාරීන්ගේ යුතුකම නම් එම වාර්තාව ප්‍රවේශමෙන් කියවා එයින් උගතයුතු දේවල් ගෙන නෝන්ඩි නොවී එකී නරක තත්ත්වය වළක්වාගැනීම සඳහා සූදානම් වීමය. නුගවෙල සිද්ධියට මැදිහත්වන ලෙස අපි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ඉල්ලමු. නැතිනම් මේ වෛද්‍ය නිලධාරියා රාජ්‍යය සමඟ අමනාප වන අතර ඔහුගේ ඊළඟ නැවතුම විය හැක්කේ යුරෝපය හෝ එංගලන්තය ය. එවිට අච්චර දොස්තරලා ද මෙච්චර දොස්තරලාද පිටරටවල පදිංචියට ගොස් ඇති බව කියමින් අපි වැළපෙන්නට පටන් ගනිමු. හැබැයි පණිවුඩකරුවාට වෙඩි තැබීමෙන් අප කළ හානිය හඬමින් හොටු සූරන අතරවත් අපට මතක් වන්නේ නැත. ශ්‍රී ලංකාව විශාල චින්තනමය විප්ලවයකට භාජන විය යුතු රටකි. 1948 න් පසු මේ චින්තන විල්පවය පටන්ගත්ත ද එය ක්‍රියාත්මක වන්නේ ඉතාම හිමිහිට ය. මිනිසුන් අදටත් හිතන්නේ ඉතාම පරණ විදිහට ය. දේශපාලන අධිකාරිවාදය සහ නිලධාරිවාදය රටින් තුරන් කිරීමට කොපමණ තැත් කළත් එය හරිගොස් නැත. මෙය නිවැරදි කර නොගතහොත් අපට හැමදාමත් සිටීමට සිදුවන්නේ නිවැරැද්දට එරෙහිව වැරැද්ද ප්‍රවර්ධනය කරමිනි. එවැනි රටකට අනාගතයක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment