ප්‍රේමය වෙනුවෙන් රජකමත් එපා

927

රජ කුමරුවෙක්, කුමරියක් සාමාන්‍ය යුවතියක හෝ තරුණයෙකු හා විවාහ වෙන අවස්ථා කුඩා කල අප ඇසූ කතාන්දරවල නම් බහුලය. එහෙත් සැබෑ ලෝකයේදී එවැන්නක් අසන්නට ලැබෙන්නේවත් අතිශය කලාතුරකිනි. ඉතින් ඇගේ කතාව වැදගත් වෙන්නේ එය එවැනි දුර්ලභ කතාවක් වන බැවිනි.

ඇය ජපානයේ අධිරාජ්‍යයාගේ ඥාති දියණියයි. ඔටුන්න හිමි කුමරුන් වන අකිෂිනෝ කුමරුන්ගේත්, කිකෝ කුමරියගේත් දියණිය මාකෝ කුමරියයි.

මාකෝ කුමරියට ඔහුව මුණ ගැසෙන්නේ ඇය ටෝකියෝ හි International Christian University විශ්වවිද්‍යාලයේ සිසුවියකව සිටියදී ය. ඔහු ආර්ථික අපහසුතා ඇති, සාමාන්‍ය පවුලක තරුණයෙකි. එහෙත් පේ‍්‍රමයට දුප්පත් පොහොසත් කම් හෝ තරාතිරම් අදාළ නැත. ලෝකයේ දැනට පවතින පැරණිම රජ පරපුර යැයි සැලකෙන ජපන් රජ පවුලේ, ඔටුන්න හිමි කුමරුන්ගේ දියණිය මාකෝ කුමරියත්, සාමාන්‍ය තරුණයෙකු වන කෙයී කොමුරෝත් හඳුනාගෙන වැඩි දවසක් යන්නට පෙර පේ‍්‍රමයෙන් බැඳෙන්නේ ඒ කතාව සනාථ කරමිනි. මාකෝ කුමරිය රජ පවුලේ අනෙක් කාන්තාවන්ට වඩා වෙනස්ය. ඇය තම ආචාර්ය උපාධිය පිණිස අධ්‍යයන කටයුතු කළේ රජ පවුලේ මුදලින් නඩත්තු වෙමින් නොවේ. ටෝකියෝ නුවර කෞතුකාගාරයක, පර්යේෂිකාවක ලෙස රැකියාවක්ද කරමිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුරම අර්ධ කාලීන රැකියාද කරමින් මේ යුවළ සරල සාමාන්‍ය පෙම් යුවළක් ලෙස කල් ගෙවූහ.

දුප්පත් සාමාන්‍ය තරුණයෙකු සමග පේ‍්‍රමයෙන් බැඳෙන රජ කුමරියකගේ කතාවේ ඊළ`ග පරිච්ෙඡ්දය කුමක් විය හැකිද.? රජ පවුලෙන් ඇගේ මේ ආදරයට දැඩි විරෝධයක් එල්ල වීම විය හැකි යැයි ඔබ සිතනු ඇත. එවැන්නක් සිදු වූයේ නැත. මාකෝ කුමරියගේ දෙමාපියන් වන අකිෂිනෝ කුමරුත්, කිකෝ කුමරියත් තම දියණියගේ පේ‍්‍රමයට කිසිදු විරුද්ධත්වයකින් තොරව ආශීර්වාද කළහ.

එසේ නම් ඒ පේ‍්‍රමයට විරුද්ධ වූයේ කවුරුන්ද.? ඒ එරට මහජනතාවය. එය සිදුවෙන්නේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී රාජකීයයන්ගේ කටයුතු භාරව සිටින The Imperial Household Agency විසින් මාකෝ කුමරියගේත්, කෙයී කොමුරෝගේත් විවාහ ගිවිසීම පිළිබඳ නිවේදනය මුල් වරට මාධ්‍යයට නිකුත් කළ විටදීය. ඒ වන විට ඔවුන් දෙදෙනා තමන්ගේ විවාහ මංගල උත්සවය 2018 වසරේ නොවැම්බර් මාසයේදී සිදු කරන්නට යොදාගෙන සිටියහ. 2017 දෙසැම්බර් මාසය වන විට එරට සතිපතා ස`ගරා වල අමුතුම පුවතක් පළ වෙන්නට පටන් ගත්තේය. ඒ පුවත, මාකෝ කුමරියගේ පෙම්වතාත් ඔහුගේ මවත් පිළිබඳවය. කොමුරෝගේ මව, ඇය මුලින් විවාහ වෙන්නට සිටි තැනැත්තාට ඇමරිකානු ඩොලර් තිස්පන් දහසක මුදලක් වංචා කළ බව ඒ පුවතින් කියැවිණ. ඒ මුදල තම මවට ලැබුණු තෑග්ගක් මිස, ණය මුදලක් නොවන බව කොමුරෝ පැවසුවේය.

කෙසේ වුවත් මේ කාරණය මාකෝ කුමරියගේත් කොමුරෝගේත් විවාහයට සෑහෙන පමණකට බලපෑවේය. ජපන් රජ පරපුර ජපානයේ සංස්කෘතියේ නියෝජනයක් බැවින්, රජ පවුලේ දියණියක් මෙවැනි අපකීර්තියකට පත් පවුලකට බැඳීම අනුමත කළ නොහැකි යැයි කියමින් මහජනතාව එයට අප‍්‍රසාදය පළ කළහ. ඒ නැතත්, රජ පවුලේ කෙනෙකු සාමාන්‍ය වැසියෙකු හා විවාපත් වීම සම්ප‍්‍රදායට පටහැනි බව පොදු මතය විය. තත්ත්වය මෙසේ පවතිද්දී 2018 පෙබරවාරි මාසයේදී, ඔවුන්ගේ විවාහය කල් දැමිණ. කොමුරෝ, ෆෝර්ඞ්හැම් විශ්වවිද්‍යාලයෙන් නීතිය ඉගෙනගනු පිණිස ඇමරිකාව බලා පිටත්ව ගියේය. නීති උපාධිය ලැබ, වෘත්තීය නීතිවේදියෙකු බවට පත්වූ කොමුරෝ, නිව්යෝක්හි නීති ආයතනයක සේවය කරන්නට පටන් ගත්තේය. ඒ වන විටත් කුමරියගේත් කොමුරෝගේත් ආදරයේවත්, ඔවුන් විවාහ වන බවට ගත් තීරණයේවත් වෙනසක් සිදුවී තිබුණේ නැත. එහෙත් කොමුරෝගේ පවුලට ඇති මූල්‍යමය වංචාවේ අපකීර්තිය එසේම තිබියදී නම්, මේ විවාහයේ කටයුතු කිසිසේත්ම කළ නොහැකි යැයි මාකෝ කුමරියගේ පියා අකිෂිනෝ කුමරුන් කියා සිටියේය. අන්තිමේදී, තම මවගේ ණය මුදල පියවා දැමීමේ වගකීම තමා විසින් බාර ගන්නා බව පවසමින් කොමුරෝ විසින් පිටු 24ක දිගු ප‍්‍රකාශයක් නිකුත් කරන ලදී. මේ සියල්ලට පසුව කොමුරෝ නැවතත් සිය රටට පැමිණෙන්නේ වසර තුනක කාලයකට පසුවය. එනම් 2021 සැප්තැම්බර් මාසයේදීය. ඔහු සිය රටට පැමිණි වහාම, යළිත් පුවත්පත්වල, වෙබ් අඩවිවල හා විද්‍යුත් මාධ්‍යවල පවා ඔහු ගැන කතා මැවෙන්නට විය. ඊට හේතුව වූයේ ඔහු කොණ්ඩය වවා, පෝනිටේලයක් වන සේ එය බැඳගෙන සිටීමයි. එවැනි පෙනුමකින් යුතුවූ කෙනෙකු කිසිසේත්ම රජ පවුලට නොගැලපෙන බව යළිත් කියැවෙන්නට විය.

කොහොමත් ජපන් රජ කිරුළේ උරුමය ඇත්තේ රජ පවුලේ පිරිමි පාර්ශවයට පමණකි. රජ පවුලේ කාන්තාවක් සාමාන්‍ය වැසියෙකු හා විවාපත් වෙනවා නම් ඇයට රජ පවුලෙන් පිටමං වෙන්නට සිදුවෙයි. එහෙත් මාකෝ කුමරිය ඒ ගැන කනගාටු නොවූවාය. ”ඒ හැම දේටම වඩා මට ඔහුගේ සිනාව වටිනවා.” ඇය කීවාය. ඉතින්, මුළු ලෝකයක් කතා වෙද්දී, කුමරිය තම රජ පවුල අත්හරින්නට තීරණය කළාය. 2021 ඔක්තෝබර් 26 වෙනිදා ඔවුන්ගේ විවාහය සිදු විය. රාජකීය උත්සවයක් තබා, සාමාන්‍ය විවාහ මංගල්‍ය උත්සවයක්වත් නොමැතිව, රජයේ කාර්යාලයකදී ඉතා චාම් අන්දමට ඔවුන්ගේ විවාහය සිදු කෙරිණ. ජපන් රජ පවුලේ කාන්තාවකගේ විවාහයේදී සාමාන්‍යයෙන් නම් එරට රජයෙන් ඇයට ඩොලර් මිලියන 1.3 ක මුදලක් පිරිනැමෙන අතර, රජ පවුලේ සම්ප‍්‍රදායට එරෙහිව සාමාන්‍ය වැසියෙක් හා විවාහ වෙන්නට ගත් තීරණය නිසා මාකෝ කුමරියට ඒ මුදලද අහිමි විය.

විවාහයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී, නව යුවළ තමන්ට සහය දැක්වූ තම පවුල්වල උදවියට ස්තුති කළ අතර, මේ විවාහයෙන් යම් කිසිවෙකු අපහසුතාවයට පත් වූයේ නම් ඒ සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිටියහ. ”මං මාකෝට ආදරෙයි..” කොමුරෝ එහිදී කීවේය. ”කෙනෙකුට තියෙන්නේ එක ජීවිතයයි. ඒ ජීවිතය තමන් ආදරය කරන කෙනාත් එක්ක ගත කරන්න ඕන කියලා මං තීරණය කළා.”

විවාහය සිදුවුණු පසුව, මාකෝ කුමරිය තම රාජකීය ජීවිතයෙන් නික්මුණාය. ඇගේ රජ පවුලෙන් නික්මීම, ජපානයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය කෙරිණ. දැන් ඔවුන් දෙදෙනා තම ඉදිරි ජීවිතය අරඹන්නට නිහඩවම නිව්යෝක් බලා පිටත්ව යන්නට සූදානමින් සිටිති. මාකෝ කුමරිය සාමාන්‍ය වැසියෙකු හා විවාහ වී මෙසේ රජ පවුලෙන් නික්ම යාම, බි‍්‍රතාන්‍ය රජ පවුලේ හෙන්රි කුමරුන් ඔහුගේ බිරිඳ මෙගාන් සමග සාමාන්‍ය ජීවිතයකට නික්ම යාමට සමාන වේ යැයි බොහෝ අය පවසති. හෙන්රි කුමරුන් රජ පවුලෙන් ඉවත් වීම බි‍්‍රතාන්‍ය රජ පවුලට බලපෑ තරමටම නැතත්, මාකෝ කුමරියගේ ඉවත් වීම ජපන් රජ පවුලටද බලපෑමක් වී ඇත. මේ වන විට ක‍්‍රිසන්තිමම් කිරුළ හෙවත් ජපාන අධිරාජ්‍යයේ සිංහාසනය හිමි රජ තනතුර සංකේතාත්මක තනතුරක් පමණකි. ස්ත‍්‍රී පුරුෂභාවය ගැන ජපන් සමාජයේ කොතරම් නූතන මතවාද තිබුණත්, ජපන් කිරුළට හිමිකම් කිව හැක්කේ පුරුෂ පාර්ශවයට පමණකි. අතීතයේ සිට මේ දක්වා රජ පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව කෙමෙන් අඩු වෙමින් රජ පරපුර ක්ෂ්‍ය වෙද්දී, එය දැනට පවතින සංකේතාත්මක තනතුරටද බලපාන තත්ත්වයක් බවට පත්ව ඇත. රජ පවුලේ දැනට ඉතිරිව ඇති සාමාජිකයින් අතරින්, ක‍්‍රිසන්තිමම් කිරුළේ ඊළග හිමිකරුවා වෙන්නේ මාකෝ කුමරියගේ 15 හැවිරිදි සොහොයුරු හිසහිතෝ කුමරුන්ය. ඔහුගේ පරපුරෙන් කිරුළට සිටින එකම උරුමක්කරුවාද ඔහු පමණකි.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment