පොල්පිතිගම කට්ටඩියකුගේ අමුතු ශාන්තිකර්මයක්…

1037

ශාන්තිකර්මයෙන් පසු ගෘහමූලිකයාට බිරිඳ දරු දෙදෙනා පමණක් නොව මුදල්ද අහිමි වෙයි…

ඉනෝකා, පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. දෙදරු මවක් වන ඇයගේ වයස අවුරුදු 38කි. අතුල සමඟ ඇය විවාහ වූයේ දැනට වසර පහළොවකට පමණ පෙරයි. අතුල තම බිරිඳට සහ දරු දෙදෙනාට දැක්වූයේ අසීමිත සෙනෙහසකි. එම ප‍්‍රදේශයේම රැකියාවක නිරත වූ ඔහු නිවසේ ආර්ථිකය වැඩි දියුණු කරගැනීම සඳහා කිරි ගවයන් තිදෙනෙකු ද මිලදී ගෙන තිබුණි.

මාස කිහිපයක සිට ඔවුන්ට නොසිතූ කරදර රැසකට මුහුණ දීමට සිදුවිය. ඥාතීන් සහ හිත මිතුරන් එම කරදර සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළහ. බහුතරයක ගේ අදහස වූයේ එයට ප‍්‍රධානම හේතුව නිවසේ ඇති අමනුෂ්‍ය දෝෂයක් බවයි. අතුල සහ බිරිඳ ද හිස් මුදුනින් එය පිළිගත්හ. දිනක් ඒ පිළිබඳව ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

”අපිට තියන කරදර එන්න එන්නම වැඩිවෙනවා නේද.”

”ඒක තමයි අතුල මම කල්පනා කළේ. අපිට විතරක් නොවෙයි පුංචි ළමයි දෙන්නටත් ඒක බලපාලා.”

”බලපු බලපු හැමතැනින්ම කිව්වේ අපේ වෙලාව හොඳ නැහැ කියලා. අමනුෂ්‍ය දෝෂ මදිවට ග‍්‍රහ අපලත් තියෙනවලූ.”

”ඒක තමයි මට නම් හොඳටම බයයි. මේක අපේ දියුණුව බලාගෙන ඉන්න බැරුව කවුරුහරි කරපු ගුරුකමක් වෙන්නත් බැරි නැහැ.”

”එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි වෙලාවල් බලපු තැන්වලින් සහ සාත්තර බලපු තැන්වලින් කිව්වේ ග‍්‍රහ අපල සහ අමනුෂ්‍ය දෝෂ තියෙනවා කියලා.”

”ඉතින් අපි මොකද මේකට කරන්නේ.”

”යාළුවෙක් මට කිව්ව හොඳ කට්ටඩියෙක් ඉන්නවා කියලා.”

”ඉතින් අපි එයාව ගෙන්න ගමුකො.”

”ඒක තමයි මමත් කල්පනා කළේ. තරුණ කට්ටඩියෙක් හොඳ වැඩකාරයෙක්ලූ.”

”එහෙනම් අපි ඒ කට්ටඩියව ඉක්මනට ගෙන්න ගමුකො.”

”ඔව් මම අද හෙටම ගිහින් හම්බ වෙන්නම්.”

අතුල පැවසූ එම කට්ටඩියා පදිංචිව සිටියේ පොල්පිතිගම ප‍්‍රදේශයේය. විවාහකයකු වන ඔහු දෙදරු පියෙකි. කට්ටඬිකම කෙසේ වෙතත් ඔහු ස්ත‍්‍රී ලෝලියෙකි. ඇහැට කනට පෙනෙන තරුණියක් දුටුවහොත් ගුරුකම් පසෙකලා දෙවියන් විකුණා හෝ එම තරුණිය සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ඔහු උත්සාහ කරයි. එසේ නොහැකි වුවොත් එවැනි තරුණියන්ගේ අඟපසඟ හෝ අතගෑමට උත්සහ දරයි. එවන් චරිතයක් ඇති කට්ටඩියා මුණගැසීමට අතුල පසුගිය සතියේ දිනක ඔහුගේ නිවෙසට ගියේය. එලෙස ගිය ඔහු කට්ටඩියා සමග මෙලෙස කතාබස් කළහ.

පොල්පිතිගම කට්ටඩියකුගේ අමුතු ශාන්තිකර්මයක්…

”ගුරුන්නාන්සේ මම ආවේ හේරත්ගම ප‍්‍රදේශයේ ඉඳන්. යාළුවෙක් තමයි ඔබතුමා ගැන කිව්වේ.”

”එහෙමද මහත්තයා. මම වැඩක් කළොත් කිරි ගහට ඇන්නා වගේ. ඒක මේ පළාතේ අය විතරක් නෙවෙයි පිට පළාත්වල අයත් දන්නවා.”

”ඔව් මට යාළුවා කිව්වා. ගුරුන්නාන්සේ වැඩවලට ගොඩක් ප‍්‍රසිද්ධ කෙනෙක් කියලා.”

”මොකක්ද මේ මහත්තයට කරගන්න ඕනා.”

”අපේ ගෙදර ප‍්‍රශ්න ගොඩයි. ළඟකදි ඉඳන් කරන කිසිම වැඩක් හරියන්නේ නැහැ. ඒ වගේම ගෙදර අයටත් නිතරම අසනීප. මං හිතන්නේ අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා.”

”එහෙමද. විස්තර අහල මට හරියට දෙයක් කියන්න බැහැ. ඒක නිසා නිවසට ගොස් පරීක්ෂා කරන්න ඕනා.”

”කමක් නෑ ගුරුන්නාන්සේට කවදද එන්න පුළුවන්.”

”හෙට අනිද්දා දවස් දෙක නම් මම විවේකීව ඉන්නවා.”

”හෙට වුණත් කමක් නෑ ගුරුන්නාන්සේ එන්න.”

”එහෙනම් මම හෙට ම එන්නම්. මේවා කල් දාන්න හොඳ වැඩ නෙවෙයි. මට ලිපිනයයි දුරකථන අංකයයි දෙන්න.”

අතුල එලෙස කට්ටඩියාට නිවසේ ලිපිනය හා දුරකථන අංකය ලබා දී ඉන් පිටත් විය. වැලේ වැල් නැතිව සිටි කට්ටඬියා යම් මුදලක් සොයා ගැනීමේ අරමුණින් එම නිවෙසට පසු දිනම පැමිණියේය. නිවසට පැමිණි කට්ටඬියාව අතුල සහ ඔහුගේ බිරිඳ ඉතා සාදරයෙන් පිළිගත්තේය.

අතුලගේ බිරිඳ දුටු කට්ටඩියාට ඇය ගැන සිතේ අදහසක් පහළ විය. ඒ අනුව ඔහු එම නිවසේ නැති අමනුෂ්‍ය දෝෂ සහ ග‍්‍රහ අපල පිළිබඳ පවසා ඔවුන් බිය ගැන්නුවේය. ඒ සිටි කාලය අතරතුර අතුලට හොරෙන් ඔහුගේ බිරිඳ වෙත විශේෂ ළෙන්ගතුකමක් කට්ටඩියා දැක්වූවේය.

අවසානයේ දින තුනක් ගත වීමට මත්තෙන් නිවසේ ඇති සියලූම ග‍්‍රහ අපල සහ අමනුෂ්‍ය දෝෂ ඉවත් කර දෙන බවට ඔහු පොරොන්දු විය. ඒ සඳහා මිලදී ගත යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් කට්ටඩියා ලබාදී දින තුනකින් යළි පැමිණෙන බව පවසා එම නිවසින් පිටවිය.

දින තුනකට පසු කට්ටඩියා යළි එම නිවසට පැමිණියේය. එලෙස පැමිණි ඔහු අවස්ථා කිහිපයකදීම අතුලව නිවසින් බැහැර කළේ යම් යම් දෑ රැගෙන එන ලෙස පවසමින්ය. එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත් කට්ටඩියා අතුලගේ බිරිඳ සමග ළෙන්ගතුකමක් ඇතිකර ගැනීමට උත්සාහ කළේය. ඇයගේ සිත සොරාගැනීමට නොයෙක් දෑ පැවසුවේය. කට්ටඬියා ගැන විශාල පැහැදීමකින් සිටි ඇය ද ඔහුගේ බසට අවනත විය. අවසානයේ කට්ටඩියා කෙලෙස හෝ ශාන්ති කර්මය පටන් ගැනීමට පෙර අතුලගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ද ලබා ගත්තේය. එලෙස ලබාගත් පසු ඔහු පැය කිහිපයක ශාන්ති කර්මයක් කර මුදල් ද රැගෙන පිටව ගියේය.

අතුල සහ ඔහුගේ බිරිඳ නිවසේ තිබූ සියලූම අපල උපද්‍රව පහව ගියා යයි සිතමින් පසුදින අවදි වූහ. වෙනදා මෙන් නොව එදින අතුල රැකියාවට ගියේ ඉතා ප‍්‍රබෝධයකින් යුතුවයි. එලෙස අතුල රැකියාවට ගොස් පැයකට පමණ පසු කට්ටඩියා ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් දී මෙලෙස පැවසුවේය.

”කොහොමද නංගී. ශාන්තිකර්මය හොඳයි නේද”

”හොඳයි ගුරුන්නාන්සේ. හිතටත් වෙනදා නැති සහනයක් දැනෙනවා”

”එහෙම තමයි මගේ වැඩ. සමහරු වගේ හොර වංචා මම කරන්නේ නැහැ. තව එකක් කියන්නම්. මට ගුරුන්නාන්සේ කියලා කතා කරන්න එපා අයියා කියලා කියන්න.”

”එහෙම හොඳ නැහැනේ.”

”ඇයි හොඳ නැත්තේ. ආයෙ එහෙම කතා කළොත් මම දන්නවා ඔයාට කරන්න ඕනදේ.”

”ඇයි මොනවා කරන්නද මට.”

”ගුරුකමක් කරනවා.”

”එහෙනම් කරලා බලන්නකෝ.”

”ඒක නොවෙයි මම ඔයාට දෙයක් කියන්නම්. ඒක අහලා තරහ වෙන්න එපා. මං ගැන වැරදියට හිතන්නත් එපා.”

”අනේ නැහැ කියන්න ගුරුන්නාන්සේ…”

”ඔය ආයෙත් ගුරුන්නාන්සෙ කියනවා. මම ඔයාව දැකල දවස් දෙකයිනේ ඒ දැක්ක දවසේ ඉඳන් මගේ හිත ඔයා ගැන මොකක්ද කියනවා. ඒක හරියට කියන්න මම දන්නේ නැහැ.”

”මොනවා ගැනද ඔය කියන්නේ.”

”මම කෙළින්ම කියන්නම්. ඔයා මගේ කියලා හැෙඟනවා.”

”අනේ අයියේ එහෙම කතා කියන්න එපා. මම දැන් කසාද බැඳපු කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.”

”ඒක මම දන්නවානේ. මමත් කසාද බැඳල දරුවො දෙන්නෙක් ඉන්නවා. එහෙත් ආදරේට ඒවා බාධාවක් කර ගන්න එපා.”

”අයියා මොනව කියනවද කියල මට තේරෙන්නේ නැහැ.”

කතාව එතනින් අවසන් නොවුණි. කට්ටඩියා තම සිතේ තිබූ අදහස් පවසා කෙලෙස හෝ ඇයගේ සිත තමන් වෙත නතු කර ගැනීමට උත්සාහ කළේය. කට්ටඩියා කෙරෙහි ඇයගේ ද විශාල අකැමැත්තක් නොතිබුණි. එම නිසා ඇය ද ඔහු සමග අකැමැත්තකින් තොරව කතා කළාය. එතැන් සිට දිනපතාම කට්ටඩියා සහ අතුලගේ බිරිඳ දුරකථනයෙන් විවිධ අදහස් හුවමාරු කරගත්හ. ඒ අනුව වැඩි දවසක් නොගොස් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් ගොඩ නැගුනහ. ඉන්පසු කට්ටඩියා අතුල නොමැති අවස්ථා කිහිපයකදීම නිවසට ගොස් ඇය සමග ලිංගිකව එකතු විය.

දින කිහිපයක් එලෙස ගතවිය. දෙදෙනාගේ අනියම් සම්බන්ධතාව එන්න එන්නම වැඩිදියුණු වීමට පටන් ගත්හ. දෙදෙනාට දෙදෙනාව නැතුවම බැරි විය. ඒ අනුව ඔවුන් දෙදෙනා හොර රහසේ පැන යෑමට තීරණය කළහ. ඒ සඳහා දිනයක් ද යොදාගත්තේය. කට්ටඩියා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියත් ඇය දරු දෙදෙනාට දැඩි සෙනෙහසක් දැක්වූවාය. එම නිසා කට්ටඩියා සමග හොර රහසේ පැන යන දවසේ දරු දෙදෙනා රැගෙන යෑමට ද ඇය තීරණය කළාය. තම අනියම් පෙම්වතා වන කට්ටඩියාට ද එය පැවසුවාය. ඔහුගේ ද එයට අකැමැත්තක් නොතිබුණි.

කට්ටඩියා සමග හොර රහසේ පැන යෑමට පෙර දින අතුලගේ බිරිඳ කිරි ගවයන් තිදෙනා ද සහ නිවසේ තිබූ රත්තරන් බඩු හොර රහසේ විකුණා මුදල් ලබා ගත්තාය.

පසු දින උදාවිය. අතුල සුපුරුදු පරිදි රැකියාව සඳහා නිවසින් පිටත් විය. ඔහු ගිය පසු දරු දෙදෙනා සහ මුදල්ද රැගෙන තම අනියම් පෙම්වතා වන කට්ටඩියා සමග ජීවත්වීම සඳහා වෙනත් ප‍්‍රදේශයකට ගියාය.

සුපුරුදු පරිදි නිවසට පැමිණි අතුල බිරිඳ සහ දරු දෙදෙනා නිවසේ නොමැති බව දැන ගත්තේය. එම නිසා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. එයින් ද කිසිදු ප‍්‍රතිචාරයක් නොමැත. පසුව ඇය සහ දරු දෙදෙනා පිළිබඳ ඔහු සොයා බැලූවේය. එහිදී ඔහුට දැන ගන්නට ලැබුණේ දරු දෙදෙනා ද රැගෙන නිවසේ ශාන්ති කර්මයක් කිරීමට පැමිණි කට්ටඩියා සමග ඇය පැන ගොස් ඇති බවයි. එදිනම අදාළ පොලිස් ස්ථානය වෙත ගොස් ඔහු තම බිරිඳ පිළිබඳව පැමිණිලි කළේය. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් පොලිස් නිලධාරීහු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටිති.

නිවසේ අපල උපද්‍රව ඇති බව පවසමින් ශාන්ති කර්මයක් කිරීමට නිවසට පැමිණි කට්ටඬියා අවසානයේ සිදු කළේ එවැනි දෙයකි. මෙවැනි හොර කට්ටඩි තවත් බොහෝ සිටිති. එම නිසා ඔබගේ නිවසේ කට්ටඩියකුට හෝ කපුවෙකුට කියා යම් ශාන්තිකර්මයක් සිදුකර ගන්නේ නම් පළමුව ඔබගේ බිරිඳ, දියණිය සහ සහෝදරිය ඔවුන් ගෙන් ප‍්‍රවේසම් කර ගැනීමට වගබලාගන්න. එසේ නොමැති වුවහොත් ඔබටත් පසුතැවීමට සිදුවෙයි. තවද පාඨක ඔබ වෙත මෙවැනි ලිපි අප පළ කරනුයේ කියවා රසාස්වාදයක් ලබාගැනීම සඳහා නොව තම ජීවිතයට ආදර්ශයක් ලබා ගැනීම සඳහාය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment