ලෙඩ දුම්රිය මැදිරි 40 ක් ගාල්කරන්න තැනක් නැතිව තවත් ලෙඩක්

347

ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ එරටින් ඇණවුම් කර තිබූ දෝෂ සහිත අවසන් දුම්රිය මැදිරි 40ක් ද මෙරටට එවා ඇති අතර ඒවා ගාල්කර තැබීමට ස්ථානයක් නොමැතිව දුම්රිය දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්ව ඇත.

ණය යෝජනා ක‍්‍රමය යටතේ දුම්රිය මැදිරි 160ක් ඇණවුම්කර තිබේ. ඉන් 120ක් මීට පෙර ශ‍්‍රී ලංකාවට එවා ඇත. විවිධ දෝෂ හේතුවෙන් දුම්රිය මැදිරි ධාවනය සඳහා යොදාගත නොහැකිව මාලිගාවත්ත දුම්රිය අංගණයේ ස්ථානගත කර ඇත.

පසුගිය රජය සමයේ රුපියල් කෝටි 1610ක් වැය කරමින් මෙම දුම්රිය මැදිරි ඇණවුම්කර තිබිණි.

අවසන් මැදිරි 40 මාර්තු 19 හා මාර්තු 25 වැනිදා වරායට පැමිණ ඇත. වරායට එවා ඇති දුම්රිය මැදිරි නිදහස් කර ගැනීමට ප‍්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 45කට වැඩි මුදලක් වරායට ගෙවීමට සිදුවී තිබේ.

මේවා නිදහස් කර ගත්තද ගබඩා කර තබන්නේ කොහේද යන්න දුම්රිය දෙපාර්තමේන්තුවට ගැටලූවක් වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්. වී. විතානගේ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මෙම දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දීය රජයේ මැදිහත්වීමක් දක්නට නොලැබෙන බවත් ඒවා ධාවනයට සුදුසු තත්ත්වයට පත්කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බවත් ඒ මහතා කීවේය. මෙම දුම්රිය මැදිරි ගෙන්වීම හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි සැක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment