ලොව වැඩි දෙනා ගේ දෑස් අද යොමු වී තිබෙන්නේ ඉන්දියාව දෙසටය. ඉන්දියාවේ ද නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය දෙසටය. අදින් දවස් 45 කට උඩ දී එනම් ඔක්තෝබර් මස 05 වැනිදා නරේන්ද්‍ර මෝදි පිටියේදී ඇරැඹි ඒ මහා ක්‍රිකට් සැණකෙළියේ නිමාවද අද එහිදීම සිදුවීමට නියමිතය.

අද පැවැත්වෙන ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය 2023 ලෝක කුසලාන ක්‍රිකට් හරඹයේ නිමාව සනිටුහන් කරයි. මේ දවස් 45 ඇතුළත සිදුවූ සියලු හැලහැප්පීම්වලට ඔරොත්තු දෙමින් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පැමිණි ගමන ප්‍රසංශනීය වේ.

ඉන්දියාව ඒ අතරින් ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ කිසිදු තරගයක් පරාජය නොවූ කණ්ඩායම ලෙසිනි. අපරාජිත ඉන්දියාව අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පහසුවෙන් පරාජයට පත් කළ අතර ඔස්ට්‍රේලියාව විසින් අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරන ලදී.

ලෝක ශූරයන් අද බිහිවන මෝදි පිටිය

ඒ අනුව කණ්ඩායම් දහයක් අතර පැවති මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් දෙක වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව හමුවේ පිළිවෙළින් පරාජයට පත් වූයේය. නවසීලන්තය ලකුණු 70 කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව අවසන් මහා තරගයට මාවත විවර කර ගත් අතර දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක තියුණු ජයග්‍රහණයකට හිමිකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් වූයේය.

ඒ අනුව ඉන්දියාව සිව්වැනි වතාවටත් ඔස්ට්‍රේලියාව 7 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඉන්දියාව ඉන් අවස්ථා තුනෙන් දෙකක දීම ශූරයන් බවට පත්ව ඇත. ඔස්ට්‍රේලියාව එම අවස්ථාවන් 7 න් 5 කම ශූරතාවය දිනා ගෙන ඇත්තේ ලෝක ක්‍රිකට් කුසලානවල කප්පිත්තන් ලෙසිනි. වෙනත් කිසිදු කණ්ඩායමක් ලෝක කුසලාන දෙකකට වඩා ජයග්‍රහණය කර නොතිබීමෙන් ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වේ. ඉන්දියාව ඔස්ට්‍රේලියාවට පසුව ලෝක කුසලාන පිටියේ සාර්ථකම කණ්ඩායම ලෙස සැලකේ.

අද පැවැත්වෙන්නේ එම දැවැන්තයන් අතර කෙරෙන ද්වන්ධ හරඹයයි. තම රටේ පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියේ කුසලානය අන් රටකට හිමිවීමට ඉන්දියාව කිසිසේත් ඉඩ නොදෙනු ඇත.

ලෝක ශූරයන් අද බිහිවන මෝදි පිටිය

එහෙත් පළමු තරග දෙක පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව පරදවා තම ජයග්‍රාහී ගමන ඇරඹූ ඔස්ට්‍රේලියාව ද ඉන් පසුව කිසිවකු හමුවේ පරාජය නොවීය.

ඇෆ්ගනිස්තානයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් අවසන් තරගවල ජයග්‍රහණයන් ලද අයුරුද ඉන්දියාවට නම් හොඳට මතක ඇත. එමෙන්ම ඉන්දියාව ඒ සඳහා හොඳින් සූදානම් ශරීරයෙන් ද පැමිණෙනු ඇත.

දකුණු අප්‍රිකාවේ අවාසනාව

කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැඳින්වෙන දකුණු අප්‍රිකානුවන්ට එම ඉරණමට මුහණදීමට යළිත් සිදු විය.

ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකාවනුවන් අවසන් පූර්ව වටයට පිවිසි 5 වැනි අවස්ථාව (1992, 1999, 2007, 2015 හා 2023) එය වූවද ඔවුන්ට එම වටයෙන්ම ඉවතට යෑමට සිදුවිය. ඉන් අවස්ථා 3කදීම ඔස්ට්‍රේලියාව හමුවේ ඔවුන්ට අවසන් තරගය අහිමි වී යෑමද සුවිශේෂී සිද්ධියකි.

ලොව විශාලතම ක්‍රිකට් පිටිය

ලෝකයේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරෙන් විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැලකෙන නරේන්ද්‍ර මෝදි පිටියේ එක්ලක්ෂ තිස් දෙදහසක (132000) ප්‍රේක්ෂක ජනතාවකට අසුන් ගත හැක. එම ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලියේ මීට පෙර පැවති ඉන්දු පාකිස්ථාන තරගය නැරඹීමට පැමිණි පිරිස අතරින් කිහිප දෙනෙක් විජලනයට පවා ලක් වූයේය. අද ඒ ක්‍රීඩාංගණය මතු නොව ඔස්ට්‍රේලියාව හෝ ඉන්දියාව ද වාර්තා අතරට එක්වන දිනයකි. අද ජයග්‍රහණය කරන කණ්ඩායමට හිමි වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 4 කි. එනම් රුපියල් කෝටි 33 කි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment