වැල් පාලමෙන් එගොඩ වුණත්ඉස්සරහට ඇත්තේ වංගගිරියක්
– ජනපති

අතේ සතේ නැත. බහුතරය කියන්නේ ඒ කතාව ය. වැටුප හෝ දෛනික ආදායම එක තැන පල්වෙද්දී පෙට්‍රල් ලීටරයේ සිට බී ලූනූ ගෙඩිය දක්වාත්, හාල් ඇටේ සිට කුකුළු මස් දක්වාත් වූ සෑම පාරිභෝගික ද්‍රව්‍යකම මිල අහස උසට නැඟ හමාර ය. මාසික වැටුපකට උරුම කියන සේවකයාගේ සිට කම්කරුවා දක්වා ඒ උපයන ආදායම වාෂ්ප වී යන්නේ බලා සිටියදී ය. පාන් ගෙඩියක් රුපියල් එකසිය හතළිහට වැඩිය. කෑලි මිරිස්, මිරිස් කුඩු ග්‍රෑම් සියයක් රුපියල් සියයකට වැඩිය. අඩුම තරමින් පොල් සම්බලයක් හදාගෙන පාන් ගෙඩියක් මිලදී ගෙනැවිත් කුසගින්න නිවා ගැනීම පවා අභියෝගයක් බවට පත්ව ඇත.

මේ උත්සව කාලයකි. තව දින අටකට පසු නත්තල උදා වෙයි. කතෝලික ජනතාවට මෙවර නත්තල සැමරීම සිහිනයක් බවට පෙරළී ගොසිනි. ‘මට නත්තල දුගියා බත් කනදාටයි යැයි’ කීවේ මර්සලින් ජයකොඩි පියතුමා ය. උන්වහන්සේ කී දේ තවත් කතෝලිකයකුට අද කීමට නොහැකිව ඇත. කතෝලික නොව බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආදී මොන දහම, ආගම අදහන අය කොයි කාටත් තවකෙකුගේ කුසගිනි නිවනවා තබා තමාගේ බඩ ගින්දර නිවාගත නොහැකි තැනට ආර්ථික අහේනිය පැතිර ගොස් ඇත්තේ ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩට යන අතරතුර ය.

දැන් අපි එක දෙයක් දනිමු. බිත්තරයක මිල රුපියල් 60ක් 65ක් වී ඇත. බී ලූනූ කිලෝවක තොග මිල රුපියල් 420ත් 450ත් අතරට පත්ව ඇත. ඒ කියන්නේ බී ලූනූ කිලෝවක සිල්ලර මිල ඇමරිකානු ඩොලර් 1.5ක් බවට පත්ව තිබීමය.

ඉතිරි බඩු මිල දිගින් දිගට ම ලියාගෙන යෑමෙන් කතාව තිත්ත වන නිසා එය වගුවකට නැඟීම වටී.

නත්තල සමරනවා තබා එක වේලක් හෝ පිරිමසා ගැනීම සිහිනයක් බවට පෙරළී ඇත. සෑම වසරක ම නත්තල් සමයෙන්, අලුත් අවුරුදු උදාවන විටත්, සිංහල අවුරුදු කාලෙටත් බඩු මිල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් බව ඇත්තය. ආර්ථික විද්‍යාවට අනුව ඉල්ලුම ඉහළ යෑම ඊට හේතුවය. නමුත් මේ වනවිට වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ ගොස් ඇත්තේ මේ රට පාලනය කළ උන්ගේ කෙරුවාවට පින්සිදු වන්නටය.

බදු පිට බදු ය. ජනවාරි 01 වැනිදා සිට මෙතෙක් කලක් වැට් බදු ගසා නොතිබූ භාණ්ඩ ගණනාවකට ම ඒ බද්ද එකතු කිරීමට පාර්ලිමේන්තුවට පත්ව සිටින මහජන නියෝජිතයන් අත උස්සා හමාර ය. දැනට සියයට පහළොව වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩිකර ඒවා බඩු මිලට එක්වූ පසු පොදු මහජනතාවට යකාගේ තරම තේරෙන බව නිසැක ය.

වැල් පාලමෙන් එගොඩ වුණත් ඉස්සර තිබෙන්නේ වංගගිරියක් යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හේතුවක් ඇතිව විය හැක.

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවේ මෙහෙම ඇත.

“අපට පුතේ මඟක් නැතේ මේ මඟ මිස යමන් පුතේ” ඒකත් සිහිකළේ ජනාධිපතිවරයා ය. මේ මඟ මිස වෙනත් මඟක් අපට ද නැතැයි එතුමා කියා තිබිණි.

නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මේ මඟ තවදුරටත් යෑමට තරම් හයියක්, ශක්තියක් ජනතාවට තිබේ ද කියන ප්‍රශ්නය ය.

මේ රටේ දෙකෝටි විසිලක්‍ෂයක පමණ ජනතාවගෙන් කෝටි දෙකක් එක්කෝ දුප්පතුන්ය. නොමැති නම් මධ්‍යම පාන්තික පිරිසය. රට බංකොලොත්භාවයට පත්වූ බව කියන්නට පෙරත් මේ රටේ ජනතාව ජීවත් වූයේ අමාරුවෙනි. තුන්වේල, දෙවේලකට අඩු කර එක වේලකට වැටුණත් මව්පියවරු එය උසුලනු ඇත. නමුත් බඩ වියත පමණක්ම නම් රැක ගන්නට ඇත්තේ එවන් අයට මේ ආර්ථික තත්ත්වය පිළිබඳව ගැටලුවක් නොමැති වන්නට පුළුවන. නමුත් මේ රටේ ජීවත් වන පවුල් ඒකක ගත් කල එක පවුලක අවම වශයෙන් දරු දෙදෙනකු සිටී, නොමැති නම් තිදෙනෙකි. ඇතැම් පවුල්වල ඊට වඩා වැඩිය. පුංචි පවුල රත්තරන් කියා සංකල්පයක් ගෙනා පසු රටේ පුංචි පවුල් ඇති වූ බව ද කිව යුතුය. මේ පවුල්වල එක්කෝ වියපත් මව පියා නඩත්තු කිරීමට මෙන්ම ඒ අයට බේත් හේත් ලබාදීම ආදිය ද ඒ පවුල්වල ආදායම් උපයන්නාගේ වගකීම් අතර ඇත. දරුවන් පාසල්වලට යවා ඉගැන්විය යුතුය. රජයේ පාසලට යන්නේ බොහෝවිට නමට පමණකි. මේ රටේ සිටින සාතිශය දරුවන් අනිවාර්යයෙන්ම ටියුෂන් පන්තිවලට යන බව නොරහසකි. ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව ආදී විෂයන් පමණකට හෝ ටියුෂන් පන්තියකට දරුවන් නොයවන්නේ නම් ඒ දරුවන් අට පාස් දරුවන්ගේ ගොන්නට ඇදවැටෙන බවද ඇත්තකි. පහේ ශිෂ්‍යත්වයක් ද ඇත. ශිෂ්‍යත්වය සමත් කර දරුවාව නගරයේ පාසලකට යැවීම දෙමාපිය සිහින අතර පළමු ගණයේ සිහිනයකි.

මේ ආර්ථික අර්බුදය හමුවේ මේ ලබන වැටුපෙන් ඒ කළ හැක්කේ කාහට ද? ධනපති පන්තියට හා අයථා ක්‍රම සහ විධි මගින් මුදල් උපයන පිරිසට හැර අනෙකා ඉන්නේ මැරි මැරී ඉපදෙමිනි. 2020ට පෙර මේ සා විශාල ලෙස ආර්ථිකය කඩාවැටී තිබුණේ නැත. විදෙස් ණය ගෙන අධිවේගී මාර්ග, ගුවන්තොටුපළවල්, වරායවල් හා නෙළුම් පොකුණු, කුලුනු ගැසූ යුගයේ ජනතාව ජීවත් වූයේ යම්කිසි සතුටකිනි. ඒ ගත් දේශපාලන තීන්දු මත රටේ ජනතාව මෙතැනට ඇදවැටුණේ නම් ඊට වගවිය යුත්තේ වැරදි තීරණගත් දේශපාලන ගොබ්බයින්ය.

මුදල් අච්චු ගැසූ පළියට උද්ධමනය ඇති නොවන බව කී මොළ ගොඩක් ඇති මුදල් ඇමතිලා සිටි රටක මේ ආකාරයටත් රටේ ජනයා ජීවත් වන්නේ මේ බිමේ තාමත් ගහ කොළ සතා සීපාවා ජීවත් වන නිසාය.

දැන් මේ කතා පසෙක තබමු.

මේ ආකාරයට තව වසර කීයක් නම් ජීවත් විය යුතුද? 2048 වනතුරු මේ ආකාරය ම රට යන්නේ නම් දැනට ජීවත් වන අයගෙන් හතරෙන් තුනක්ම වළපල්ලට යන අනතුරක් ද මතුව ඇත.

මේ නත්තල, නට්ටන් වී ඇත. එළැඹෙන 2024 නව වසරේ පළමු වැනිදා වැට් බද්දක් හිස මත පතිත වීමට නියමිතය.

හාල් කිලෝවක් මිලදී ගැනීම අභියෝගයකි. වගුවේ දැක්වෙන එළවළු, පලතුරු, මාළු මිල ගණන් සිකුරාදා (15 වැනිදා) තොග කඩේ ගසා තිබූ තොග මිල ගණන්ය. ටැක්සියේ මීටරේ මෙන් බඩු මිල ද කැරකැවෙන්නේ පහළට නොව ඉහළට ය. ලබන වසරේ අලුත් පාසල් වාරයේ දරුවන් පාසලට යවන්නේ කෙලෙස ද? අලුත් ඇඳුම්, අලුත් බෑග්, අලුත් පොත්පත් ගන්නේ කෙලෙස ද? ඒවා අති සුපිරි ද්‍රව්‍ය බවට පත්වී ඇත.

දැන් දෙමාපියන්ට ද දරුවන් හමුවේ කීමට ඇත්තේ එකම එක දෙයකි.

“අපට පුතේ මඟක් නැතේ මේ මඟ මිස යමන් පුතේ”

එසේ කියා දරුවන්ව අතින් අල්ලාගෙන කැලෑවට යනවා හැර බොහෝ දෙනාට වෙන මඟක් ඉතිරි නොවන බව අපගේ වැටහීමය.

ශිරාන් රණසිංහ
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment