විදුලි ගාස්තු තවත් ඉහළට

460

විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් වැඩි කළ පසුත් ලංවිම රුපියල් බිලියන 250 ක (රුපියල් කෝටි 25000) පාඩුවක් ලබන නිසා නුදුරු කාලයේදීම විදුලි ගාස්තුව තවත් සියයට විසිපහකින් ඉහළ දැමිය යුතු බව විදුලි ඉංජිනේරුවෝ පවසති.

විදුලි ඒකකයක් නිපදවීමට විශාල මුදලක් වැයවන බවත් අදාළ වියදම පියවා ගැනීමට නම් ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් ඔවුහු කියා සිටිති. මෙම මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා මණ්ඩලය ලබන පාඩුව මහා භාණ්ඩාගාරය හරහා පියවීමට සිදුවන බවද ඔවුහු කියති.

ලංකා විදුලිබල මණ්ඩලය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් තිබෙන අතර ඊට පෙරාතුව විදුලි ගාස්තුව යළි ඉහළ දැමීම අනිවාර්යයෙන්ම කළ යුතු බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිනොකිරීම නිසා ලංවිම මෙයාකාරයට පාඩු ලබන බවත් විදුලිබල අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ඊට වගවිය යුතු බවත් ඔවුහු කියා සිටිති. ඒ වැරදි තීරණවල පව් විදුලි බිල මත මෙවර පතිත වුවත් මීට පෙරාතුව වක්‍ර බදු හරහා ඒ මුදල් ජනතාවගෙන් අයකර ගත් බවත් ඉංජිනේරුවෝ පවසති.

එනිසා අද හෙට නොවුනත් විදුලිබල මණ්ඩලයේ කොටස් වලින් සියයට 49 ක් පෞද්ගලික අංශයට විකිණීමට පෙර යළි විදුලි ගාස්තු ඉහළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව සැඟවිය යුතු නැති බවද ඉංජිනේරුවෝ තවදුරටත් පැවැසූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment