වෙනින් කොහෙවත් නෙවෙයි මේ මැනිං මාකට් වලියයි

144

අගනුවර එළවළු හා පලතුරු තොග වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානය වන මැනිං වෙළෙඳපොළට ඇත්තේ ඓතිහාසික පසුබිමකි. 1909 දී පිටකොටුව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ මැනිං වෙළෙඳපොළ පසුකාලීනව කොළඹ මහ නගර සභාව මගින් පිටකොටුව බෝධිය ඉදිරිපිට අක්කර දෙකක භූමියක ස්ථාපනය කළ අතර එතැන් සිට 2020 වර්ෂය දක්වාම මැනිං වෙළෙඳපොළ විශාල තදබදයක් සහිතව එහි ක්‍රියාත්මක විය.

2013 වර්ෂයේදී එවකට සිටි ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මැනිං තොග වෙළෙඳපොළ හා ශාන්ත ජෝන් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට තීරණය විය. ඒ අනුව රුපියල් කෝටි 690 ක වියදමින් මැනිං වෙළෙඳ සංකීර්ණය 2020 නොවැම්බර් මස 19 වැනිදා අක්කර 13.6 ක විශාලත්වයෙන් යුත් ඉඩමක පෑලියගොඩ ප්‍රදේශයේදී විවෘත විය.

එතෙක් කලක් කොළඹ මහ නගර සභාවේ පාලනය යටතේ පැවති මැනිං වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියේ පාලනයට නතුවූ අතර එම නව වෙළෙඳ සංකීර්ණය වෙළෙඳුන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද පහසුකම් සහිත දැකුම් කළු වෙළෙඳ සංකීර්ණයක් විය.

එසේ පවත්වාගෙන ගිය මැනිනං වෙළෙඳපොළ පසුගිය වකවානුවේදී වරින්වර උණුසුම් වුවත් එය ගැටුමක් ඔබට උත්සන්න වූයේ පසුගිය 26 වැනිදාය.

මෙම ගැටුමට හේතුවී තිබුණේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ් කඩ කාමර වෙළෙඳුන්ට බෙදාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් අක්‍රමිකතා සිදුකිරීම බවයි වෙළෙඳුන් පවසන්නේ. පිටකොටුවෙන් පෑලියගොඩට රැගෙන ඒමේදී එකඟ වූ පරිදි එහි වෙළෙඳාමේ නිරත වූ ව්‍යාපාරිකයන්ට පමණක් පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර ලබාදිය යුතු බව වෙළෙඳුන්ගේ අදහසයි. එහිදී ද පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල පිහිටා ඇති කඩ කාමර ලබා ගැනීමට ව්‍යාපාරිකයන් අතර තරගයක් පවතින අතර එම කඩ කාමර ලබාදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ එක්තරා නිලධාරීන් දෙදෙනකු අල්ලස් ලබාගන්නා බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

මීට අමතරව පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු නොකළ පිටස්තර පුද්ගලයන්ට අල්ලස් ලබාගෙන කඩ කාමර ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනා කටයුතු කරන බවට ද ඔවුහු චෝදනා කරති.

වෙනින් කොහෙවත් නෙවෙයි මේ මැනිං මාකට් වලියයි

මේ පිළිබඳව අදහස් දක්වන මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. වී. එන්. සමරතුංග මහතා පවසන්නේ මෙම වෙළෙඳ සංකීර්ණයට පිටකොටුවේ සිට තම ව්‍යාපාරිකයන් පැමිණියේ පිටස්තර පුද්ගලයන්ට කඩ කාමර ලබා නොදෙන බවට වූ පොරොන්දුව මත බවයි. එසේ නොවී පිටස්තරයන්ට කඩ කාමර ලබාදීම තුළින් ගැටුමක් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු හඟවා සිටී.

ව්‍යාපාරිකයන්ගේ මතය එය වුවත් වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර තවමත් හිස්ව පවතින අයුරු එහි සංචාරය කළ අපට දැකගත හැකි විය. දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ලෙස ඉදිකර ඇති මෙහි උඩුමහලට පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩු නිසා එම මහලේ කඩ කාමර හිමිවූ වෙළෙඳුන්ට ගැටලු රැසකි. බිම් මහලේද ඇතැම් කඩ කාමර හිමිවූ වෙළෙඳුන්ට ඉහළ ආදායමක් ලැබුණත් ඇතැමුන්ට හැමදාමත් ආදායම අල්පය.

කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් පවසන පරිදි පිටස්තර පුද්ගලයන්ට කඩ කාමර ලබාදීමට විරුද්ධ වීම සදාචාරාත්මක නැත. රුපියල් කෝටි 690 ක් වැයකර මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකරන ලද්දේ රජයට යම් ආදායමක් ලබා ගැනීමට මිස කඩ කාමර වසා දමා බලා සිටීමට නොවේ. වෙළෙඳුන් සිය ඒකාධිකාරිය පවත්වාගෙන යෑමට පිටස්තර පුද්ගලයන්ට කඩ කාමර ලබාදීමට විරුද්ධ වීමෙන් පාඩුව සිදුවන්නේ පාරිභෝගිකයාටය. සාධාරණ ව්‍යාපාරයක් හරහා ලාභ ලැබීම ව්‍යාපාරිකයන්ගේ යුතුකම වුවත් තරගකාරීත්වයට පයින් ගසා ඒකාධිකාරිය හරහා පාරිභෝගිකයන් සූරාකෑම අනුමත කළ නොහැකිය.

එසේම පසුගිය 26 වැනිදා මෙම ව්‍යාපාරිකයන් සිය වෙළෙඳ සංකීර්ණය තුළ ඔවුන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට පොලිසිය ප්‍රතිචාර දැක්වූ ආකාරය නම් අප්‍රසන්නය. මහජන පීඩාවක් ඇති නොවන පරිදි පොදු දේපළවලට අලාභ හානි නොකර විරෝධය පළ කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. ඒ අයුරින් සිය විරෝධය පළ කළ ව්‍යාපාරිකයන් කුදලාගෙන යෑමට පොලිසියට හැදුණු රුදාව කුමක් දැයි හිතා ගැනීමටවත් බැරිය. මෙය ඉතා වැරදි පූර්වාදර්ශයක් බව නම් කිව යුතුමය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment