සබන්වලිනුත් හදවත් රෝග එන්න පුළුවන්!

464

ඔබ භාවිත කරන සබන් වල අන්තර්ගතය ගැන ඔබ දන්නවද?

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටකි. එනිසාම අපි දිනපතාම නෑමට පුරුදුව සිටින ජාතියකි. උදෑසන අවදි වී ස්නානය කිරීමේදී හෝ මුහුණ කට සෝදා ගැනීමේදී සබන් භාවිත කිරීම අපට අත්‍යවශ්‍ය දෙයකි. නමුත් අප මේ භාවිතයට ගන්නා ඇතැම් සබන් වර්ග මිනිසාගේ සමටත් සිරුරේ අභ්‍යන්තරයටත් සිදුකරන හානිය සුළුපටු නැතැයි නවතම පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත. විශේෂයෙන්ම පැරබන් නමැති විෂ රසායනිකය අඩංගු සබන් භාවිත කිරීමේදී මිනිස් සිරුරේ අන්තරාසර්ග පද්ධතියට සිදුකරන හානිය පිළිබඳව ඔබ දැන සිටිය යුතුයි.

පැරබන් යනු කුමක්දැයි මුලින් විමසා බැලිය යුතුය. සබන්, ෂැම්පු, ලෝෂන්, බොඩි වොෂ්, රූපලාවන්‍ය අමුද්‍රව්‍ය, මොයිස්ෂරයිසර්, රැවුල කැපීමේදී භාවිත කරන ක්‍රීම්, ඩියොඩ්‍රන්ට් ආදි නිෂ්පාදන කල්තබා ගැනීම සඳහා මෙකී පැරබන් නමැති විෂ රසායනිකය එම නිෂ්පාදන වලට මුසුකරනු ලබයි. මේ රසායනිකය මිනිස් සිරුරට අතිශය අහිතකරය. මෙම රසායනිකය සොයාගනු ලැබුවේ 1950 වර්ෂයේදීය. සබන් ඇතුළු ඉහත සඳහන් කළ නිෂ්පාදන වර්ග කල්තබා ගැනීමට මෙම රසායනිකය එම නිෂ්පාදන සමග මුසුකළේ එහි අතුරු ප්‍රතිඵල පිළිබඳ එතරම් කල්පනා නොකරය. මෙම පැරබන් විෂ රසායනිකය බැක්ටීරියා සහා දිලීර වර්ධනය වීම වළක්වන බව සත්‍යයකි. ලෝකයේ බොහෝ රටවල අදාළ නිෂ්පාදන සමාගම් මේ රසායනිකය මුලින්ම මෙකී නිෂ්පාදන වලට මුසුකළේ එනිසාය. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ රටවල් පසුව කළ පර්යේෂණවලදී හෙළිවී ඇත්තේ මිනිසාගේ අන්තරාසර්ග පද්ධතියට මෙම රසායනිකය අහිතකර ලෙස බලපා තිබෙන බවය.

මිනිස් සිරුරේ හෝමෝන නිපදවීම හා මුදාහැරීම සිදුකරනු ලබන්නේ ග්‍රන්ථි මගිනි. ඒ අනුව හෘදස්පන්දනය, අස්ථි සහ පටක වර්ධනය, ප්‍රජනන ක්‍රියාවලිය ඇතුළු ශරීරයේ ක්‍රියාකාරකම් පාලනය කරනු ලබන හෝමෝන නිපදවීම සහ මුදාහැරීම බිඳ වැටීමට මෙම රසායනිකය හේතුවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ ඒ. ඩී. යූ. ආර්. මංචනායක මහතා පෙන්වාදෙයි. අන්තරාසර්ග බිඳවැටීමෙන් ඇදුම, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග, ලිංගික බෙලහීනතාව, ස්ත්‍රී පුරුෂ වඳභාවය ආදියට හේතුවන බවද නවතම පර්යේෂණ වලින් හෙළිවී ඇත. පැරබන් සහිත සබන් භාවිත කිරීම හෘද රෝග වලටද හේතුවී ඇතැයි තහවුරු වී ඇත. අප ජීවත්වන වර්තමාන සමාජයේ හෘදයාබාධ වැළඳී හදිසියේම මියදෙන පිරිස් මේ පිළිබඳව අසා තිබුණේ වී නම් පැරබන් රසායනිකය මිශ්‍ර සබන් ඇතුළු නිෂ්පාදන භාවිතයට නොගෙන කටයුතු කරන බවද සහතිකය. පැරබන් නමැති මෙම රසායනිකය නිසා මිනිසාගේ සමට සිදුකරන හානියද සුළුපටු නැත. මිනිස් සිරුරේ සමටත් ඊටත් වඩා අභ්‍යන්තරයට මේ විෂ රසායනික අඩංගු සබන් ඇතුළු නිෂ්පාදන කරන බලපෑම පිළිබඳව තාමත් ලෝකයේ බොහෝ රටවල් පර්යේෂණ සිදුකරන්නේ ඒ සම්බන්ධව පැනනැගී තිබෙන ප්‍රශ්න ගණනාවකට හේතු සොයමිනි. පැරබන් මිශ්‍ර සබන් නිෂ්පාදනය තහනම් කළ පළමු රට ඩෙන්මාර්කයය. ඩෙන්මාර්කය මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල මත කුඩා දරුවන් සඳහා භාවිතයට ගන්නා පැරබන් අඩංගු සබන් ඇතුළු නිෂ්පාදන තහනම් කළේ 2010 වසරේදීය.

සබන්වලිනුත් හදවත් රෝග එන්න පුළුවන්!

කනෙක්ටිකට්හි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මිචෙල් බී රවුන්ට මහත්මිය පවසන ආකාරයට පැරබන්වල ඇති estrogenic පද්ධතිය බිඳවැටීමට හේතුවන බවයි. පර්යේෂණ වලින්’ තහවුරු වී තිබෙන කාරණාවලට අනුව පැරබන් මගින් xenoestrogens විශේෂයකි. එස්ටජන් හෝමෝනයේ විද්‍යාත්මක අනුකාරකයක් වන එය කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇති කිරීමට හේතුවන බව හෙළිවී ඇත. ඒ පිළිබඳව තාමත් විවිධ පර්යේෂණ සිදුකරන අතර නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් පර්යේෂණ මට්ටමේ පවතී. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය safe” low levels පදනමෙන් පැරබන් භාවිත කිරීමට අවසර ලබාදී ඇත. නමුත් safe low level තත්ත්වයේදී පවා මිනිසුන් භාවිත කරන සබන් හා ෂැම්පු වැසි වතුරට මුසුවී ගංගා ඇළ දොළ පවා දූෂණයට පත්ව ඇත. මෙහි අනිසි ප්‍රතිඵලය වී ඇත්තේ මුහුදේ ජීවත්වෙන මත්ස්‍යයන්ගේ සිරුරට පවා මේ විෂ් රසායනිකය ඇතුළු වී තිබෙන බවයි. කොටින්ම හිම වලසුන්ගේ පවා සිරුරුවලට මේ විෂ රසායනිකය ඇතුළු වී ඇතැයි පර්යේෂකයෝ හෙළිකරගෙන ඇත. අමෙරිකාවේ පැසිෆික් වෙරළ ආශ්‍රිතව මුහුදේ සිටි ක්ෂීරපායි වර්ගයේ පටක සාම්පල 121ක් ගෙන සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ මෙතිල් පැරබන් (4hv) එම සාම්පල් වලින් හමුවූ බවයි. ඒ කියන්නේ මිනිසා විසින් සකස් කළ රසායනිකයක් සතුන්ගේ සිරුරු වලට ගොස් පරිසර පද්ධතියට පවා හානිකර ඇති බවයි. බොහෝවිට සබන් ඇතුළු නිෂ්පාදනවල එක්කෝ paraben-free ලෙස දවටනයේ දක්වා තිබිය යුතුය. ඇතැම් නිෂ්පාදනවල එය සටහන් නොකර තිබිය හැක. එවිට අප කළ යුත්තේ පැරබන් රසායනිකය අඩංගු නිෂ්පාදනයක්දැයි සොයාගැනීමට අදාළ සබන් හෝ අනෙකුත් නිෂ්පාදන දවටනයේ ඇති අමුද්‍රව්‍ය මොනවාදැයි කියවා බැලීමය. එහිදී butylparaben” methl-paraben හෝ prpyle-paraben යන කුමන හෝ සංඝටකයක නම තිබේ නම් එම නිෂ්පාදන පැරබන් අඩංගු නිෂ්පාදන බව තේරුම්ගත හැකිය.

තවත් වැදගත්ම කාරණය වන්නේ මෙකී සබන් ඇතුළු නිෂ්පාදන වල අඩංගු ට්‍රයික්ලෝසන් Tricloson (TCS), ට්‍රයික්ලෝකාබන්’ Triclocarban (TCC) අඩංගු කර තිබීමයි. මේවා ප්‍රතිබැක්ටීරියා සංයෝගයකි. මිනිස් සමට පමණක් නොව සිරුරේ අන්තරාසර්ග පද්ධතියට මේ ප්‍රතිබැක්ටීරියා නිසා සිදුවන හානිය අතිශය භයානක ය.

සම මත තැවරෙන මෙකී ප්‍රත්බැක්ටීයා සමෙන් හෝ මුඛයේ ශ්ලේෂම මගින් සිරුරට ඇතුල් වේ. කුඩා දරුවන් ඒ අනුව විවිධ ආසාත්මිකතාවලට ගොදුරු වන බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇත. දරුවන්ගේ සිරුරේ දද, කුෂ්ට ඇතිවීමට මෙම ප්‍රතිබැක්ටීරියා හේතු වන බව වෛද්‍යවරු පවසන්නේ පර්යේෂණවල ප්‍රතිඵල මතය. ඇතැම් විට ඇදුම රෝගයට ගොදුරුවන දරුවන් දහස් ගණන් පර්යේෂකයන්ට හමුවී තිබේ.

ට්‍රයික්ලෝසන් ට්‍රයික්ලෝකාබන් නිසා තයිරොයිඩ් හෝමෝන පරිවෘර්ති ක්‍රියාවලියට බාධා සිදුකරනු ලබයි. එපණක් නොව මේ ප්‍රතිබැක්ටීරියා නිසා අන්තරාසර්ග පද්ධතියට සිදුවන හානිය පිළිබඳව පර්යේෂණවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇත. ඇඟ ලොමුඩැහැ ගන්වන රෝග අතර මඳසරුභාවය ඇතිවීම, ගබ්සා ඇතිවීම, විවිධ ආබාධ සහිත දරු උපත් සිදුවීම ආදී සෞඛ්‍ය ගැටලු ගණනාවක් පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

නමුත් ප්‍රසිද්ධ වෙළෙඳ සමාගම සියුම් හා උපක්‍රමික ප්‍රචාරයන් ලබාදෙමින් මිනිස් සමටත් සිරුරටත් අහිතකර මෙවැනි සබන් වර්ග ජනතාවට අලෙවි කරමින් සිටී. මෙවැනි ප්‍රතිබැක්ටීරියා සහ විස අඩංගු නිෂ්පාදන තහනම් නොකිරීම පිටුපසද විශාල කතාන්තරයක් තිබේ. එනිසා ජනතාව දැනුවත් වී සිටීම අතිශය වැදගත් ය. තම ආදරණීයන් මෙවැනි වස විස සබන් ගා රෝගීන් කරනවාද නැද්ද යන තීරණය ඔබ සතුය. අවශ්‍ය වන්නේ මේ පිළිබඳව දැනුවත්ව සිටීමය.

එනිසා අප ඉතාමත්ම විමසිලිමත් විය යුතුය. මිනිස් සිරුරේ සමට මෙන්ම සිරුරේ ක්‍රියාකාරිත්වයට ඉතා හානිදායක ලෙස බලපාන මෙම රසායනිකයන් අඩංගු සබන් හෝ අනෙකුත් නිෂ්පාදන මිලදී නොගෙන සිටීම අතිශය වැදගත්ය. අපි කොයි කවුරුත් නිරෝගීව සිටීමට කැමැත්තෙමු. එනිසා මිනිස් සිරුරටත් සතා සිව්පාවන්ටත් ගැහැනු පිරිමි අප කොයි කාගෙත් ජීවිත වනසන මෙවැනි විෂ රසායනික අඩංගු සබන් වර්ග අතහැර දැමීමට බුද්ධිමත් සියලු දෙනා කල්පනා කළයුතු බව වෛද්‍ය මතය ය.

සුදත් ජාලිය

advertistmentadvertistment
advertistmentadvertistment