සුබ නැති බව කියන රාහු කාලයට බය වෙන්න එපා

621

සුබ ගමනක් පිටත්වීමට හෝ සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර වේලාව සුබ දැයි සොයාබැලීම පුරාණ චාරිත්‍රයකි. මෙයින් ද සෑම සුබ වැඩක්ම අරඹනවිට රාහු කාලය මගහැරීමට බොහෝ දෙනා පුරුදුවී සිටිති. ඊට හේතුවී ඇත්තේ බොහෝ කාලයක සිට සියලුම ලිත් පොත්, බිත්ති ලිත්, දිනපොත් ආදී බොහෝ තැන්වල රාහු කාලය සඳහා තිබීමයි. රාහු කාලය කිසිම සුබ කටයුත්තක් සඳහා සුදුසු නොවේ’ යන්නද ඒ ස්ථානවල සඳහන්ව ඇත. ජන හදවත් තුළ මුල්බැස ගෙන ඇති මේ අදහස ඇත්තක් ද යන්න ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුවම විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

සතියේ දින හතේම පැය එකහමාරක පමණ කාලය බැගින් රාහු කාලයට වෙන් කර තිබේ. දිනපතා ඉර උදාව උදේ හය ලෙස සලකා මෙම චක්‍ර සකස්කර ඇති අතර ඉර උදාව වෙනස් වනවිට ඊට අනුරූපව රාහු කාලය ද සකස්කර ගත යුතුවේ. වසරේ සෑම දිනම උදේ හයට ඉර උදාවන්නේ නැති බැවිනි. පැරැණි ලිත්වල දැන්වූයේ රාහු කාලය දිවා කාලය මෙන්ම රාත්‍රී කාලයට ද එකම වෙලාවක යෙදෙන බවය. එනම් සඳුදා දිනවල උදේ 7.30 සිට 9.00 දක්වා නම් රාත්‍රියේ ද 7.30 සිට 9.00 දක්වා බවය. සතියේ දින හතේම රාහු කාලය පහත පරිදි උදා වන්නේය.

දවස රාහු කාලය

සඳුදා 7.30 සිට 9.00 දක්වා

අඟහරුවාදා 3.00 සිට 4.30 දක්වා

බදාදා 12.00 සිට 1.30 දක්වා

බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා

සිකුරාදා 10.30 සිට 12.00 දක්වා

සෙනුසුරාදා 9.30 සිට 10.30 දක්වා

ඉරිදා 4.30 සිට 6.00 දක්වා

කුමන හෝ සුබ කටයුත්තක් ආරම්භ නොකළ යුතුය. බොහෝ දෙනා තුළ බියක් පවතින මේ කාලය ඇත්තටම සියලු සුබ වැඩකටයුතු අත්හල යුතුද? මේ වෙලාවට සුබ නැකත් නැද්ද? යන්න විමසා බලමු.

සතියේ සෑම සඳුදාවකම උදේ 7.30 සිට 9.00 දක්වා රාහු කාලය ඇතත් සියලු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන ද වැඩ අරඹන්නේ උදේ 8.00 ට පමණ රාහු කාලයෙනි. පාසල් ද ඒ වේලාවට ආරම්භ කෙරේ. දුර ගමන්, නගරාන්තර බස් රථ, දුම්රිය නැතහොත් අහස් යානා ද මේ පැය එකහමාර ඇතුළත පිටත් වෙයි. යුද්ධයක දී සතුරු ආක්‍රමණයක් පැමිණියොත් රාහු කාලය නිමවනතෙක් ප්‍රමාද විය හැකි නොවේ.

කරුණු මෙසේ නම් වැරදි ඇත්තේ ජ්‍යොතිෂයට ද? ජ්‍යොතිෂය යනු භාවිත කළ නොහැකි මිථ්‍යාවක් ද? යන ප්‍රශ්නය නඟන අය ද සිටින්නට බැරි නැත. මේ වූ කලී උතුම් ජ්‍යොතිර් විද්‍යාවේ අතිධාවනය වීමකි.

රාහු කාලයට බිය නොවී තමන්ට අවශ්‍ය ගමන යෑමට හෝ වෙනත් සුබ කටයුත්තක් ආරම්භ කිරීමට සුබ නැකත් යොදා ගතහැකි ක්‍රම රාශියක් ජ්‍යොතිෂයේ අඩංගු වේ. රාහු කාලය අත්හල පමණින් ඉතිරි කාලය සුබ වන්නේ ද නැත.

මෙම කරුණ වටහා ගැනීමට පුරාණ නැකත් ක්‍රම පිළිබඳව විමසා බැලීම වටනේය. මෙහි පහත පළවන්නේ ඉන් කිහිපයකි.

රාමසර මූහුර්ති

රාමසර මූහුර්ති යනු චූල නක්‍ෂත්‍රයේ සඳහන් වන විශේෂ නැකත් ක්‍රමයකි. පැරැන්නන් මේවා උදයාදි පැයවලින් හෝ පියවරවලින් සාදා වේලාව ගණනය කර ඇත. ඉතා විශිෂ්ට තැනක් ලෙස සඳහන්වන පහත නැකැත් දෙස බලන්න.

කුජදා දොළොස් පියවර අගල් 10 ට රතු පාටින් බත් කා බටහිරට යනු ජය සිකුරුයි (එනම් සවස 4.02 වේ.)

කිවිදා මත පියවර කාලට දකුණට යනු. සතුරෝ පරදිත් (එනම් උදේ 10.56) ඉහත නැකත් දෙකම යෙදී තිබෙන්නේ රාහු කාලය ඇතුළතය.

පංච පක්ෂි නැකත් ක්‍රම

පංච පක්ෂි නැකත්වලදී තම පක්ෂියා රජවන වේලාව ඉතා සුබ බව සඳහන්වේ. පහත සඳහන් පක්ෂියා රජවන වේලාව බලන්න.

ඉරිදා සවස 3.36 – 6.00 අතර කුක්කුට පක්ෂියා රජවේ

සඳුදා උදේ 6.00 – 8.24 අතර කුක්කුට පක්ෂියා රජවේ

බදාදා උදේ 10.48 – 1.12 අතර විකාල පක්ෂියා රජවේ.

මේ ආකාරයට රාහු කාලය ඇතුළත ම පක්ෂියා රජවෙයි.

චිත්තාරම්මන නිමිත්ත

හිතට එන වේලාවට තම ගමන පිටත්වීම නැතහොත් කටයුත්ත ආරම්භ කිරීම මෙයින් අදහස් කෙරේ. දැන් මේ ගමන ගියොත් හොඳ නේදැයි හිතට එන්නේ කර්මානුරූපව ඒ කටයුත්ත සාර්ථක වන බැවිනි. “මම ඔය නැකැත් බල බල ඉන්නේ නෑ. හිතට ආපු ගමන් කරනවා” ආදී වශයෙන් කියනු ලබන අය කරන්නේද මේ නැකත් ක්‍රමය අනුගමනය කිරීමයි. මෙය ද ඉතා සාර්ථක ක්‍රමයක් වන අතර මෙහිදී ද රාහු කාලය බලපාන්නේ නැත.

නාඩි ශාස්ත්‍රය

නාඩි ශාස්ත්‍රය හෙවත් නළ ශාස්ත්‍රය යනු පැරැන්නන් වන අපේ මුතුන් මිත්තන් භාවිත කළ අත්දුටු ක්‍රමයකි. මෙය හඳුන්වා ඇත්තේ ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය මතය. සෑම විටම නාස්පුඩු දෙකින්ම ස්වශනය සිදු නොවෙයි.වම් දකුණු නාසා පුටුවෙන ආශ්වාස ප්‍රස්වාසය සිදුවේ. දකුණු නැතහොත් වමේ නාස් පුඩුවෙන් ශ්වසනය සිදුවනවිට කළ යුතු සුබ කටයුතු වෙනම සඳහන් කර ඇත. මෙය ද රාහු කාලය ගැන සැලකීමක් නැත.

පුරාණ ග්‍රන්ථවල මේ නැකැත් ක්‍රම විස්තර කර ඇත්තේය. ‘ ඉචා පිංගල ශාස්ත්‍රය’ “දෛවඥ කාමධේනු” “දිව්‍යමය සුබ මුහුර්ත” “මුහුර්ත චින්තාමනි’ “පංච පක්ෂිය” ආදී පැරැණි පොත්පත්වල මේ නැකැත් ක්‍රම මනාව විස්තර කර තිබේ. රාහු කාලය ගැන හුඹස් බියක් ඇතිකර ගැනීම නිසි ලෙසත් නොකළ යුතු බව මෙයින් පෙනේ.

සුබ නැකැත් සාදන විට අත්හල යුතු දෝෂ තිස්හතක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වේ. රාහු කාලය යනු ඉන් එකක් පමණි. මේ නිසා රාහු කාලය කුමක් දැයි හරිහැටි වටහා ගැනීම සුදුසුය. රාහු යනු හිතේ චංචල බව, චිත්ත ඒකාග්‍රතාවයට බාධා පමුණුවන ග්‍රහයාය. මේ නිසා විශේෂයෙන් රාහු කාලය මඟහරවා ගත යුත්තේ අධ්‍යාපන කටයුතු ආරම්භයටය. අකුරු කියවීම වැනි කටයුතුවලදී එය මඟහැරීම මැනවි.

චිත්තාරම්මන නිමිත්ත අනුව ක්‍රියාකිරීම හා නාඩි ශාස්ත්‍රය කිසිදු පත පොතක් නැතිව තමන්ටම අනුගමනය කළ හැකි නැකත් ක්‍රමයකි. අවසන් වශයෙන් කිව යුත්තේ ‘රාහු කාලයට බයවෙන්න එපා යන්නය.

සුබ නැති බව කියන රාහු කාලයට බය වෙන්න එපා

ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත්
කෙළින්වීදිය, කෑගල්ල,
දු. අංකය 0771234313, 0352232084

advertistmentadvertistment
advertistmentadvertistment