එංගලන්තයේ කොරෝනා එන්නත් ගත් කාන්තාවන්ගෙන් ඔසප් චක‍්‍ර පැමිණිලි

245

එංගලන්තයේ කොරෝනා එන්නත් ලබා ගත් හා කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවන් විසින් සිය මාසික ඔසප් චක‍්‍රයට ඇති වී තිබෙන බාධාවන් පිළිබඳව සිදු කෙරෙන පැමිණිලි සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව එරට ප‍්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති.

 මේ වන විට එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් වෙත සිය ඔසප් චක‍්‍රයට ඇති වී ඇති බලපෑම් පිළිබඳව කාන්තාවන්ගෙන් පැමිණිලි 30,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වී තිබේ. මෙම පැමිණිලි ලැබී ඇති කාන්තාවන් පවසා ඇත්තේ සිය මාසික ඔසප් වීම ප‍්‍රමාද වීම, වෙනත් දිනවලට වඩා අධික ලෙස ඔසප් වීම, අනපේක්ෂිත අන්දමින් අධික ලෙස රුධිරය වහනය වීම තමන්ට සිදුව ඇති බවයි. මෙම පැමිණිලි ඉදිරිපත් කළ බොහෝ කාන්තාවන් එංගලන්තයේ දැනට භාවිත වන කොරෝනා එන්නත් ලබා ගත් පසු මෙම තත්ත්වය හටගත් බව ප‍්‍රකාශ කර තිබේ. එමෙන්ම එම පැමිණිලි ඉදිරිපත් කළ ඇතැම් කාන්තාවන් තමන් කොරෝනා වෛරසයට හා දිගුකාලීන කොරෝනා ආසාදනයට ගොදුරු වූ පසු මෙම තත්ත්වය හටගත් බවට පවසා තිබේ. කෙසේ වුවද එංගලන්ත ඖෂධ හා සෞඛ්‍ය සේවා නිෂ්පාදන නියාමන අධිකාරිය විසින් පවසා ඇත්තේ මෙවැනි ඔසප් චක‍්‍රයේ ඇතිවන වෙනස්වීම් කාන්තාවන් අතර සුලභව දක්නට ලැබෙන තත්ත්වයක් බවත් එය කිසිවිටක කොරෝනා එන්නත් නිසා හටගත් තත්ත්වයක් නොවන බවයි. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ ප‍්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වික්ටෝරියා මේල් පවසා ඇත්තේ මෙම කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ ඇතිව ඇති වෙනස්වීම් ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ප‍්‍රතිචාරය හේතුවෙන් හටගත් තත්ත්වයක් විය හැකි අතර කොරෝනා එන්නත් එයට බලනොපාන්නට ඇති බවයි. එහෙත් මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනයක් සිදු කර සත්‍ය තත්ත්වය පහදා නොදුනහොත් කොරෝනා එන්නත් පිළිබඳව පැතිර යන සාවද්‍ය ප‍්‍රචාරයන් තවත් වැඩි වනු ඇති බව වෛද්‍ය මේල් කියා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment