ඔබටත් රට යන්න පුළුවන්ද?

1372

අප රටේ වර්තමාන සමාජ-ආර්ථික අර්බුදකාරී වාතාවරණය මත බොහෝ පිරිසක් විදේශ රටකට යාමට උත්සාහ දරති. තම ජන්ම කේන්ද්‍රය රැගෙන අප හමුවට එන බොහෝ දෙනා මේ දිනවල විමසන ප්‍රධාන කරුණ වන්නේද එහි විදේශගත වීමට හැකියාව ඇත්දැයි යන්නය. සැබවින්ම පුද්ගලයකුගේ විදේශ ගමන් යෝග පිළිබඳව ඔහුගේ ජන්ම පත්‍රයේ ලියැවී තිබේ. එපමණක් නොව විදේශ ගමන්වලදී අනතුරුවලට ලක්වන්නේද යන්න ගැන පවා ඒ ඇසුරින් කිව හැකිය. ඇතැම් අය විදේශගත වීම තුළින් විශාල දියුණුවක් ලබා ගන්නා අතර තවත් අය විදේශගත වීම නිසා සිටි තැනින් පවා පහළට වැටී විශාල දුක් කරදරවලට මුහුණ පාන බවද දැක ගන්නට තිබේ. එබැවින් විදේශගත වීමට සිතන ඔබ, ඊට පෙර ඒ ගැන ජන්ම පත්‍රය තුළ කියැවී ඇති දේ විමසා බැලීම වැදගත් වේ.

විදේශගත වීම සම්බන්ධයෙන් ඉතා ඉහළ බලපෑමක් ඇති කරන ග්‍රහයා වන්නේ සිකුරුය. කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 10 වැන්නේ සිකුරු බලවත්ව සිටීමත්, රාහුගේ දෘෂ්ටිය හෝ සංයෝගය ලැබීමත් විදේශ ගමන්වලට හේතුවන පිහිටීමකි. කේන්ද්‍රයේ 1, 2, 4, 5, 7, 9, 10, 11 යන ස්ථානයක් තුලා, මීන හෝ වෘෂභ රාශියක් වී එහි සිකුරු පිහිටා එයට රාහුගේ හෝ ගුරුගේ දෘෂ්ටියක් වැටී ඇත්නම් රාහු, සිකුරු හෝ ගුරුගේ දශාවලදී විදේශගත විය හැකිය.

12 වැන්නාධිපතියාගේ පිහිටීම,12 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම්, 10 වැන්නාධිපතියාගේ පිහිටීම් හා සඳුගේ පිහිටීමද එම ග්‍රහයන් චර රාශිවලට සම්බන්ධ වීමද චර අංශකවල පිහිටීමද අනුව විදේශ ගමන් යෝග ක්‍රියාත්මක වේ. ශනි හා රාහු යන ග්‍රහයන් දෙදෙනාද විදේශ ගමන් සඳහා අනුබල දෙයි. 12 වැන්නාධිපතියා, 10 වැන්නාධිපති සමග යෝගවීම, ලග්නාධිපති චන්ද්‍රයා සමග යෝග වීම එම යෝග චර රාශිවල පිහිටීම, එම ස්ථාන අධිපතියන්ගේ පරිවර්තන,රැකියාව සම්බන්ධ විදේශගත වීම පෙන්නුම් කරයි. 9 වැන්නාධිපතියා 12 වැන්නාධිපතියා සමග සම්බන්ධවීම, 5 වැන්නාධිපති 9 වැන්නාධිපති, ගුරු, බුධ 12 වැන්නාධිපතියා හෝ චන්ද්‍රයා සමග යම් සබඳකමක් තිබේ නම් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට පුළුවන.

ලග්නාධිපති හා 9 වැන්නාධිපති සතුරු නොවී 3, 7, 9 භාවවල අශුභ දෘෂ්ටි නොලබා පිහිටීම විදේශ සංචාරවලට හේතුවේ. චන්ද්‍රයා චර රාශියක් වී 10 වැන්නේ පිහිටීම නිතර සංචාරයේ යෙදිය හැකි යෝගයකි. ලග්නයට හා ලග්නාධිපති ග්‍රහයාට ගුරු, චන්ද්‍ර, ශුක්‍ර යන සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබේ නම් දැකුම්කලු, මනස්කාන්ත රටවල සංචාරය කළ හැකිවේ. 1, 6, 7, 9, 12 ස්ථානාධිපතියන්ගේ සංයෝගය හෝ පරිවර්තනය වීම නිසා තම ඥාතීන් හෝ රාජකාරි නිසා විදේශ ගත වේ. 2 වැන්නාධිපති 12 නම් විදේශවලදී ධනවත් විය හැක. 4 වැන්නාධිපති 12 නම් විදේශ රටක පදිංචියට ඉඩ ඇත.

ලග්නය චර රාශියක් වී ලග්නාධිපති චර රාශිගත වීමෙන්ද, ලග්නයට චර රාශියක සිටින ග්‍රහයෙකුගේ දෘෂ්ටිය ලැබීමෙන්ද, ලග්නාධිපති හා 4 වැන්නාධිපති 12 වැන්නේ සිටීමෙන්ද 12 වැන්න චර රාශියක් වී එම රාශිගත ග්‍රහයා මිත්‍ර වීමෙන්ද විදේශ ගමන් යෙදේ. 1, 10, 12 ස්ථාන අධිපතියන්ගේ හා ඔවුන් පිහිටි නවාංශකාධිපතියන්ගේ යෝගවීම එම ග්‍රහයන් ශනිට සම්බන්ධවීම තුළින් විදේශ රටක ස්ථිර පදිංචියට අවස්ථාව සැලසේ. 9 වැන්නාධිපති 12 වැන්නේ තැන්පත්ව උච්චව සිටී නම් මෙරට සිටියත් පිටරටක සිටියත් උසස් ලෙස ජීවත් විය හැක.

ගුරු හෝ සිකුරු පාප සංයෝග, පාප දෘෂ්ටිවලින් තොරව බුධ, රවි හෝ සඳු, සුබ දෘෂ්ටි ලබමින් 1, 9, 10, 12 භාවයක සිටී නම් විදේශ ගමන්වලදී අනතුරු සිදුනොවේ. විදේශ ගමන් සම්බන්ධව ඉහත සඳහන් කළ යෝගවලදී ඒ ඒ ග්‍රහයන්ගේ බල දුබලතාවය වැදගත් වේ. එබැවින් විදේශගත වීමට සිතන ඔබ ඊට පෙර ඔබේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර ගැනීම වැදගත් වනු ඇත.

ජ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා උපදේශක, දේශමාන්‍ය, දේශබන්දු
ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ, දැරණියගල.
0741-838000

advertistmentadvertistment
advertistmentadvertistment