ඔරිජිනල්,ඩුප්ලිකේට්,ජෙනුයින් සහ ෆෙක්(මන්ඩකුත්තු ) මෙන්න හොර කච්චේරි රාජකාරි වැඩ

303

ඔරිජිනල් ඩුප්ලිකේට් ජෙනුයින් සහ ෆේක් යනුවෙන් කාණ්ඩ හතරකි. මේ හතර අද පවතින බොහෝ දේවල්වලට අදාළ වෙයි. ඔරිජිනල් (Original) යනු ඔරිජිනල්ය. ඒවා ඇත්තේ එකකි. එයට සමාන කළ හැකි කිසිම දෙයක් නැත. අඩුම ගණනේ ඔරිජිනල් යන වචනයට සමාන සිංහල වචනයක් හෝ නැත.

ඩුබ්ලිකේට් නොහොත් ඩුප්ලිකේට් (Duplicate) යනු අනුපිටපතයි. ඒවා අනන්තවත් හදාගත හැක භාණ්ඩයක් නම් මැටියෙන්, සිමෙන්තියෙන්, ගලින්, පසෙන් පමණක් නොව රිදියෙන්, රනින් හෝ තැනිය හැක. ලියවිල්ලක් ලේඛනයක් වැනි දෙයක් නම් ෆොටෝ කොපියක් හෙවත් ඡායා පිටපතක් ගත හැක.

ජෙනුයින් (Genuine) යනු අව්‍යාජ දෙයකි. එය මුල් දෙයට හැම අතින්ම සමානය. කිසිම වෙනසක් අඩුපාඩුවක් නැත. නමුත් එය ඔරිජිනල් නොවේ. අති දක්ෂයෙකුට මෙවැනි ජෙනුයින් දේ සෑදිය හැක.

ෆේක් (Fake) යනු හුදෙක් වංචා සහගතව හදන දෙයකි. ඒවා ව්‍යාජය. අවරය. අසම්මතය. අනීතිකය.

ඔරිජිනල්,ඩුප්ලිකේට්,ජෙනුයින් සහ ෆෙක්(මන්ඩකුත්තු ) මෙන්න හොර කච්චේරි රාජකාරි වැඩ

උපන්දා සිට මිය යනතුරුම මිනිසෙකුට විවිධ ලියවිලි අවශ්‍ය වෙයි. උප්පැන්න සහතිකය ළදරු සායන පොත පදිංචි සනාථය වෛද්‍ය වාර්තා පාසල් ප්‍රගති වාර්තා විභාග සහතික උසස් අධ්‍යාපන සහතික ජාතික හැඳුනුම්පත රියැදුරු බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය වෘත්තීය සුදුසුකම් සහ පලපුරුදු සහතික යන දේවල් මේ අතරින් ප්‍රධාන වෙයි. මෑතකදී මතු වුණු කොරෝනා හෙවත් කොවිඩ් 19 එන්නත සනාථ කරන කිව් ආර් කේතය සහිත ස්මාර්ට් කෝඩ් සහතිකය මෙන්ම අවසානයේදී මිය ගිය පසු ලැබෙනා මරණ සහතිකයද සුවිශේෂී ලියකියවිලිය.

කෙසේ වෙතත් ඉහතින් සඳහන් කළ සහතික සියල්ල යම් කාර්යක් කිරීමට හෝ කටයුත්තකට මුහුණ දීමට යෑමේදී ඔරිජිනල් ඒවා වීම ඉතා වැදගත් වන අතර ඒවා අස්ථානගතවී හෝ විකෘතිව විනාශව ගොස් ඇත්නම් අප පත්වන්නේ අසීරු තත්ත්වයන්ටයි.

දින අවුරුදු නම් ගම් අංක ආදී සියලු දත්තයන් සහ විස්තර ඇත්නම් අදාළ කාර්යාලය වෙත ගොස් මුල් පිටපතේ කොපියක් හෙවත් සහතික කළ අනුපිටපතක් ගැනීම එතරම් අසීරු දෙයක් නොවේ. නමුත් කුමන කුඩා හෝ දත්තයක් අඩුනම් අමතක නම් සංශෝධනයක් ඇත්නම් වැඩේ මඳක් අසීරු වනු ඇත. අප ලිපියේ ඉහත තැනක සඳහන් කළ ලියවිලි ලේඛන වට්ටෝරුව අතරින් මිනිසාට අත්‍යවශ්‍යම ලියවිලි සහ සහතික හතරක් නොහොත් පහක් පමණ ඇත. ඒ උප්පැන්නය ජාතික හැඳුනුම්පත රියැදුරු බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය සහ මරණ සහතිකයයි.

මේ සියල්ල නිකුත් කරනු ලබන්නේ රජයේ කාර්යාල වලින් වන අතර කොතරම් පිළිවෙළට පැහැදිලිව අවශ්‍ය දත්ත සහ උපකාරී ලියවිලි තිබුණද නියමිත වෙලාවට නියමිත දිනට තමාට අවශ්‍ය ලේඛනයක් ලබා ගැනීම යනු සාමාන්‍ය මිනිසාට සිහිනයක් පමණක් බව දන්නෝ දනිති. මුදල් හදල් තියෙන ඇති හැකි අය දහස් ගණන් ගෙවා එක්දින සේවා හරහා තම ලියවිල්ල ලබා ගත්තද මුදල් නොමැති නැති බැරි අයට සති ගණන් මාස ගණන් තපින්නට සිදුවන බව නොරහසකි. පෘතග්ජන මනුෂ්‍යා අල්ලස් දීමට පෙළඹෙන්නේ මෙවිටයි.

රජයේ ආයතනයකින් ලබාගන්නා ලියවිල්ලක් බොහෝ විට නීත්‍යනුකුල වෙයි. ඔරිජිනල්ම නැතත් ඒවා ඡායා පිටපත් කර “සහතික කරන ලද සත්‍ය පිටපතකි (Certified true copy) කියා ආයතන නායකයා සමාදාන විනිසුරුවරයෙක් හෝ රජයේ වගකිවයුතු පුද්ගලයෙකු විසින් (සීල් එකක්) මුද්‍රාවක් තැබූ විට ඒ ගැන තර්කයක් නැත අවිවාදයෙන් එම ලියවිල්ල සත්‍ය පිටපතක් කියා කවුරුත් පිළි ගනී.

නමුත් හදිස්සිකාරයන් තම ලියවිල්ලට අදාළ විවිධ අඩුපාඩු ඇති අය සහ විශේෂයෙන් හොර මගඩිකරුවන් කරන්නේ තමාට අවශ්‍ය ලියමන හදාගන්නට ව්‍යාජ සහතික හදන හොර කච්චේරිකරුවන් සොයා යෑමයි.

බස්නාහිර පළාතට හිටි හොඳම හොර සහතික කාරයාව සිටියේ පන්නිපිටියේ කච්චේරි සුනිල්ය. පන්නිපිටියේ කීවාට සුනිල්ට හරි ඇඩ්‍රස් එකක් නැත. තිබුණද ඔහු ජීවත්වන තැන කවුරුවත් නොදනී. අද කඩවත සිටින සුනිල් හෙට හමුවිය හැක්කේ කළුතරදී හෝ කඩුවෙලදීය. හොර උප්පැන්න, අයිඩෙන්ටි කාඩ්, ඩ්‍රයිවින් ලයිසන්, පාස්පෝර්ට් හදන්නට නම් මේ කච්චේරි සුනිල් උපන් හපනෙකි.

පසුගිය කාලයේ ඇතිවූ කොරෝනා වසංගතයට ගොදුරව ඔහු මිය ගිය බව මට දැනගන්නට ලැබුණේ ඔහුගේ ගෝලයෙක් වන අයි. ඩී. කුමාරගෙනි. සුනිල් මිය ගියේ අයි. ඩී. කුමාර වැනි තවත් හොර දෙටු ගෝලයන් රැසක්ම ලක් මෑණියන්ට දායාද කරමිනි. ඔවුන්ද දැන් රිසිසේ හොර තක්කඩියන්ට විවිධ ව්‍යාජ ලිපි ලේඛන හදා දෙමින් සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වෙයි.

“මං බොස් දැන් හැම වැඩක්ම කරන්නේ නෑ. අයිඩෙන්ටි, උප්පැන්න විතරයි කරන්නේ. ඒකත් හොඳට හොයල බලල දන්න අඳුනන කෙනෙක් අරන් එන වැඩක් විතරයි.

අපි ජෙනුයින් ෆේක් දෙකම කරනවා. ජෙනුයින් කරන්නේ ඇතුළෙ මහත්තුරු අල්ලගෙන. එහෙම අරන් දෙන බඩු ආයෙ හෝදන්න දෙයක් නෑ ඔරිජිනල්ම තමා. ඇත්තම ඇත්ත ගාන ටිකක් වැඩියි. ඒත් හදිස්සි කාරයෝ ඈත පළාත්වල අය කට්ට කන්න අකැමැති අය අපේ හරහා කිසි බයක් නැතුව වැඩ කරගන්නව. ඕනිම උසාවියකින් ඕනිම කන්තෝරුවකින් ඕනිම කොම්පියුටරයකින් අපේ බඩු පාස් වෙන විදියට තමයි ඒව හදන්නේ.”

කුමාර කියන විදියට වැදගත් ලියකියවිලි හදන රාජ්‍ය ආයතන වල උසස් නිලධාරීන් සහ සාමාන්‍ය සහ පහළ පෙළේ සේවකයන් රැසක්ම ඔහුගේ හිතවතුන්ය. තම සේවාදායකයාට ඇති හදිස්සිය සහ පෝලිම්වල දුක් විඳින්න ඇති අකැමැත්ත නිසා හොර පාරෙන් ගොස් අව්‍යාජ සහතිකය ලබා දීම ඔහුගේ කාර්යයයි.

පාස්පෝර්ට් කන්තෝරුව අවට සිටින්නේ පාස්පෝර්ට් කාක්කන්ය. ඔවුහුද ඇතුළේ සමහර මහත්තුරු කීපදෙනෙක් අල්ලාගෙන ඔරිජිනල් ගමන් බලපත්‍රය හදා දෙති. ෆොටෝ එක ගැනීමේ සිට ෆෝම් පිරවීම, ඩොකියුමන්ට් හරි ගැස්සීම, පොටෝ කොපි ගැසීම, ඇපොයින්මන්ට් දැමීම, ටෝකන් එක සහ අංකය ලබා ගැනීම, කොළ බාර දීම සහ පොත අතට ගැනීම යන කටයුතු ඔවුන් විසින්ම සිදුකරන අතර ඒ සඳහා අය කරන ගණන ඉතා ඉහළය. මේ ක්‍රමයට තම ගමන් බලපත්‍රය හදා ගන්නේ තිස්ස, කතරගම, ඌව පරණගම, කල්මුනේ, අම්පාර, යාපනය පදවිය වැනි ඈත එපිට ගම්වලින් එන මිනිසුන්ය. ඔවුන් කියන්නේ පෝලිම්වල ලගිමින් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් හෝටල්වලට කාමරවලට දහස් ගණන් දෙනවාට වඩා කීයක් හරි වියදම් කර හොර පාරෙන් පාස්පෝට් එක ගැනීම හොඳ බවයි. විශේෂයෙන්ම යුරෝපයේ නෑයන් වෙසෙන යුරෝපය බලා යෑමට සිහින දකින උතුරේ තරුණ තරුණියන් මෙම ක්‍රමයට වඩා කැමැත්තක් දක්වයි.

විදේශ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ හැඳුනුම්පත් නිකුත් කරන කාර්යාලයේ හොර වැඩ කරන නිලධාරීන් කීපදෙනකු සිටියද එහි අවංක වැදගත් පුද්ගලයන් ද සේවය කරන බව මම වගකීමෙන් කියමි. ඔවුහු තමා වෙතට එන අයට කාරුණිකව කතා කරති. කළ යුතු කාර්ය පැහැදිලිව විස්තර කරති. අත්‍යවශ්‍ය හදිසි කාරණයක් නම් ඔවුන්ම මැදිහත්ව ඒ වුවමනාව ඉටු කර දෙති. වැදගත් ලෙස කතා කරති. මට හමුවූ ජයන්ත රත්නායක මහතා එවන් යහපත් නිලධාරියෙකි. මා නම නොදන්නා තවත් බොහෝ එවන් මහත්වරු එහි සිටිති.

නම, වයස, ලිපිනය ආදිය ව්‍යාජ ලෙස වෙනස් කර තම උප්පැන්නය, ජාතික හැඳුනුම්පත හෝ පාස්පෝර්ට් හදාගන්නට ඇවැසි අය ඒ සඳහා අදාළ රජයේ කාර්යාල වෙත යන්නේ නැත. ඒවා කරදීමට රට පුරා විහිදුනු ඒජන්තවරුන් සිටි ඔවුන් ඒ වෙනුවෙන්ම හොර කච්චේරි පවත්වාගෙන යති. මිය ගිය කච්චේරි සුනිල් සහ ඔහුගේ ගෝලයන් ඒ සඳහා උදාහරණ වෙයි.

“මං ගාවට වැඩක් කරගන්න එන අය වැඩිදෙනෙක් ඔරිජිනල්, ජෙනුයින් ඉල්ලන්නේ නෑ සර්. උන්ට ඕනි සමාජේ පීචං නොවී නෝන්ඩි නොවී ජීවත්වෙන්න අයිඩෙන්ටියක්, උප්පැන්නයක්, ලයිසන් එකක් හදාගෙන පාඩුවෙ ඉන්නයි.”

මෙහෙම කිව්වෙ ගාල්ලෙ සමරවීර ඔහු කියන විදියට ඔහු ලොකු ජල්තර ඒ කියන්නෙ රට යන්න පාස් පෝර්ට් බොරු නම් ගම් දාල අයිඩෙන්ටි හදන්නෙ නෑ. ඔහු හදන්නේ ඇත්ත දත්ත දාපු අයිඩෙන්ටි සහ ලයිසන් විතරයි.

“මං කියලමයි දෙන්නේ මේව නිකන් පෙන්නන්න විතරයි මේවයින් ලොකු වැඩ කරන්න බෑ රට යන්න, ආණ්ඩුවෙ රස්සා ගන්න, උසාවියෙ ඇප තියන්න බෑ. පාරෙ යද්දී පොලිසියෙන් අහද්දි පෙන්නන්න බැංකුවකින් සල්ලි පොඩි ගාණක් මාරු කරගන්න බඩුවක් මුට්ටුවක් උකස් තියා ගන්න විතරක් පුළුවන් කියල.”

අද අපේ රට පුරා සීල් කපන තැන්ද බොහෝ ඇත. එවන් ස්ථාන කීපයකම හිමිකරුවන් සහ සේවකයන් මම හඳුනමි. ඔවුන් සමග කතා කිරීමේදී මට දැනගන්නට ලැබුනේ හොර සීල් කපා ගන්නට එන අයගේ ගණන දිනෙන් දින ඉහළ යන බවයි.

“වැඩිදෙනෙක් එන්නේ “‍Certified true copy” (සත්‍ය පිටපතකි) කියන සීල් එක කපා ගන්නයි අපි දකිද්දි දන්නව මේ එන්නේ වැඩකරුවෙක් කියල. ඒක නිසා අපි ඒව කරන්නෙ නෑ. හරෝල යවනවා. ඒ වගේම දේශපාලනඥයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ, නීතිඥයන්ගේ, නඩුකාරයන්ගේ, සමාදාන විනිශ්චයකරුවන්ගේ, පොලිස් නිලධාරීන්ගේ නම් තනතුරු දාලා සීල් කප්පවගන්නත් කට්ටිය එනවා. එහෙම ආවාට ගියාට සීල් කපල දෙන්නෙ නෑ. අපි ඒ අයගෙන් තනතුරු සනාථ කරන ලිපියක් සහ සාක්ෂියක් ගන්නවා. එහෙම නැතුව බෑනේ. උන් ජල්තර දාල මාට්ටු වුණොත් බොස් අපිටනේ ගස් නගින්න වෙන්නෙ. සීල් කැපුවයි කියල.”

සීල් කපන කඩේ ජයන්ත මල්ලි එසේ කීවද යහමින් කීයක් හරි වැඩිපුර දෙනවානම් ඕනෑම සීල් එකක් කපා දෙන අයියලාද අප සමාජයේ සිටිති. ඔවුන් ඒ සඳහා හිතූ හිතූ මිල ගණන් අය කරති.

අපගේ මිතුරු සෙවණට සුවය පතා එන සමහර මත්ලෝලීන් ළඟ විවිධ වෛද්‍යවරුන් නිකුත් කළ බෙහෙත් තුණ්ඩු (Prescriptions) තිබේ. ඒවායේ නිර්දේශ කර ඇත්තේ අධි බලැති නිදි පෙති ස්නායු අඩපණ කරන ඖෂධ සහ පිළිකා ආතරයිටිස් වැනි වේදනාකාරී රෝග වලට දෙන අධි බලැති වේදනා නාශක ඖෂධයි. මත් භාවිතයෙන් ඉවත්වීමේදී ඇති වන විරමණ වේදනාවලට සහනයක් වශයෙන් මෙන්ම අධි මාත්‍රාවක් ගත් විට මත් වන නිසාත් මත්ද්‍රව්‍යවලට විකල්පයක් ලෙස භාවිත කළ හැකි නිසාත් මත්ලෝලීන් මෙවැනි ව්‍යාජ වෛද්‍ය මුද්‍රා සහිත බෙහෙත් තුණ්ඩු හදාගෙන ඒවා ෆාමසිවලට පෙන්වා විවිධ රසාගධයන් ලබා ගනිති. බොහෝ ෆාමසිකරුවන් මේ බව දනිතත් මුදල් ලැබෙන නිසා මෙසේ අනීතිකව අන්තරායකර ඖෂධ නිකුත් කරති.

“අපි නම් ඔය සීල් කපන අය පස්සේ යන්නෙම නෑ. මොනවටද උන්ගේ පඩ සෝ රැස්පට් ගෑස් බලන්නෙ. දැන් කොළඹ ගියාම ඕනිම කෙනෙකුට රුපියල් පාළොස්දාහක් දුන්නම අලුත්ම අලුත් කිරි කිරි පොලිමර් සීල් කපන මැෂිමක් ගන්න පුළුවන්. ඒකෙන් අපිට අපේ ජනාධිපතිගේ සීල් එක විතරක් නෙවේ ජෝ බයිඩන්ගේ, වැලැද්මීර් පුටින්ගෙ සීල් පවා කපා ගන්න බැරියැ.”

ඒ තවත් හොර කච්චේරිකරුවකු වන සාමත්ගේ අදහසයි. ඔහුද අනාදිමත් කාලයක සිට ව්‍යාජ සහතික ලියකියවිලි, හොර ඔප්පු තිරප්පු, අයිඩෙන්ඩි, ලයිසන් හදන්නෙකි. සමහර පොලිස් නිලධාරීන් පවා මොහුව දනී. එවැන්නෝද තමාට කියා බොහෝ වැඩ කරවාගෙන ඇති බව සාමත් මට කීප වතාවක්ම පවසා ඇත.

හොර කච්චේරියක් කී විට අපට සමහරවිට සිහියට නැගෙන්නේ සද්දෙට වැඩ කරන දුම් දාගෙන දුවන මුද්‍රණ යන්ත්‍ර දාඩිය හලාගෙන අකුරු අමුණන මිනිස්සු සහ මේස මත කොළ එලාගෙන ඒවා කපන සේවකයන් පිරිසක් වුවද ඇත්තටම ව්‍යාජ ලිපි ලේඛන සකසන අයට අවශ්‍ය වන්නේ කුඩා ස්කෑනරයක් කුඩා එහෙත් අධි තාක්ෂණික ප්‍රින්ටරයක් පේපර් කටරයක් ලැමිනේටිං මැෂිමක් කුඩා මේසයක් සහ කූට කපටි මොළයක් පමණි.

“විවෘත ආර්ථිකේටයි චීනෙටයි පින් සිද්ද වෙන්න රුපියල් ලක්ෂයක් වියදම් කළාම හොර බඩු හදන අඩුම කුඩුම ඔක්කොම එකම වහලක් යටින් ගන්න පුළුවන් බොස්. වැඩක් දෙකක් කළාම ගිය වියදම ෂේප්. වැඩ එනවනම් මාසෙන් දෙකෙන් ඉතින් ගොඩ තමයි. හැබැයි පරිප්පුත් සෙට් වෙනව ඒවට වියදම් කරන්න අපි වෙනම ගානක් වෙන් කරනවා.

“අතේ පත්තු වෙන’ මන්ඩකුත්තු” උස්සන් එන අයියලත් එමටයි. එහෙම වැඩ අපි ගන්නෙ නෑ. මේ ළඟකදි ආවනේ අවුරුදු අනූවක මහත්තයෙක් එයාගෙ පුතා එක්ක එයාගෙ අයිඩෙන්ටිය හදාගන්න කියල. මග යන්න පණ නෑ රෝද පුටුවෙ ඉන්දන් ආවේ. තව පොඩ්ඩෙන් මළ කෙලියයි ඒ නමයි අයිඩෙන්ටි නම්බරෙයි චෙක් කළාමයි දැනගත්තේ අර පුතා කියන එකා තල්ලු කරන් ඇවිත් ඉන්නෙ හොර තඩියෙක්ව කියල. අනික අර නමයි අයිඩෙන්ටියෙයි හැබෑ අයිතිකාරයා ලංකාවේ ඉන්න කීර්තිමත් පුද්ගලයෙක්. කෝටිපති ව්‍යාපාරිකයෙක්. සුප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකරුවෙක් කියල.

මේක කලා නම් අතේ පත්තු වෙනවා. තව පොඩ්ඩෙන් අපි ඔක්කොම ගස්. මේ හොර සහතික හදන එක හරියට දැලි පිහියෙන් යෝගට් කනවා වගේ වැඩක්.”

දැන් නවීන තාක්ෂණය යොදා පරිගණකානුසාරයෙන් හොර අයිඩෙන්ටි පාස්පෝර්ට් සහ ව්‍යාජ සහතික හැදුවද එකල සිටි දක්ෂ වැඩකරුවන් හොර සීල් කැපුවේ අල ගෙඩියෙනි බාටා රබර් සෙරෙප්පු අඩියෙනි. ග්‍රෑන්ඩ්පාස් සුකුමාරන් දෙමටගොඩ පොඩී වැන්නවුන් තවත් අයෙකු සමග කතා කරමින් සිනා සෙමින් කාගේදෝ පාස්පෝර්ට් එකක් මුහුණ මාරු කරන අයුරු මම මීට දසක කීපයකට පෙර සියැසින්ම දැක ඇත. සියුම් සැතකින් (බ්ලේඩ් තලයක් වැනි යකඩ තුඩකින් ඉතා සූක්ෂම ලෙස ඇත්ත හිමිකරුගේ මුහුණ කපා ඉවත් කර ඒ වෙනුවට වෙනත් මුහුණක් බද්ධ කිරීම සුකුමාරන්ට සහ පොඩීට ඉතා පහසු කටයුත්තකි. එම ක්‍රමයට එකල කීවේ හෙල්මට් කියායි. මෙසේ හෙල්මට් ක්‍රමයට ඔළුව මාරු කොට අනුන්ගේ පොත් වලින් යුරෝපයට පැන්න අය අනන්තය. එය එකල පාතාල ලෝකයේ අති සුලබ ක්‍රමයකි.

නව තාක්ෂණය සහ කොම්පියුටර් පැමිණි නිසා අද ඒවා අහුවන නිසාත් ඊට වටා දියුණු ක්‍රම ඇති නිසාත් හෙල්මට් ක්‍රමය අද නැත.

“අපි විතරක්ද මහත්තයෝ හොර සහතික හොර අයිඩෙන්ටි හොර පාස්පෝර්ට් හදන්නෙ. මතක නැද්ද රටේ උසස්ම උසස් ප්‍රභූ මැඩම්ලා දේශපාලන ලෝකේ නෝනල මහත්තුරු සල්ලිකාර පාතාලේ ඩොන් ල හොර අයිඩෙන්ටි පාස්පෝර්ට් හදල නෝන්ඩි වුණා. කෝ ඒ අයට නීතිය. කෝ ඒ අයට දඬුවම්. පොඩි එකෙක් කරොත් තමයි අල්ලල කුදලන් ගිහින් ඇතුලට දාන්නේ.”

කවුරු කොහොම හැදුවත් ව්‍යාජ ලේඛන හෝ සහතික සැකසීම අනුමත කළ නොහැක. ඒවාට එරෙහිව දැඩි නීති තිබුණද අප රටේ එම නීති හරි ලෙස ක්‍රියාත්මක නොවන්නේ රටේ ඉහළ තැන් වලින් ඒවාට සහය ලැබෙන නිසාත් ඔවුනුත් ඒවා කරන නිසා විය යුතුය.

අපේ මිතුරු සෙවණට එන අයගෙන් වැඩි දෙනකුට උප්පැන්න සහ අයිඩෙන්ටි නැත. සමහරුන්ගේ ඒවා අස්ථානගතව ඇත. සමහරු එසේ නැතිවුණු එක වෙනුවට කිසි කාලෙකට අයිඩෙන්ටියක් හදා නැත. එසේ හදාගන්නට ඔවුන් සතුව අදාළ දත්ත සහ විස්තර නැත. අසා දැනගන්නට කාත් කවුරුවත් මෙලොව නැත. තවත් සමහරු ජීවිතේට අයිඩෙන්ටියක් හදා නැත. උන් බහුතරයකට ඉන්ඩ හිටින්නට තැනත් නැත. ගෙයක් ලිපිනයක් නැත. තේරෙන සිංහලෙන් කීවොත් ඇඩ්ඩ්‍රස් නැත. අලුත් අයිඩෙන්ටියක් හැදීම සඳහා දීමට ඔවුන්ට ලිපිනයක් නැති නිසා ග්‍රාමසේවකට මෙහිදී කළ හැකි දෙයක් නැත.

මේ වන විට මා විසින් මිතුරු සෙවණට සහනය සොයා පැමිණි හොඳින් එහි පුනරුත්ථාපනය වුණු දහයකට වැඩි පිරිසකට මිතුරු සෙවණ ලිපිනය යටතේ තම ජාතික හැඳුනුම්පත ලබා දී ඇත. අපේ වසමේ ග්‍රාමසේවක නන්දන මහතා ඒ වෙනුවෙන් ලබා දුන් සහය අද්විතීය බව කිව යුතුය.

රට පැනීමට රස්සා කිරීමට හෝ තවකෙකු රැවැට්ටීමට ව්‍යාජ සහතික හැදුවත් කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා හොර සහතික හදන්න උත්සාහ කරන අයද අප රටේ සිටී. ඒ මේ මහපොලවේ ජීවත්වීමට අනන්‍යතාවයක් සපයා ගැනීමටයි.

අප දන්නා බම්බලපිටියේ ඇන්තනී එවැන්නෙකි. කුඩා කාලයේදීම තම දෙමාපියන් වෙන්වීම නිසා ඔහුව හදා වඩා ගත්තේ තම වයෝවෘද්ධ සීයා සහ ආච්චි විසිනි. ඔහුව අධ්‍යාපනය සඳහා යොමු කළේද ප්‍රොපට්ලා බිහිකරන ගාලු පාර අයිනේ පිහිටි උසස් පාසලකටය. ළමා කාලයේ ඇන්තනී වරෙක පිටරටකටද ගොස් ඇත. නමුත් මැදි වයසේ පසුවන ඔහුට අද කාත් කවුරුත් නැත. ඔහුගේ අනන්‍යතාව පෙන්වීමට කිසිදු ලිපියක් ලියවිල්ලක් නැත. උපන් දිනය ඔහු දනිතත් ඔහුට අනුමාන උප්පැන්නයක් හෝ නැත ඔහු උගත් පාසලින් කියන්නේ හැට ගණන්වල ලිපිගොණු වේයන් කා විනාශ වී ඇති බවයි. අදාළ රජයේ නිලධාරීන්ගෙන් කීපවිටක්ම අප අසා සිටියක් ඔවුන් කියන්නේ අහවල් අහවල් තැන්වලට ගොස් අනුමාන උප්පැන්න සහතිකයක් ලබාගන්නා ලෙසයි. එවැනි තැන් කීපයකටම ගියද සාර්ථක පිළිතුරක් නැත.

මෙවැනි උප්පැන්න නැති, අයිඩී නැති, ඇඩ්ඩ්‍රස් නැති පුද්ගලයන් අනන්තවත් මේ පින් බිමේ ජීවත් වෙති. ගෙයක් දොරක් නැති, හව්හරණයක් නැති, අනන්‍යතාවක් නැති ඔවුන්ට අඩුමගානේ විශේෂ හැඳුනුම්පතක් හෝ නිකුත් කිරීමට රජය ක්‍රියා කළ යුතුය. නැත්නම් ඔවුනට වන්නේ නිතර නිතර සැකපිට සිරගතවීමටයි.

පසුව ලියමි.

උප්පැන්න අයිඩෙන්ටි පාස්පෝර්ට් මෙන්ම පිටරට යෑමේදී අනිවාර්ය වන කොරෝනා එන්නත් සහතිකද (Certificate of COVID – 19 vaccination) දැන් ව්‍යාජ ලෙස ලබා ගත හැකි බව මට පැවසුවේ මට තොරතුරු සපයන අපේ ඉත්තෙක් විසිනි. ඔහු කීවේ මහත්තයෝ ඇමෙරිකන් ෆයිසර් තියා ‘සිනෝෆාම්’ එකවත් ගහල තියෙන්න ඕනි නෑ.

තුනම ගැහුවයි කියල ස්මාර්ට් කෝඩ් එකත් එක්කම ඩිජිටල් සහතිකෙත් දැන් අත යටින් ගන්න පුළුවන් බවයි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment