කවිය සහ කවියා වෙනුවෙන් අ.ත.ක.ස.දිගටම සටන් කරනවා – අ.ත.ක.ස. සභාපති ප්‍රණීත් පෙරේරා

147

ළමා පරපුර කවි රසයෙන් සන්නද්ධ කළ යුතුයි

අපට කාගෙන්වත් කවි ඉගෙන ගන්න දෙයක් නෑ

සම්මානලාභීන් තේරුවේ ඇගයීම් මණ්ඩලයකින්

87 වැනි සංවත්සරය 24 වැනිදා

පාසල් පෙළපොතෙන් සඳැස් කවි අයින් කරලා

අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) 87 වැනි සංවත්සරය මේ මස 24 වැනිදා සවස 2.30ට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නව ශාලාවේ දී පැවැත්වෙයි. එය නිමිති කරගෙන අ.ත.ක.ස වත්මන් සභාපති ප්‍රණීත් පෙරේරා කවියා සමග කළ සංවාදයකි මේ.

● මෙවර උත්සවය සංවිධානය කරලා තියෙන්නේ මොන විදිහට ද?

ළමයින්ට කවි රසය දිය යුතුයි කියන පරමාර්ථයෙන් තමයි අපි පසුගිය වසර කිහිපයේම වැඩ කළේ. ඒ නිසා මෙවරත් ළමා වැඩසටහන් කිහිපයක්ම ඇතුළත් කරලා තිබෙනවා.ඒ වගේම කරුණාරත්න අරන්දර ජ්‍යෙෂ්ඨ කවියාගේ කවි කතාවක් තියෙනවා. ඉදිරියේදී රූපවාහිනියකින් ප්‍රදර්ශනය කිරීමට නියමිත අ.ත.ක.ස හදන ‘කවි නළුවේ‘ පළමු කොටස එදින වේදිකාගත කරනවා. ඒ වගේම අ.ත.ක.ස ප්‍රධාන සම්මානය වන ‘කිවිපති‘ සම්මාන තුනක්, ගුණානුස්මරණ සම්මාන තුනක් ඇතුළු සම්මාන අටක් ප්‍රදානය කරනවා. ‘අපේ හපන්නු‘ තේමාව යටතේ සහතික පත් 15කුත් කවි කිවිඳියන්ට ප්‍රදානය කරනවා. චන්දන වික්‍රමසිංහයන්ගේ විචිත්‍රවත් නැටුම් උළෙලට ඇතුළත්. ඒ වගේම රටේ දක්ෂ කවි කිවිඳියන් 10දෙනකු සහභාගි වන කවිමඩුවක් ද පවත්වනවා.

● සම්මානලාභීන් තෝරා ගැනීමේ පදනම මොකක් ද?

සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් කිවිපති විමල් රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ඇගයීම් මණ්ඩලයක් තිබෙනවා. ඒ හරහා තමයි සම්මානලාභීන් තෝරාගන්නෙ. කවිත්වයට තිබෙන දක්ෂතාව, ලියා ඇති කවි පොත්, මුහුණු පොතේ දී පවා කවිය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා, කවියේ අභිවෘද්ධියට කළ සේවය ආදී කාරණා එම ඇගයීම් මණ්ඩලය විසින් සලකා බලා තමා සම්මානලාභීන් නිර්දේශ කරන්නෙ.

● වර්තමානයේ කවි සමාජ ගැන අ.ත.ක.ස.ට තිබෙන කියවීම මොනවගේ ද?

අද වනවිට කවි සමාජ බොහොමයක් තියෙනවා. අපි ඔවුන්ට සහ ඔවුන් කරන කාර්යන්ට සුබ පතනවා. නමුත් කවිය සහ කවියා නිවැරදි නායකත්වයක් යටතේ නියමිත ස්ථානය කරා ගෙන යන්නේ අ.ත.ක.ස.යි. අ.ත.ක.ස. වෙන කවි සමාජවල අභ්‍යන්තර ගැටලු හාරා අවුස්සන තැනක් නෙවෙයි. කවීන්ගේ දක්ෂතාවලට මුල්තැන හා අවස්ථාව දීම තමයි අපේ අරමුණ. දක්ෂයන්ගේ තෝතැන්න තමයි අ.ත.ක.ස ය. අපි කවියට වැඩ කරනවා. එච්චරයි.

● අ.ත.ක.ස. හිටිවන කවිය සම්බන්ධයෙන් දරන ස්ථාවරය මොකක් ද ?

හිටිවන කීම බොහොම අමාරු කටයුත්තක්. ඔවුන් පරදින්න කැමැති නැහැ. තරගකාරීව අනෙකාට ප්‍රතිඋත්තර දක්වනවා. ඒ නිසා අ.ත.ක.ස ජ්‍යෙෂ්ඨ, තරුණ, ළමා, හිටිවන කවියන් බිහි කරමින් කවි රසය රසිකයන් අතරට ගෙනියනවා.

● අ.ත.ක.ස වැඩි ප්‍රමුඛත්වය දෙන්නේ ලියන කවියට ද හිටිවන කවියට ද?

අපි ප්‍රමුඛත්වය දෙන්නේ ළමා හා තරුණ කවි පරපුරක් බිහි කරන්නයි. එහෙම නැතුව කවියට පැවැත්මක් නෑ. එහෙම කරනකොට හිටිවන කවින් වෙනමත් ලියන කවීන් වෙනමත් බිහිවේවි.

● අ.ත.ක.ස. ප්‍රධාන නිලධාරීන්ගේ කවිත්වය මොනවගේ තලයක ද තියෙන්නේ?

අපේ නිලධාරීන් සියලු දෙනාම කවිය පිළිබඳ හසල අත්දැකීම් තියන අය. 1982 ඉඳන් මගේ කවි පුවත්පත්වල පළ වෙලා තියෙනවා. මගේ හැම දේශනයකදීම වගේ මම කවියක් දෙකක් කියනවා. මම වගේම සම ලේකම්වරුන් වන අනුර හෑගොඩ හා ආසිරි විජේසේකරත් කවි පරිසරයක හැදුනෙ. අපට කවිය කාගෙවත් ඉගෙන ගන්න දෙයක් නෑ. මගේ සීයා බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා, තාත්තා නව යුගය හා සරසවිය පුවත්පත් දෙකේම පළමු කර්තෘ මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ විමලසිරි පෙරේරා. ඒ වගේම විල්සන් හෑගොඩ කවියාගෙ පුතා තමා අනුර හෑගොඩ. ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදකයකු වූ සේසිරි විජේසේකරගේ පුතා තමයි ආසිරි. අපි තුන්දෙනා ම හැදුණේ පියවරුන්ගේ අඩිතාලමේ.

● මං ඇහුවෙ පියවරුන්ගෙ කවීත්වය ගැන නෙවෙයි, ඔබලාගේ කවීත්වය මොනවගේ තලයක ද තියෙන්නෙ කියලා?

මම නිර්මාණ කර කර ‘මං ලොක්කෙක්‘ වෙන්න නෙමේ මගේ අරමුණ. අපට ඕනේ නව පරපුරට තැන හදන්න. අ.ත.ක.ස ප්‍රධාන නිලධාරීන්ගේ තේමා පාඨයේ තමයි ‘අපි ලොක්කෝ නොවෙමු – පොඩ්ඩන්ට තැන දෙමු’ යන්න. ඒ කිව්වේ දක්ෂයන්ට තැන දෙන එක තමයි අපේ අරමුණ. එහෙම නැතුව අපි බැබළෙන එක නෙවෙයි.

● ඔබ එහෙම කවිය බබළවන්න මොනවද කරලා තියෙන්නේ?

ගමේ පන්සලේ, සල්පිලේ කවි කියපු කවි කිවිඳියන්වත් ‘තරු පහේ‘ හෝටල්වල කවිමඩු දක්වා ගෙන යන්න අපට පුළුවන් වුණා. කවියා දුප්පත් වුණත් කවීත්වය පොහොසත් බව ඒ හරහා අපි පෙන්නුවා. කවිය රඳා පවතින්නේ ඉදිරි පරම්පරාව කවියට යොමු වුණොත් විතරයි. ඒ නිසා ළමා හා තරුණ කවීන්ට අපි විශේෂ අවස්ථාවක් දෙනවා. පාසල්වල කවි වැඩමුළු එකසිය පනහකට වැඩිය කරලා තියනවා. ඒවායින් හඳුනාගත් දක්ෂයන් ජාතික තලයට ගෙනත් තියනවා.

● ළමයින් හා තරුණයන් ගැන කතා කරන ඔබ මින් පෙර නිලතල දැරූ අ.ත.ක.ස. ජ්‍යෙෂ්ඨයන්ට නිසි තැන දීලා තියෙනව ද? අඩුම ගානේ ආරාධනා කරලා තියෙනවද මේ උත්සවයට?

අපි කවදත් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරනවා. අ.ත.ක.ස. කලින් සම ලේකම් ධුර දැරූ නන්දසේන පලිහක්කාර, ධර්මශ්‍රී මුද්දුවගේ ඇතුළු සියලු ජ්‍යෙෂ්ඨයන්ට ආරාධනා කරලා තියෙනවා. හිටිවන කවියේ වත්මන් ජීවමාන උල්පොත වන කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ කවියා ඉන්නෙත් අ.ත.ක.ස. සමගයි.

● ඔබ සභාපති වූ පසු තාත්තලගෙන් පුතාට තනතුරු ලැබෙන විදිහට අ.ත.ක.ස ව්‍යවස්ථාව වෙනස් කළ බවට කතාවක් තියනවා?

ඒක පට්ටපල් බොරුවක්. ඕනෑම වෙලාවක සභාපති ධුරය අතාරින්න මම ලෑස්තියි. අපේ විධායක මණ්ඩලයේ බලවත් ඉල්ලීම මත තමයි මම තවමත් ඉන්නෙ. ඔවුන්ට මගේ නායකත්වය විශ්වාසයි. නමුත් මේ වෙලාවේ කියන්න ඕනේ මගේ පුතා අ.ත.ක.ස ළමා බළකායේ හිටපු සභාපති බව. ඔහු පත්වුණේ සුදුසුකම් මත. ඔහුට සංගීත විශාරද තනතුරු තුනක් තියෙනවා. ඊට අමතරව කවියෙන් නව කතාවක් ලියලා තියනවා. කවි පොත් දෙකක් ලියලා තියෙනවා. ඒ නිසා තවත් එවැනි දක්ෂයන් ඉන්නවා නම් ඔවුන්ටත් අ.ත.ක.ස.යේ නිලතල ලැබේවි.

● අ.ත.ක.ස. උත්සවවලට හිටිවන කියන්න කවි කිවිඳියෝ ‘ආනයනය‘ කරනවා ද?

ආනයනය කරන්න දෙයක් නෑ, මම සියලු ම කවි කිවිඳියන්ට ආරාධනා කරනවා අ.ත.ක.ස. සමග එකතුව ගමනක් යන්න එන්න කියලා.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළ එක්කම කවි සමාජය අ.ත.ක.ස.යි.නිවැරදි නායකත්වයක් තියෙන, කිසිම දේශපාලන පක්ෂයක් නැති, දක්ෂයින්ට නිසි තැන දෙන අ.ත.ක.ස සමග එකතු වෙන්න කියලා අපි සියලු කවීන්ට ආරාධනා කරනවා. දක්ෂයින්ට අ.ත.ක.ස.යේ දොර ඕන වෙලාවක ඇරිලා.

● මෙම උත්සවයට රජයෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

මේක රටේ ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක්. ඒ නිසා අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඔවුන්ට හැකි උපරිමයෙන් සහාය දෙනවා.

● අවසාන වශයෙන් අ.ත.ක.ස ඉලක්කය මොකක් ද?

පාසල් පෙළපොත් තුළ තිබුණ සියලු සඳැස් කවි පන්ති වගේ මේ වනවිට අයින් කරලා තියෙන්නෙ. ජී. එච්. පෙරේරා සූරින්ගේ ‘කුරක්කන් හේන‘ කවි පන්තිය, පී. බී. අල්විස් පෙරේරා කවියාගේ ‘මගේ රට‘ කවි පන්තිය දැන් පෙළපොත් තුළ නෑ. ඒ අනුව බැලුවත් පාසලෙන් කවිය ඈත් වෙමින් පවතින්නෙ. ඒ නිසා ළමා පරපුර කවි රසයෙන් සන්නද්ධ කිරීම මගේ ප්‍රධාන අරමුණයි. කවිය සහ කවියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අ.ත.ක.ස හැමදාම සටන් කරනවා. රටේ සියලු කවි කිවිඳියන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම සියලු රසිකයන්ට ආරාධනා කරනවා 24 වැනිදා අ.ත.ක.ස සංවත්සරයට එන්න කියලා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment