දරුවන්ට කොරෝනා වැළඳුණ විට

348

හදිසි අවස්ථාවකදී 1390 දුරකථන අංකය අමතන්න

 කොවිඞ් 19 වෛරස රෝගය මේ වනවිට කුඩා දරුවන් අතර ද වේගයෙන් පැතිරයන්නට පටන්ගෙන ඇත. එසේම කොවිඞ් නිසා දරුවන් කිහිප දෙනකු ද මරණයට පත්ව තිබේ. මෙම තත්ත්වය මත කුඩා දරුවන් සිටින දෙමාපියන් තම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

 කුඩා දරුවන්ට කොවිඞ් ආසාදනය වූ විට

 වයස අවුරුදු 02 ත් 15 ත් අතර වියේ පසු වන දරුවන් විශාල පිරිසක් මේ වනවිට කොවිඞ් රෝගය ආසාදනයට ලක්ව සිටිති.

 ඔවුනට කොවිඞ් වැළඳුණ විට මතු වන්නේ උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයය. සෙම, සොටු ගැලීම, උණ ඇති වීම, ඇඟපත වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ බහුලව පෙන්නුම් කරයි.

 නිධන්ගත රෝග ලෙස සැලකෙන ඇදුම, හෘද රෝග වැනි බරපතළ රෝගාබාධ නොමැති දරුවන් කොවිඞ් රෝගය නිසා මියයෑමේ අවදානම අඩුය.

 මේ වනවිට කොවිඞ් රෝගය වැළඳුණ දරුවන් විශාල පිරිසක් රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබති. මෙම තත්ත්වය මත දරුවන්ට කොවිඞ් රෝගය ඇතිවීමේ අවස්ථාව අඩුකර ගැනීම සඳහා දෙමාපියන් වැඩිහිටියන් නිසි සෞඛ්‍යාරක්ෂක ක‍්‍රම අනුගමනය කිරීමට වැඩි අවදානමක් යොමු කළ යුතුය.

 බොහෝ දරුවන්ට කොවිඞ් ආසාදනය වී ඇත්තේ තම සමීපතම වැඩිහිටියන් ගෙනි.

 කොවිඞ් රෝගය නිසා දරුවන්ට ඇති වන බරපතළ රෝග වනුයේ වමනය යෑම, බඩඑළිය යෑම, අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදියයි.

 මෙවැනි රෝග ලක්ෂණ නොමැති දරුවන් සහ නිධන්ගත රෝග නැති දරුවන්ට නිවසේ සිට ප‍්‍රතිකාර ලබාදීමට මේ වනවිට වෛද්‍යවරු උපදෙස් ලබා දෙති.

 එහිදී තම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් මත පැය 24 පුරා සිදු කරන නිරීක්ෂණය යටතේ දරුවන් නිවසේ තබා ගෙන ප‍්‍රතිකාර ලබාදිය හැකිය.

 එවැනි දරුවන් අතර යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් වහාම ඒ ගැන ද දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට 1390 දුරකථන අංකය භාවිත කළ හැකිය.

 නිවසේ ප‍්‍රතිකාර ලබන දරුවන්ට අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර ලෙස පවසන්නේ විවේකය, සමබර ආහාර වේලක් ලබාදීම, දියර වර්ග පානයට දීමය.

 මද උණක් මතු වුවහොත් දරුවාගේ බර අනුව පැරසිටමෝල් මාත‍්‍රාවක් ලබාදිය හැකිය. වෙනත් ඖෂධ වර්ග ලබාදීම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතය.

 දරුවා නිවසේ ප‍්‍රතිකාර ලබන අතර දින දෙකකට වඩා උණ පවතී නම්, ආහාර අරුචිය, සිරුරේ ලප කැලැල් මතුවීම, වමනය, බඩඑළිය යෑම, හුස්ම

 ගැනීමේ අපහසුතා මතුවේ නම් වහාම රෝහල්ගත කිරීමට පියවර ගත යුතුය.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment