දුෂ්කර අවදියේ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වූ අසල්වැසියා

206

කඩාවැටුණු ආර්ථිකයෙන් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට මූලිකත්වය ගනු ලැබුවේ කාන්තාවන් තිදෙනකු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් නම් සඳහන් කළ කාන්තාවන් තිදෙනා අතරින් පළමු ස්ථානය හිමි කර ගත්තේ ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම් මහත්මියයි.

අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයට ජනාධිපතිවරයා විසින් නම් කරන ලදී. ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළේ මෙම කාන්තාවන් තිදෙනා නොසිටින්නට ශ්‍රී ලංකාව මීට වඩා භයානක අර්බුදකාරී තත්ත්වයට පත් වන බවයි.

නිර්මලා සීතාරාම් මහත්මිය තමයි ඉන්දීය අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයයි එක්ක කතා කරලා, ලංකාවට ඩොලර් බිලියන 3 ක් ණය දෙන්න කියලා තීරණයක් ගත්තේ. මේ තීරණය ගත්තේ අපි ඇත්ත වශයෙන්ම බංකොලොත් වුණා කියලා ප්‍රකාශ කරායින් පස්සේ. මම හිතන්නේ බංකොලොත් වුණ රටකට ණය දෙනවා කියන එක හරි නිර්භීත ක්‍රියාවක්. පළමුවෙන්ම අපි එතුමියට ස්තූති කරන්න ඕනේ. පසුගිය මාස තුන හතරේ බිලියන 3 නොතිබුණා නම් රටේ මොකද්ද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කළ රටවල් අතරින් පළමු ස්ථානය හිමි කර ගත් රට බවට ඉන්දියාව පත් වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට පූර්ණ සහය දැක්වූ පළමු රට ඉන්දියාව

පෙර නොවූවිරූ අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ ජනවාරි මස 23 දා නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැවීමත් සමග එම කටයුතු සුබවාදී දිශානතියකට යොමු විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ කඩිනම් වීමක් ඉන් අනතුරුව සිදු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිටි චීනයේ අනම්‍ය ස්වාභාවය ලිහිල් කිරීමට ඉන්දියාවේ තීරණය හේතුවක් විය. මේ නිසාම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

ඉන්දියාවේ සුබවාදී ආරම්භයත් සමග චීනය ඇතුළු සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති අතර, එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක, සිව් අවුරුදු මූල්‍ය පැකේජයක් සඳහා මාර්තු 20දා අවසන් අනුමැතිය ලබා දීමට වේදිකාව සකසා ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4 කට වඩා ප්‍රමාණයක ණය ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සීම් බැංකුව විසිනි. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා චීනයෙන් මුලදී යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීම නිසා එහි කටයුතු ප්‍රමාදයකට හා අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත විය.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය අනුගමනය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය පළමු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙසට සාර්ක් රාජ්‍ය නායකයන්ට සහ මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමෙන් මෝදි අගමැතිවරයාගේ කලාපීය සහයෝගිතාවයේ නැඹුරු බව පිළිබිඹු කරයි. ඒ අනුව ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකර දී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ ඵලදායි නොවන විදේශ ණය මත යැපුණු යෝධ ව්‍යාපෘතීන්ය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති සඳහා චීන බැංකුවලින් අධික පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම ශ්‍රී ලංකාවට ආර්ථික මෙන්ම දේශපාලනිකව ද මහත් කැළඹීම් ඇති කරන කාරණයක් විය. එවැනි අර්බුදකාරී තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනිමට ඉදිරිපත් වූ පළමු රට බවට ඉන්දියාව පත් විය. ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 51කට අධික විදේශ ණය සඳහා ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කළේය. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල් දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 4 කට ආසන්න වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

2022 ජනවාරි මාසයේදී මූල්‍ය අර්බුදය දිග හැරෙන්නට පටන් ගැනීමත් සමඟ ක්ෂය වූ විදේශ සංචිත ගොඩනඟා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ප්‍රදානය කරන ලදී. පසුව අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දුන්නේය. අර්බුදය උත්සන්න වීමත් සමග මෙම ණය පහසුකම පසුව ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා පුළුල් කරන ලදී.

ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරය

පසුගිය ජනවාරි මස 19 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තම සහයෝගීතාව පලකිරීම මෙම සංචාරයේ මූලිකම අරමුණ බව ජයශංකර් මහතා පවසා සිටියේය. අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය මත පිහිටා ඉන්දියාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් ඉන්දියාව පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ණය මූල්‍ය පහසුකම් සපයා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

‘ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති මග පැහැදිලි කිරීම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතික ලබා දුන්නා. මේ මගින් අපි අපේක්ෂා කරන්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොව සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි.

දේශීය කිරි නිෂ්පාදන වැඩි කිරීමට ඉන්දීය සහය

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත. ඒ සඳහා අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ඉන්දියානු අමුල් කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.

ඩොලර් අර්බුදයට ඉන්දීය රුපියල් භාවිතයට දෙරට අතර සාකච්ඡා

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන දැඩි විදේශ සංචිත හිඟය මගහරවා ගැනීම සඳහා වන එක් විසඳුමක් වශයෙන් ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවට ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසක වටිනාකමට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබා ගැනීමට අවසර දෙමිනි. මේ අනුව ඇමරිකානු ඩොලර් භාවිතයකින් තොරව ඉන්දීය රුපියල් මගින්ද ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි. ඩොලර් ද්‍රවශීලතා හිගය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සිය ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර කිරීම සඳහා මෙය බෙහෙවින් උපකාරී වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකර සිටිති.

මෙම තීරණය මගින් අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන වෙළඳාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්බුදකාරී අවස්ථාවේදී සුවිශේෂී වාසි හිමිවනු ඇති බවට විශ්ලේෂකයෝ මත පළකරති. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව සමග වෙළඳ ගනුදෙනුවලදී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට මෙය මහඟු උපකාරයක් වනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් මත පළකර සිටියි. විදේශ විනිමය සඳහා ඩොලර් හිඟ ශ්‍රී ලංකාව ඉන්දියාව සමග රුපියල්වලින් ගනුදෙනු ආරම්භ කළහොත් එය මෙරට තුළ වෙනම ආර්ථික ප්‍රගමනයක් ඇති කරන අවස්ථාවකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ඉන්ධන, කිරිපිටි, ඖෂධ ඇතුළු අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයේ දී ශ්‍රී ලංකාවේ මුදලින් ගෙවන්නට අවස්ථාව ඇති කරගතහොත් එය සුවිසාල පහසුකමකි. දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකිකයන්ට ඉන් මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment