සරා ගී දුලීකා වුණා නම් මරු… මම නිහඬ නෑ මාව නිහඬ කරන්නත් බෑ!

255

මගේ පේජ් හැක්; නිතරම CID එකෙන් ගෙන්නුවා…
වෙනස්ම හැඩයකින් ප්‍රසංග වේදිකාවට එනවා…

ඒ රංගනයට පූර්විකා අවැසි නොමැත. මේ පොළොව මත වූ යථාර්ථයට ආවේෂ වෙලා එය රූපණයට නඟන්න හැකි ප්‍රතිභාවක් සහිත ශිල්පිනියක් බිහිවන්නේ කලාතුරකිනි. අද දවසේ අපේ කථානායිකාවත් එවැනිම චරිතයකි. සියලු දෙනාගේ ආදර ගෞරවයට පාත්‍රවූ ඇය නිරන්තරයෙන් සෘජුව තම අදහස් ප්‍රකාශ කරන කලාකාරිනියකි. පසුගිය කාලය පුරාවට අරගලය තුළින් දුටු ඇය හිටිහැටියේම නිහඬ විය. ඒ නිහඬ බවට ලොකු හේතුවක් ඇති වග අපට හැඟිනි. ඔන්න දැන් ඇය ඒ නිහැඬියාව බිඳිමින් හඬ අවදි කරන්න සැරසෙයි. ඒ පුංචි තිරයේවත් රිදී තිරයේවත් නොමැති නම් රඟහලේ තිරය ඇරීමෙන්වත් නොවේ. ප්‍රසංග වේදිකාවේ තිරය ඇරීමෙනි. ඇත්තටම දුලීකා මාරපන මෙදා සෑරේ කරන්න සැරසෙන මාර වැඩේ මොකක්ද?

● ඇයි මේ රඟපෑම ගැන කලකිරිල ද? ගායනයට එන්න හදන්නේ?

නැහැ නැහැ. කලකිරීමක් නෙමෙයි. ඇත්තම කියනවා නම් මම රංගනයට එන්න කලින් ගායනය තමයි හැදෑරුවේ. මට ඕනෑ වෙලා තිබුණේ ගායිකාවක් වෙන්න. මගේ අම්මාගේ හීනය වුණෙත් මාව ගායිකාවක් කරන්න. රංගනය කියන විෂයය මම විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ මුණගැසුණු විෂයයක්. මම ඉස්කෝලෙ ඉන්න කාලේ ගායනය සහ චිත්‍ර විෂයයට තමයි වැඩිපුර දස්කම් දැක්වූයේ. මම නන්දා මාලනී මිස්ගෙන් රාගධාරී සංගීතය හැදෑරුවා. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙත් මම සංගීතය හැදෑරුවා. නමුත් එකම දේ වුණේ මම බලාපොරොත්තු නොවුණ විදිහට රංගනය පැත්තට යොමු වුණා. ඒ පැත්තෙන් මගේ පාර සැකසුණා. ඒ පාරේ ගමන් කළා. නමුත් ඒ කාලය තුළත් මම ගායිකාවක් විදිහට සම්බන්ධ වුණා. ‘සඳ අමාවකයි’, ‘කාලය සොයන ගීතය’, ‘සුධීරා’ වගේ ටෙලි නාට්‍යවල මම තේමා ගීත ගායනා කළා. ඊට අමතරව චිත්‍රපටයකත් මම තේමා ගීතය ගායනා කළා. නමුත් මම පූර්ණ කාලීනව ගායිකාවක් හැටියට ඉන්නවට වඩා රංගන ශිල්පිනියක් හැටියට කාර්යබහුල වුණා. ඊට පස්සෙ ඒ ගමන සුබයි කියලා, මම ඒ ගමනේ හිටියා. මගේ ලොකුම හීනය තිබුණේ, මට මගේම කියලා ගීත ටිකක් කියන්න ඕනෑ වුණා. ඒ කාලේ මම ප්‍රසංග වේදිකාවල සින්දු කිව්වා. නමුත් මේ හොඳම අවස්ථාව කියලා හිතුණා නැවත වතාවක් මගේ ගීත ටිකක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. ගීත තුනක් මේ වෙනකොට කරලා ඉවරයි.

සරාගී නමින් පසුගිය 01 වැනිදා පළමු ගීතය එළිදැක්වූවා. මේ වැඩේට මාව තල්ලු කළේ සුජීව වගේම මගේ හිතවත් මිත්‍රයෙක් වුණු සංජය වෙදආරච්චි කියන ගී පද රචකයා

සරා ගී දුලීකා වුණා නම් මරු... මම නිහඬ නෑ මාව නිහඬ කරන්නත් බෑ!

● මේ ගීත ත්‍රිත්වය නම්කරලා තියෙන්නේ කොහොමද?

පළමු ගීතය සරාගී. සරාගී කියලා කියන්නේ විරහව සීමාවක් නැතිව වින්ද කාන්තාවක්. මේ ගීතය පුරාවට නයිට් ලයිෆ් එකක්. මේක සම්ප්‍රදායික ගීත තුනක් නෙමෙයි, එකිනෙකට වෙනස් එකක්. කෙනෙක් කියන්න පුළුවන් ගැහැනියක් ඇයි මේ නයිට් ක්ලබ් යන්නේ කියලා. මේ ගීතය ඇතුළේ කතා කරන්නේ ඒ ගැන තමයි. නයිට් ලයිෆ් එක තමයි සරාගී ගීතය පුරාවටම තියෙන්නේ. ඇත්තටම මේ ගීතය හරිම සරාගී. ගීතයේ පද රචනය සංජය වෙදආරච්චිගේ. සංගීතය තුසිත් සම්පත්. මගෙන් සාම්ප්‍රදායික දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. මම හැමවෙලේම වෙනස් විදිහට හිතන කෙනෙක්.

දෙවැනි ගීතය තමයි මුහුණු පොතේ ආදරය. ඒක ලිව්වෙත් සංජය වෙදආරච්චි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු ගොඩක් තියෙනවානේ. මුහුණු පොතත් එක්ක බැඳිච්ච ජීවිතවල කතාවක් තමයි මුහුණු පොතේ ආදරයෙන් කතා කරන්නේ.

තුන්වන ගීතය ‘සිත්තර රූ මේ අහන්න’ ගීතය. ඒකත් ලිව්වේ සංජය වෙදආරච්චි

සරා ගී දුලීකා වුණා නම් මරු... මම නිහඬ නෑ මාව නිහඬ කරන්නත් බෑ!

● සරාගී ගීතය සරාගී විදිහටම නේද කරලා තියෙන්නේ?

අනිවාර්යයෙන්ම සරාගී වෙන විදිහකට පෙන්වන්න බැහැනේ. ඒක සරාගී විදිහටම පෙන්වන්න ඕනෑ. ඕක මම ගිහිල්ලා පන්සලක් හෝ බෝධියක් ඉස්සරහ වැඳගෙන සරාගී කිව්වම වැඩක් වෙන්නේ නැහැනේ. රුවන්වැලි සෑයට ගිහිල්ලා සරාගී කියන්නත් බැහැ. සංදේශ් බණ්ඩාර තමයි රූප රචනාව සිද්ධ කළේ.

● පෙනුම එහෙම සෑහෙන වෙනස් කළා නේද?

සරාගී ඇතුළේ නිරූපණය කරන්නේ වෙනස්ම චරිතයක්. රංගන ශිල්පිනියක් විදිහට මට හරි පහසුයි. විවිධ චරිත නිරූපණය කරන්න සිද්ධ වෙනවා. මේ රූප රචනාවට සම්පූර්ණයෙන් මගේ ස්වරූපය වෙනස් කර ගත්තා. බර, හැඩය පවා වෙනස් කර ගත්තා.

● දුලීකා ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නයි හදන්නේ?

පැහැදිලිවම තියෙනවා. ඒක මගේ අවශ්‍යතාවය වගේම කැමැත්ත. වේදිකාවට, සිනමාවට, රූපවාහිනියට වගේම ප්‍රසංග වේදිකාවටත් අනන්‍ය වූ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔවුන් මගෙන් මගහැරිලා තියෙනවා. ඉතින් ඒ මගහැරුණු ප්‍රේක්ෂකයෝ ටිකත් ළං කර ගන්න මට ඕනෑ වුණා. ඒක හින්දම තමයි නැවත වතාවක් වෙනස්ම හැඩයකින්, වෙනස්ම විදිහකින්, වෙනස්ම නිර්මාණ ගොන්නක් එකක් ප්‍රේක්ෂකයන් අතරට යන්න හිතුවේ.

● මේ හැරවුම ගැන සුජීව මොනවද කිව්වේ?

සුජීව ඉතාම කැමැතියි. සුජීව දන්නවා මම අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට, අවශ්‍ය තැනදී කරනවා කියලා. මගේ ඇත්ත ජීවිතයේ චරිතය ගත්තොත් මම එක මොහොතක්වත්, එක තත්පරයක්වත් එක විදිහකට ඉන්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම හැම වෙලේම නැළවෙන, නටන, දඟලන චරිතයක්. ප්‍රසංග වේදිකාව කියන්නේ මිනිසුන්ව නටවන මිනිසුන්ව තෘප්තිමත් කරන වෙනස්ම මාදිලියේ මාධ්‍යයක්.

● මේක ඔබේ ජීවිතයේ ලොකු හැරවුමක් නේද?

මේක වෙනස්ම හැරවුමක් වේවි. මමත් ආසයි ඒ අත්දැකීම ලබන්න. මම හැම වෙලේම වෙනස් වෙන්න කැමැති චරිතයක්. මම එකම විදිහකට ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. මගේ හඬ වෙනස්. මට බේස් වොයිස් එකක් තියෙන්නේ. හැම කාන්තාවක්ම බලන්නේ හරි මිහිරි, සුමියුරු කටහඬක් ගන්න. මා ගාව තියෙන්නේ නැටවෙන බර හඬක්. ඒක නිකම්ම තියාගෙන වැළලිලා යන්නේ ඇයි. මම ඒකෙන් වැඩක් ගන්න එපායැ.

● ප්‍රසාංගික වේදිකාව මොන විදිහටද ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙන්නේ.

කොහොම වුණත් මට ආමන්ත්‍රණය කරන්නේ දුලීකා කියලනේ. හැබැයි මගේ පළමුවැනි ගීතය සරාගී හින්ද සරාගී දුලීකා වුණා නම් මරු. එහෙම වෙන්නත් බැරි නැහැ.

● ඉදිරියේදී ප්‍රසංග භාර ගන්නවාද?

ඔව්. මම අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මම ඉස්සර වගේ ටෙලිනාට්‍ය එක්ක ගොඩක් කාර්යබහුල වෙන්නේ නැහැ. තෝරගත්ත එක නාට්‍යයක් වගේ තමයි කරන්නේ. එක කාලයකට එක නාට්‍යයක්. කොහොමත් මට ඉස්සර වගේ ටෙලිනාට්‍ය ගොන්නක් භාර ගන්න පෙරේත කමක් නැහැ.

● කලකිරීමක් එහෙම තියෙනවද?

අපොයි නැහැ. මම ජීවිතේ කලකිරෙන මනුස්සයෙක් නෙමෙයි. මුහුණ දෙන හැම තත්ත්වයකටම ඒ තත්ත්වයට ගැළපෙන්න සූදානම් වෙන එක්කෙනෙක් මම. හැබැයි මම ටෙලිනාට්‍ය වගේම චිත්‍රපට නිෂ්පාදන කාර්යයේ තවම නියැළී ඉන්නවා. ඒවා ඇතුළේ මම රඟපානවා ද නැත්ද කියලවත් තවම තීරණය කරලා නැහැ.

සරා ගී දුලීකා වුණා නම් මරු... මම නිහඬ නෑ මාව නිහඬ කරන්නත් බෑ!

● අරගලයේ හිටපු දුලීකා එක්වරම නිහඬ වුණේ ඇයි?

නිහඬ වෙන්න හේතුව තමයි මම හැමවෙලේම නියෝජනය කළේ මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ පාර්ශ්වය. කලාකාරයෙක් හැටියට මම තෝරාගන්නේ ජනතාවගේ පාර්ශ්වය. පාලකයාගේ හෝ පක්ෂයක පාර්ශ්වයක් මම නියෝජනය කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කැමැතියි අපිව මොකක් හරි කුලකයකට තල්ලු කරලා දමන්න. හැබැයි මම අදත් කියනවා, එදත් කියනවා, හෙටත් කියනවා මම පක්ෂකයක් එක්කවත් පක්ෂ ප්‍රතිපත්ති එක්කවත් ගනුදෙනු කරලා නැහැ, කරන්නෙත් නැහැ. පක්ෂ එක්ක ගනුදෙනු නොකරන නිසයි මිනිස්සු එක්ක පාරට බැස්සේ. අරගලයට කලින් ඉඳලා මම මගේ රට ගැන, මහ පොළොව ගැන කතා කරලා තියෙනවා. අරගලය යම් යම් දේශපාලන පක්ෂ විසින් ඩැහැගන්නවා දුටුවා. ඒක වෙන දේශපාලනික අරමුණු ගොන්නකට ගමන් කරනවා පෙනුණා. එතකොට මම නිහඬ වුණා. හේතුව කිසිම දේශපාලන අරමුණක් තුළ මම නියෝජනයක් නොකරපු නිසා. හෙට මේ රටේ මිනිසුන් එක්ක පාරට බහින්න ඕනෑ වුණොත් මම පාරට බහිනවා.

● දුලීකා හැමදාම හිටියේ ජනතා අරගලයත් එක්ක?

මම දුලීකා මාරපන. මම මෙතැනට ආවේ කලාකාරයෙක් හැටියට. බොහොම ශක්තිමත් ගැහැනියක් හැටියට. කිසිම පක්ෂයක් එක්ක මම ගනුදෙනු නොකරමි.

● පසුගිය කාලයේ සද්ද බද්ද නැතිව හිටියේ මේ වෙනස පෙන්වන්නද?

ඔව්. මේ වෙනස පෙන්වන්න. අරගල කාලේ මට මුහුණ දෙන්න වුණු කාරණා තිබෙනවා. සමහර කණ්ඩායම් ඔවුන්ගේ කණ්ඩායම උස්සන්න උත්සාහ කළා. මාව නිතරම සීඅයිඩී එකෙන් ගෙන්වන්න පටන් ගත්තා. මම ඒවට ගිහිල්ලා මුහුණ දුන්නා. ඒ කාලේ බොහොම කැත විදිහට දුලීකා මාරපන කියන ප්‍රොෆයිල් එකයි, පේජ් එකයි හැක් කරලා තිබුණා. මම හැමවෙලේම කතා කළේ හුදෙකලාව. හැබැයි මා වටා ලොකු ප්‍රේක්ෂක පිරිසක් හිටියා. මගේ පේජ් සියල්ලම හැක් කරලා ඉවරයි. ලක්ෂ තිහක විතර පිරිසක් මාත් එක්ක ගමන් කළා. නිහඬයි කියලා පේන්නේ සෝෂල් මීඩියාවල මම නැති හින්දා? මොකද මට දාන්න බැහැ කිසි දෙයක්. මාව තවමත් හැක්. ඒ කියන්නේ මගේ ඒවා ආක්‍රමණය කරලා තියෙන්නේ. නමුත් මම ඒ නිහඬ කාලය උපරිම ප්‍රයෝජනයට අරගත්තා. නැවත වතාවක් අලුත් දුලීකා කෙනෙක් සමාජගත කරන්න සහ බිහි කරන්නට.

● මේ වෙනකොට සියලු සමාජ මාධ්‍යවලින් ඈත් වෙලාද?

සියලු සමාජ මාධ්‍යවල නැහැ. මගේ ට්විටර් ගනුදෙනුවල ඉන්නවා. ඊට අමතරව මගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් තියෙනවා. දුලීකා මාරපන නමින් මගේ අලුත් ෆ්‍රොෆයිල් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒකත් එක්ක මේ වෙනකොට ලොකු කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවා. මම නිහඬ නෑ. මාව නිහඬ කරන්නත් බෑ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment