සිසේරියන් සැත්කම් අබිබවා යන ජ්‍යොතිෂ විද්‍යාත්මක ගර්භ දානය

80

ඕනෑම ජන්මියකු මෙලොව උපත ලබන්නේ එම ජන්මියා අතීත සංසාරයේ සිදු කළ අනේක විධ කුසල අකුසල කර්මයනට අනුරූපවය. මෙය මනුෂ්‍යයන් වන අප විෂයෙහි පමණක් නොව, තිරිසන්ගත සත්ත්වයන් විෂයෙහි ද සාධාරණ බව තරමක් සිතා විමර්ශනාත්මකව සොයා බලන කල වැටහී යයි. එසේම මෙකී තත්ත්වය ජාති, ආගම්, කුලමල භේද ආදියට කිසිදා වෙනස් කළ හැකි ද නොවේ. ලෝකයේ ප්‍රතිසන්ධි ආකාර 4කි. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනුවෙනි. මින් සංසේදජ හා ඕපපාතික ප්‍රතිසන්ධි බාහිර පරිසරය තුළ හටගන්න ද අණ්ඩජ හා ජලාබුජ ප්‍රතිසන්ධි කලල මව් කුසක් තුළ ම හටගනී.

විශේෂයෙන් විවාහ පත් වූ අලුත බොහෝ දෙනකුගේ පැතුම වන්නේ විගසින් පින්වත් වාසනාවන්ත දරු සම්පතක් හිමි කර ගැනීමයි. මෙහිදී සමහරුන් දරු සම්පත් ලබාගැනීමේ දී ඉතා ම වාසනාවන්ත වුත් ඇතැමුන් දරු සම්පත් හීනව සිතින් මෙන් ම ගතින් ද දුක් විඳින බව නො රහසකි. විවාහයෙන් පසු දරුඵල සම්බන්ධව යහපත් තත්ත්වයක් උදාකර ගැනීමට නම් විවාහ වීමට අදහස් කරන යුවළකගේ පොරොන්දම් පරීක්ෂාවේ දී අනිවාර්යයෙන් ම දරුඵල සම්බන්ධව ද ගැඹුරින් විමසා බැලිය යුතුය. මන්ද විවාහයේ ප්‍රධාන පරමාර්ථ අතුරින් විවාහයේ ඵලය ලෙස දරු සම්පත පෙරමුණ ගන්නා නිසා ය.

සිසේරියන් සැත්කම් අබිබවා යන ජ්‍යොතිෂ විද්‍යාත්මක ගර්භ දානය

අතීතයේ මෙන් ම අදටත් විවාහ පත් යුවළකට දරු ඵල අහිමි වන කල නැත්නම් දරුඵල ප්‍රමාද වන කල සමස්ත සමාජයෙනුත් තම නෑ හිත මිතුන් වෙතිනුත් එල්ල වන්නේ බලවත් පීඩනයකි. අවසානයේ වඳ ස්ත්‍රිය වඳ පුරුෂයා ලෙස හංවඩු ගසා අවමානයට පත් කිරීම පවා සිදුවීම ඉතාම ස්වභාවික ය. නමුත් එය එසේ සිදුවනුයේ පෙර කල අකුසල කර්ම නිසාවෙන් නිසා එලෙස අපවාද අවලාද නඟා සමාජයෙන් යම් යම් අවස්ථාවල කොන් කිරීම කොතෙක් දුරට සාධාරණ ද යන්න නම් ගැටලුවකි.

කෙසේ නමුත් මෙලොව සාර්ථක වාසනාවන්ත පුරුෂයකුට හිමි වන සම්පත් වන කාය, ආරෝග්‍ය, ස්ත්‍රි, ධන, පුත්‍ර, ඥාන හා පරිවාර යන සම්පත් අතරට පුත්‍ර සම්පත ද ඇතුළත්ය. ඒ නිසා විශේෂයෙන් පොරොන්දම් පරීක්ෂාවේ දී දෙදෙනාගේ ම දරුඵල විමසා බැලිය යුතුය. ඒ සඳහා මැනවින් පරතෙරට උගත් දක්ෂ පරිණත අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදී මහත්මයකු හෝ මහත්මියක සම්බන්ධ කරගත යුතුය. එහිදී විමසා බැලිය යුතු ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන් ගණනාවකි. ඒ අතර දෙදෙනාගේ ම ජන්ම පත්‍රවල 5 වැන්න, 5 වැන්න අධිපති, 5 වැන්නෙන් 5 වැන්න, පුත්‍රකාරක ගුරු, බීජ ස්ඵුට හා ක්ෂේත්‍ර ස්ඵුට ගණිත, පුත්‍ර සහම ගණිත, දරුඵල සඳහා ම සුවිශේෂී සප්තාංශක වර්ග කේන්දරය, පාක ලග්නය ආදී මෙකී නොකී බොහෝ දෑ මූලිකය. මෙකී කරුණු කාරණා මැනවින් නිවැරදිව පරීක්ෂා කර බලන කල දක්ෂ ජ්‍යොතිෂවේදියකුහට දරුඵල සම්බන්ධවත් ඒවා හිමි වන කාලවකවානු සම්බන්ධවත් නිවැරදිව අනාවැකි ප්‍රකාශ කළ හැක.

එදා පෙර රජ දවස නිවැරදි ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය තුළින් වාසනාවන්ත දරු උපත් ලබා ගත් අතර එය අනිවාර්යයෙන්ම ශාස්ත්‍රානුකූල විය. නමුත් වර්තමානයේ නිසි ජ්‍යොතිෂ දැනුමකින් තොරව සුවිශේෂී ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන්ට පටහැනිව යන්තම් මතු පිටින් ජ්‍යොතිෂය අතපත ගා නිසි ගුරු උපදේශවලින් පවා තොරව දරුවන් පිළිසිඳ ගැන්වීමේ ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේදවලට පටහැනිව යමින් සුවිශේෂී ග්‍රහ පිහිටීම් සහිත තත්කාල කාල හෝරා, පංචම කාල හෝරා හා සූක්ෂම කාල හෝරා පදනම් කර ගනිමින් නූතන නවීන, බටහිර වෛද්‍ය තාක්ෂණික ක්‍රම හරහා සිසේරියන් සැත්කම් සිදු කර දරු උපත් සිදු කිරීමට උත්සාහ කරති. ඇතමුන් පඤ්ච පක්ෂි ශාස්ත්‍රයේ තම පක්ෂියාගේ රජ ස්ථුල යාමයේ, රජ සූක්ෂම යාමයේ රජ අතිසූක්ෂම අවස්ථාව අල්ලා සිසේරියන් සැත්කම් සිදු කර දරු උපත සිදු කිරීමට බලති. මා උපාධි, පශ්චාත් උපාධි නිබන්ධන පිළියෙල කිරීමේ දී දරු ඵල සම්බන්ධව විශේෂයෙන් ගැඹුරට විමර්ශනාත්මක පර්යේෂණ සිදු කළෙමි. එහිදී මා ලද නිරීක්ෂණ හා නිගමන මත පදනම් වූ අත්දැකීම් වූයේ එලෙස යමකුට අවශ්‍ය පරිදි අවශ්‍ය වේලාවක සිසේරියන් සැත්කම සිදු කර දරු අපත් ලබාගැනීම ඉතා ම දුෂ්ක බවයි. එහිදී නියමිත වේලාවට විනාඩි කීපයකට කලින් හෝ බොහෝවිට විනාඩි කිහිපයක පසුව දරු උපත සිදු විය. ඒ සඳහා බලපෑ හේතු විවිධාකාර වුවත් දරු උපත බලාපොරොත්තු වූ වේලාවට ම සිදු කරගත නොහැකි විය. එවැනි සමහර අවස්ථාවල දරුවන්ගේ ලග්නය පවා මාරු වී තිබිණි. එසේ ම බහුතරයක් අවස්ථාවල නවාංශකය මාරු වී තිබිණි.

කෙසේ නමුත් දුර ඈත අතීතයේ පටන් දරුවන් පිළිසිඳ ගැන්වීමේ ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේදයක් විය. සාමාන්‍යයෙන් වැඩිවියට පත් ස්ත්‍රියකගේ මාස් ශුද්ධියෙන් හෙවත් ඍතු වීම යම් මසකට අවසන් වූ දින සිට දින තුනක රාත්‍රිය හැර එතැන් සිට 16 වැනි දින රාත්‍රිය දක්වා ඇති කාලය ස්ත්‍රියක ඍතු කාලය ලෙස හැඳින්වේ. මෙකී තත්ත්වය නීරෝගි ස්ත්‍රියකට සාමාන්‍යයෙන් වයස අවුරුදු 55ක් පමණ උපරිමයක් දක්වා පවතී. ඍෂි නියමයන්ට අනුව සාමාන්‍යයෙන් මාස් ශුද්ධියෙන් පසු එළැඹෙන පළමු දින තුන සම්භෝගයට යහපත් නොවේ. ඉන් අනතුරුව 4 වන දින රාත්‍රි සිට 16 වන දින රාත්‍රි දක්වා සම්භෝගයෙන් පිළිසිඳ ගන්නා දරුවාගේ තතු ජ්‍යොතිෂයේ සැකෙවින් සහන් වන්නේ මෙසේය.

මාස් ශුද්ධියෙන් පසුව යෙදෙන රාත්‍රි දිනය – පිළිසිඳ ගන්නා දරුවාගේ ස්වරූපය

4 පුරුෂ – අල්පායුෂ

5 ස්ත්‍රි –

6 පුරුෂ – පරම්පරාව බබළවයි

7 ස්ත්‍රි – වඳය

8 පුරුෂ –

9 ස්ත්‍රි – රූප සම්පත්තියෙන් යුතුය.

10 පුරුෂ – රජෙක් වේ.

11 ස්ත්‍රි – ආබාධිතය

12 පුරුෂ – වාසනාවන්තය

13 ස්ත්‍රි – පරපුර නසයි

14 පුරුෂ – ධාර්මිකය, ගුණ යහපත්ය

15 ස්ත්‍රි – වාසනාවන්තය

16 පුරුෂ – ඥානවන්තය

මෙලෙස පිළිසිඳ ගන්නා දරුවාගේ නිශේක, ආධාන හෙවත් ප්‍රතිසන්ධි කේන්ද්‍රයෙන් උගත් දක්ෂ ජ්‍යොතිෂවේදියාට අනාවරණය කරගත හැකි කරුණු කාරණා බොහෝය. කෙසේ නමුත් ජ්‍යොතිෂ මතය ඍතු හෙවත් සරු ඵල කාලයේ ඔත්තේ දිනවල සම්භෝගයෙන් ස්ත්‍රි උපත් ද ඉරට්ටේ දිනවල සම්භෝගයෙන් පුරුෂ උපත් ද ලද හැකි බවය. කෙසේ නමුත් සම්භෝග අවස්ථාවේ තත්කාල ලග්නයේ 8 වැන්න ශුද්ධ වියයුතුය. මෙහිදී උගත් දක්ෂ පරිණත ජ්‍යොතිෂවේදියා සම්භෝගයට ශුභ තිථි, නැකැත් හා ලග්න ආදියත් දින ආදියත් විමසා ඉහත වගුවට අනුව 4, 7, 11, 13 ආදී අශුභ දින ද අතහැර ශුභ තත්කාල නිර්දේශ කරයි. එවිට නීරෝගී, බුද්ධිමත්, පිංවත්, වාසනාවන්ත, ගුණ යහපත් දරුවකු ලබාගත හැක.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වටිනා ජ්‍යොතිෂ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම තුළ අංගවිකල, මන්ද මානසික, අඥාන, රෝගී, අවාසනාවන්ත මෙන්ම මන්දායුෂ දරු උපත් සිදුවීම වැළකී යෑමයි. මෙහිදී උගත් ජ්‍යොතිෂවේදියා තම සේවාදායකයාගේ අවශ්‍යතාවය මත මධුසමය සඳහා නිර්දේශ කරනු ලබන නැකතේ තත්කාල ප්‍රමිතිය මැනවින් විමසා බලයි. එහිදී දරුවන් පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව ද තත්කාල ග්‍රහ පිහිටීම් අනුව තක්සේරු කර බලයි. කෙසේ නමුත් පුරුෂයෙකුගේ ශුකාණු සිකුරුගේ පාලනයට නතු වන අතර ස්ත්‍රියකගේ ඩිම්බ කුජගේ පාලනයට නතු වේ. එහිදී ස්ත්‍රි හා පුරුෂ ජන්ම පත්‍රවල කුජ හා සිකුරුගේ බලවත් භාවය මත සිදුවන දරු උපතේ ස්ත්‍රි පුරුෂ බව තීරණය වේ. එනමුත් ඉරට්ටේ දිනක පිරිමි දරුවකු පිළිසිඳ ගත්ත ද ස්ත්‍රියගේ කුජ බලවත් වීම මත ඩිම්බය ප්‍රබල වී ගැහැනු දරුවෙකු උපදී. නමුත් ඇය තුළින් පිරිමි ගති පවතී. එසේම ඔත්තේ දිනක ගැහැනු දරුවකු පිළිසිඳ ගත්ත ද සිකුරු ප්‍රබල වී ශුක්‍රාණු ප්‍රබල වීම මත පිරිමි දරුවෙකු ඉපදුණ ද ඔහු තුළ ගැහැනු ගති පවති. මෙලෙස උපදිනා දරුවන්ගේ ස්ත්‍රි පුරුෂ ගති පිළිබඳ ගැඹුරින් ප්‍රකාශ කළ හැකි ජ්‍යොතිෂ නියමයන් ද වේ. ඒ සියල්ල මේ කුඩා ලිපියට කැටි කළ නො හැක.

තවද දක්ෂ උගත් ජ්‍යොතිෂවේදියා ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර මැනවින් විශ්ලේෂණය කිරීමේ දී අදාළ ග්‍රහ පිහිටීම් මත පුරුෂ ප්‍රජනන ශක්තිය සේ ම ස්ත්‍රි ප්‍රජනන ශක්තිය ද වඳ, මධ්‍යම හා ඵලදායී ලෙස මැනවින් තුලනාත්මකව තීරණය කරයි. මෙලෙස ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන් තුළ දරු උපත් අතර පරතරයත්, නපුංශක ප්‍රතිසන්ධි සම්බන්ධවත් ඊට අදාළ ග්‍රහ පිහිටීම් සම්බන්ධවත් පැහැදිලිව සඳහන්ය. ඒ නිසා නිසියාකාරව පරතෙරට උගත් යම් ප්‍රවීණත්වයක් උසුලන ජ්‍යොතිෂවේදියකු වෙතින් නොවිමසා බොහෝ වියපැහැදම් කර සිසේරියන් සැත්කම් ආදියට භාජනය වීම කොතරම් දුරට සාර්ථක ද යන වග මේ ලිපිය කියවා ඔබ ම තීරණය කරන්න. ඥානාන්විතව හරි දේ හරි විදිහට තේරුම් බේරුම් කර ගෙන නිවැරදි දේ මත පිහිටා තීන්දු තීරණ ගැනී ඔබට භාරය.

සිසේරියන් සැත්කම් අබිබවා යන ජ්‍යොතිෂ විද්‍යාත්මක ගර්භ දානය

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment