හොරණ රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව අසත්‍ය තොරතුරු සකසන ලෙසට කළ බලපෑම:

378

කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂඥ කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු, හිටපු කම්කරු කොමසාරිස් රක්ෂිත බන්ධනාගාරයට

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය සහිත අපජලය බැහැර කිරීමේ බහාලුමකට (ටැංකියකට) වැටි පුද්ගලයන් කිහිපදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට කළුතර දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරුවරයා ලෙස රාජකාරි කළ රුක්මාන් කුමාර හේමචන්ද්‍ර මහතාට බලපෑම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂඥ කර්මාන්ත ශාලා පරීක්ෂක, හිටපු කම්කරු කොමසාරිස් වරයකු වූ දෙහිවල ලියනගේ අශෝක පීරිස් මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

අධිකරණ කටයුත්තකදී අදාළ සාක්ෂි ලබාදෙන තැනැත්තන් හට බලපෑම් කිරීමත් එකී කරුණු පදනම් කරගෙන යම් පාර්ශ්වයකට අගතියක් වන එනම් කර්මාන්ත ශාලා කළමනාකාර අධ්‍යක්ෂ මේජර් සරත් විජේරත්න මහතා ඇතුළු එහි නිලධාරීන්ට අගතියක් වන ලෙස අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි විමර්ශන සිදු කළ කළුතර අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කොට තිබිණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කළේය.

අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව පරීක්ෂණ පැවැත්වූ කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පෙරකී සැකකාර නිලධාරියාට පසුගිය 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යවා තිබිණි.

එම සැකකරු එදින අධිකරණය හමුවේ පෙනී නොසිට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කොට තිබූ අතර එම වෛද්‍ය වාර්තාව තම අධිකරණයට පිළිගත නොහැකි බවට මහෙස්ත්‍රාත්වරයා නිගමනය කර තිබිණි. ඉන් අනතුරුව පසුගිය 10 වැනිදා අධිකරණයට භාරවූ සැකකරු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබිණි.

12 වැනිදා යළි නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුවේ නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා සහ කර්මාන්ත ශාලා හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා දීර්ඝ ලෙස දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට නියෝග කළේය.

එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ආර්. පී. ඒ. විමලවීර මහතාට තම විමර්ශන කොට්ඨාශය දන්වා ඇතත් නීති උපදෙස් ලබා ගැනීමට නොහැකිවීමේ හේතුව මත පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට දැනුම් දුන් අතර ලබන 21 වැනිදා වනවිට නොපැමිණියහොත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස ඔහුව නම් කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. පසුගිය 2018.04.19 වැනිදා හොරණ වැල්ලපිටියේ පිහිටි එස් ඇන්ඩ් සිලෙටෙක්ස් පුද්ගලික සමාගමේ පරිශ්‍රය තුළදී එම සේවකයන් දෙදෙනාගේ

මරණ සිදුවී ඇත්තේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආයතනය විසින් සපයා ඇති ආරක්ෂිත උපකරණ නොපැළඳ මරණකරුවන් අපරීක්ෂාකාරීව කටයුතු කිරීම නිසා බව සාක්ෂි සටහන් කර පැවැත්වූ විමර්ශනවලදී අනාවරණය වූ බවත් කර්මාන්ත ශාලා පාලනාධිකාරිය හෝ සෙසු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර නොගත යුතු බවටත් පෙරකී දිස්ත්‍රික් ඉංජිනේරු හේමචන්ද්‍ර මහතා කම්කරු දෙපාර්තමේන්තුවට ලිඛිතව වාර්තා කර තිබිණි.

අසත්‍ය වාර්තා ඉදිරිපත් කර හෝ එම කර්මාන්ත ශාලා නිලධාරීන්ට විරුද්ධව අපරාධ නඩුවක් පවරන ලෙසට පියවර ගන්නැයි සැකකරු විසින් සාක්ෂිකාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයාට ලබාදුන් උපදෙස් පිළි නොපැදීම නිසා සාක්ෂිකරුව තනතුරෙන් පහත දමා ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන තිබූ අතර තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් හේමචන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

සැකකරු සිය රාජකාරියට අනිසි ලෙස බලපෑම් කළ දුරකථන ඇමතුම් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කළුතර දිස්ත්‍රික් ඉංජිනේරු හේමචන්ද්‍ර මහතා පියවර ගැනීම නිසා එවකට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආර්. පී. ඒ. විමලවීර මහතා විසින් ඔහු වැඩ තහනමට ලක්කර තිබිණි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවෙන් එම කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මේජර් සරත් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය මාර්තු 29 වැනිදා නියෝග කොට තිබිණි.

දිස්ත්‍රික් ඉංජිනේරුවරයාට හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වයට සිදුවී ඇති යුක්ති සහගත නොවන ක්‍රියාමාර්ග වැළැක්වීමට හා දිස්ත්‍රික් ඉංජිනේරු හේමාචන්ද්‍ර මහතාගේ

රාජකාරියට බාධා කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර ඇතත් ඒවා මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව ද අධිකරණයේදී අනාවරණය විය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment