ෆේස්බුක් හරහා පිරිමින් රවටා මාමයි දුවයි ජාවාරමක…

883

එක් ව්‍යාපාරිකයෙක්ගෙන් අසැබ් ෆොටෝ නිසා කෝටි හයක මුදල් ගරාගෙන…

සල්ලිකාර පිරිමින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන බවට බයකරලා…

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ අසභ්‍ය දර්ශන පහළොවක් ෆෝන් එකේ…

සයින්දමරුදු ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වන ඔහුට අපි කාදර් යැයි කියමු. දිනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් එක් මිතුරෙක් ලෙස හැඳින ගත්තේ සුන්දර යුවතියකි. මුහුණුපොතේ දිනෙන් දින තොරතුරු හුවමාරු කරගෙන මිතුරන් බවට පත් වූ එම කාන්තාවට අපි ෆාතිමා යයි කියමු. මෙම දෙදෙනාගේ හිතවත්කම දිගින් දිගටම ගලාගෙන යද්දි එය පේ‍්‍රම සබඳතාවක් දක්වා දුර දිග යන ලදි. පසුව ඔවුන් වට්ස්ඇප් හරහා ඔවුන්ගේ ඡායාරූප හුවමාරු කරගන්නට තරම් කුළුපග වන්නට වූහ.

මේ ඇසුර දුරදිග යද්දි ෆාතිමා කාදර්ගේ හිත දිනා ගන්නට සමත් වූවාය. දිනක් ඇය ඔහුට අපූරු යෝජනාවක් කරන්නට විය. මං කැමතියි ඔයාගේ ඇඳුම් නැතුව පොටෝ එකකට. කාදර් විවාහකයෙක් වුවද ෆාතිමාගේ තොදොල් ආදර වදන් නිසා සිය නිරුවත් පිංතූර ඇයට යවන්නට විය. ඒ සමගම ඇය ද විවිධ ආකාරයේ ඡායාරූප ඔහුට යවන්නට වූවාය. හැබැයි ඔහුට ෆාතිමා යැව්වෙ ඇයගේ ඡායාරූප නොව අන්තර්ජාලයෙන් ලබාගත් වෙනත් කාන්තාවන්ගේ ඡායාරූප බව කාදර් නොදැන සිටියේය.

මෙලෙස කාලය ගත වෙද්දි දිනක් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙමින් මම ෆාතිමාගේ සැමියා උඹ මොකද මගේ පවුලත් එක්ක යාළුවෙලා ඉන්නේ. උඹ මගේ ගෑණිට නිරුවත් පොටෝ පවා එවල තියෙනව. මං මේවා පොලීසියට කියනවා. නැත්නම් අන්තර්ජාලයට දානවා. එහෙම නොකර ඉන්න නම් මට රුපියල් ලක්ෂ හයක මුදලක් දෙන්න ඕනි. ඒක මං කියන තැනට ගෙනත් දෙන්න ඕනි යයි පැවසීමත් සමඟ කාදර්ට තරු විසික් වෙන්නට විය. දිනපතාම වාගේ මේ ආකාරයට ෆාතිමාගේ සැමියා යැයි කිවූ පුද්ගලයා දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් තර්ජනය කරන්නට වූවේය. අවසානයේදී බේරෙන්නට බැරි තැන කාදර් බොහෝ අපහසුවෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් සැප්තැම්බර් මස 23 දින අක්කරපත්තුව ඔලූවිල් 02 කටාර් නිවාස සංකීර්ණය ආසන්නයේදී රාත‍්‍රි 7 ට පමණ ගොස් තබන්නට වූයේ හසුවූ උගුලෙන් කෙසේ හෝ ගැලවීමට සිතාගෙනය.

කාදර් එසේ ගැලවෙන්නට සිතාගෙන සිටියත් නැවතත් ෆාතිමාගේ සැමියා කී පුද්ගලයා තවත් ලක්ෂ 6ක මුදලක් අවශ්‍ය බව කියමින් නැවතත් දිගින් දිගටම තර්ජනය කරන්නට විය. අවසානයේදී කාදර්ගේ හිස ගිනි ගන්නට මෙන් විය.

ගිය මාසෙත් ලක්ෂ 06ක් දීලා මේ මාසෙත් ලක්ෂ 06ක් දෙන්නෙ කොහොමද?

නමුත් කෙසේ හෝ මුදල් දිය යුතුව තිබේ. එසේ නොවුනහොත් තම නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හැරියොත් රටට මුහුණ දෙන්නට බැරිය.

එනිසා කාදර් මිතුරන්ගෙන් පවා මුදල් ඉල්ලා ලක්ෂ හයක් සොයන්නට විය. අවසානයේදී මිතුරෙකුට ඇත්ත කියන්නට සිදු විය. ඒ අනුව අක්කරපත්තු පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාට මේ සිද්ධිය දැන ගන්නට ලැබුණි. ඉතාමත් දක්ෂ සහ අවංක පොලිස් නිලධාරියෙක් ලෙස බණ්ඩාර විජේතුංග මහතා කීර්ති නාමයක් දිනා සිටි අයෙකි. කොටකෙතන කාන්තා ඝාතනයේ මිනීමරුවන් අල්ලා ගන්නට ද බණ්ඩාර විජේතුංග මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණි. එවන් දක්ෂ පොලිස් නිලධාරියෙක් වු විජේතුංග මහතා අල්ලසට යට නොවී ලැබෙන සෑම පැමිණිල්ලක්ම ඉතා කඩිනමින් විමසන්නට වෙහෙසෙන අයෙකි. අම්පාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනවිරත්න, අම්පාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක සහ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි දේශප‍්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ ජාවාරමේ මහ මොළකරුවන් සොයා අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරන්නට වූහ. ඔයා ඔහොම කතා කරන්න. කියන දවසට සල්ලි දෙන්නම් කියන්න යනුවෙන් පැමිණිලිකරුට පැවසූ පොලිස් ස්ථානාධිපති බණ්ඩාර විජේතුංග මහතා ඒ සඳහා මෙහෙයුම් සකස් කරන්නට විය.

ෆේස්බුක් හරහා පිරිමින් රවටා මාමයි දුවයි ජාවාරමක…

පෙර මුදල් තිබූ ස්ථානයේම නැවතත් මුදල් තබන බවට පොරොන්දු වන්නට විය. 29 දින සවස ලක්ෂ හයක මුදල ලෙස සකසා ගත් මල්ලක් සමග ඔලූවිල් පෙදෙසේ කටාර් නිවාස සංකීර්ණයෙන් තබන්නට පැමිණිලිකරු පිටත් වන්නට වූවේය.

අක්කරපත්තු පොලිස් ස්ථානාධිපති විජේතුංග මහතා සිය නිලධාරීන් යොදාගනිමින් උපක‍්‍රම භාවිත කරමින් කප්පම්කරුවන් ඇල්ලීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි. කාදර් ද පොලිසියෙන් ලබා දුන් මුදල් බෑගය රැගෙන සවස හයට පමණ ගොස් කප්පම්කරුවන් කියූ තැන තබා මම සල්ලි තිබ්බා යනුවෙන් දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයෙන් පිටත් වන්නට විය. ඊට පැය භාගයකට පමණ පසු එම ස්ථානයට යතුරුපැදියක් පැමිණෙන්නට විය. යතුරුපැදිය කාදර් මුදල් තිබූ තැන ආසන්නයේ මදක් දුරින් නතර වූ විට එක් අයෙකු මුදල් තිබූ ස්ථානයට ගොස් මල්ල අතට ගන්නවාත් සමගම හතරවටින් පොලිස් නිලධාරීහු පැමිණ යතුරුපැදිකරු සහ මුදල් ලබාගැනීමට පැමිණි කාන්තාවක් අල්ලා ගන්නට වූහ.

ඒ සමගම සිදු වූයේ කල්මුණේ, අක්කරපත්තු, සමන්තුරේ, සයින්දමරුදු සහ ඔලූවිල් ආදී ප‍්‍රදේශවල පුද්ගලයන් අතිවිශාල ප‍්‍රමාණයක් රවටමින් ඔවුන් සමග පේ‍්‍රම සබඳතාවන් ඇති කර ගනිමින් පිරිමින්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන කප්පම් ගැනීමේ මහා ජාවාරමක සුලමුල අනාවරණය වීමය. මෙම ජාවාරමේ යෙදුණු සැකකරු ඔලූවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය අක්කාගේ 27 හැවිරිදි දියණිය සමග එක්ව ජාවාරම සිදු කර ඇත. එම 27 හැවිරිදි කාන්තාවගේ සැමියා මිය ගොස් ඇත. අවසානයේදී මාමාගේ සහ දියණියගේ කප්පම් ජාවාරමේ සියලූ තොරතුරු එකිනෙක පොලිසිය විසින් අනාවරණය කරගන්නට විය.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් යතුරුපැදිය සහ ජංගම දුරකථනවලින් පොලිසියට හෝඩුවාවන් ලැබෙන්නට විය. එම ජංගම දුරකථනයක නිරුවත් පිරිමින්ගේ 15ක පමණ ඡායාරූප තිබෙන්නට විය. පොලිස් පරීක්ෂණ දිගින් දිගටම සිදු කරන්නට විය. එහිදී තවත් සුවිශේෂී සිදුවීමක් අනාවරණය වන්නට විය. මේ ආකාරයට තවත් එක් අයෙකු සමග අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ලෙස පවසා ෆාතිමා පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගන්නට වූවාය. මෙම ඇසුර දුර දිග යන ලදි. සමාජයේ හොඳ නමක් දිනා සිටි අක්කරපත්තු කෝටිපති ව්‍යාපාරිකයාට තරු පෙණුනේ මාමා සහ දියණිය කාදර් රැවටූ ආකාරයටම වරින් වර ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා සිටීම නිසාය.

මුදල් නොදුනොහොත් සිය බිරිඳට, දරුවන්ට සහ සමාජයට ආරංචි වීමෙන් ඇතිවන බලපෑම නිසා මහා විනාශයක් ඇතිවන බව සිතූ කෝටිපති ව්‍යාපාරිකයන් ඇයට ලක්ෂ 10, 15 ඉල්ලූ සැණින් දෙන ලදි. විටෙක ලක්ෂ 30 ඉල්ලා සිටින විට කරන්නට දෙයක් නොමැති තැන රහස ස`ගවන්නට ලක්ෂ 30 දෙන ලදි.

මේ ආකාරයට ඔවුන්ගේ දැනුම්දීම මත මුදල් රැගෙන යෑමට විටින් විට තරුණියන් තිදෙනකු ද මෙම පිරිස යොදා ගෙන තිබේ. එලෙසම මෙම කාන්තාවට නිවසක් සාදා දීම සඳහා කෝටි දෙකහමාරක මුදලක්ද වැය කර තිබූ ව්‍යාපාරිකයා කෝටි හයක පමණ මුදලක් මාමා සහ දියණියගේ ජාවාරමට හසුව ලබාදී තිබුණි.

මෙම ජාවාරමට කොටු වූ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිති.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනවිරත්න මහතාගේ උපදෙස් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මඟ පෙන්වීමෙන් අක්කරපත්තු සහකාර පොලිස් අධිකාරී දේශප‍්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් ස්ථානාධිපති බණ්ඩාර විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ගුණරත්න, පොලිස් සැරයන්වරුන් වන (63024) අසාත්, (53392) සිසිල, (53896) රිස්වාන් සහ පොලිස් කොස්තාපල්වරුන් වන සංජීව (76811), (92877) සසි, (92878) අනෝජන් යන පොලිස් නිලධාරින් විසින් මෙම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටිති. කප්පම් ලබාගත් මාමා සහ දියණිය අක්කරපත්තු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි. වසර ගණනාවක් තිස්සේ පුද්ගලයන් විශාල ප‍්‍රමාණයක් ආදරය කරන බවට අ`ගවමින් පසුව ඔවුන් බය කර කප්පම් ගත් මාමා සහ දුවගේ ජාවාරම එලෙස නීතියේ රැහැනට හසුවන්නට වූහ.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment