22 ට සහාය දෙන්නේ නැහැ ආණ්ඩුවේ තනතුරු ගන්නෙත් නෑ- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

142

වත්මන් අර්බුදයෙන් රට ගොඩගන්නට ශ්‍රීලනිප ප්‍රතිපත්ති ළඟදීම ජනතාවට කියනවා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රට ගොඩගන්නා සැලසුම් හා ප්‍රතිපත්තිය දැන් සකස් කර අවසන් බවත්, අඩුපාඩු තවදුරටත් සකස් කර ඉදිරි සතියකින් හෝ දෙකකින් එය රටට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී සෙනසුරාදා (02 දා) පැවසීය.

වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීම තම පක්‍ෂයේ ප්‍රමුඛ අරමුණ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන මහතා වත්මන් රජයේ අගමැතිකම තබා කිසිම තනතුරක් ලබාගැනීමට තමා සූදානම් නැති බව ද පැවසීය.

මහනුවර සහ මාතලේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ සාකච්ඡාවකට ගුරුදෙනියේදී සහභාගිවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට අදහස් දැක්වීය.

විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වන බව අසන්ට ලැබුණු විට මම ඉතාම සතුටට පත්වුණා. 2015 දී මා ඉදිරිපත් කළ

19 වැනි සංශෝධනය වගේ ජනාධිපති බලතල අඩු කරන සංශෝධනයක් කියා සතුටු වුණත් දැන් බැලුවහම ජනාධිපති බලතල තවත් වැඩිකරගෙන තිබෙනවා. ඒ නිසා 22 සංශෝධනයට අපි එකහෙළාම විරුද්ධ වෙනවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිරෙස්න මහතා, මේ මොහොතේ රට පත්වී තිබෙන ආර්ථික අර්බුදයෙන්

ගොඩගැනීම සඳහා සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවා නොගෙන කටයුතු කළහොත් ජනතාවගේ නැඟීසිටීම වැළැක්වීමට නොහැකි වෙනවා පමණක් නොව පෝලිම්වල ජනතාව මැරී වැටීමේ සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීමට අපොහොසත් වන බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත සංවිධානය වී ජනතාව ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් පාක්‍ෂිකයන් තුළ විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවද පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවිය යුතු බව තරයේ කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, වත්මන් රජයේ කිසිදු තනතුරක් ලබා ගැනීමට ඉදිරිපත් නොවන බවත් ඒ මහතා පැවසීය.

මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ද සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරන ලෙස අවධාරණයෙන් ම කියා සිටින බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

සිරිල් විමලසුරේන්‍ද්‍ර

 

advertistmentadvertistment
advertistmentadvertistment