ජල්තර මදිවට ජල බිලටත් මන්තරයක්!

82

ජන ජීවිතය ‘ජල්තරස්’ වී ඇති වටපිටාවක ‘ජල බිලට’ ද හෙනහුරා කඩාපාත්වී ඇත. එවැනි තත්ත්වයක් උද්ගතවන්නේ අගෝස්තු මස පළමුවැනිදා සිට ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ගත් තීරණය මතය. ‘සීතල’ කාමරවල සිට බලධාරීන් ගනු ලබන එවැනි තීරණ විසින් සාමාන්‍ය සමාජය තුළ ‘උණුසුම්’ තත්ත්වයන් නිර්මාණයවීම මෙරට තුළ මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. විදුලිය, ගෑස්, ඉන්ධන මිල මෙන්ම ජලය සඳහා වැයවන මුදලද මෙරට සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අසාමාන්‍ය බරක්ව පවතින වටපිටාවක මෙවර ජල ගාස්තු ඉහළ නැංවීම පිණිස බලපාන ලද ප්‍රධාන හේතු සාධක ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පත්මනාථ මහතා පෙන්වාදෙනු ලබන්නේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විදුලි බිලද රුපියල් මිලියන 400 කින් පමණ වැඩිවී ඇති බැවින් ජල ගාස්තු වැඩි කිරීමට තීරණය කළ බවත්, ඊට අමතරව පිටරටින් ගෙන්වනු ලබන රසායනික ද්‍රව්‍ය මිල හා ජලනළ ඇතුළු උපාංග මිලද ඉහළ ගොස් ඇති බවත්ය.

පානීය ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව සඳහන් කරමින් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් වසරේදී ජල ගාස්තු ඉහළ නැංවුවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වාර්ෂිකව රුපියල් මිලියන අටක පාඩුවක් ලබන බවත් එම පාඩුව අවම කිරීම පිණිස නැවත පානීය ජල ගාස්තු සංශෝධනය විය යුතු බව සඳහන් කරමින්ය. ඒ අනුව පානීය ජල ගාස්තු ඉහළ නැංවීම පිණිස කැබිනට් අනුමැතිය හිමිවිය.

මේ වන විට එම කැබිනට් පත්‍රිකාවේ සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (වාණිජ) පවසා සිටින ලද අනිකුත් කාරණා ආදියෙහි මුළු බර ජනතාවගේ හිස මතය.

ජල ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිණිස ගණන් ඉලක්කම් සහිත වගු ප්‍රස්ථාර ආදිය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇතත් ප්‍රහේලිකා බඳු එවැනි දේ මේ වන විට ජනතාවට අරහං වී ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ ගෘහස්ථ ජල ගාස්තු 50%කින් ඉහළ දැමීමට රජය විසින් ගත් තීරණය කාලීන තීරණයක් නොවන බවය.

මේ පිළිබඳව කොළඹ නගරය කේන්ද්‍රීයව ජීවත් වන ජනතාව අතරින් කීපදෙනකු හා කතාබහ කිරීමේදී ඔවුන්ද සඳහන් කර සිටියේ නාගරිකව ජීවත්වන ඔවුන්ට ජල ගාස්තු සංශෝධනය තදින්ම බලපාන බවත් නව මිල සංශෝධනය හේතුවෙන් කහට කෝප්පයේ සිට සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉදිරියේදී වෙනස් විය හැකි බවත්ය.

අද කහට කෝප්පයක මිල ලබන මාසේ වෙද්දී වැඩිවෙනවා. බොරුනම් බලන්න. වතුර බිල වැඩි හින්ද කහට කෝප්පයක් ඉස්සර මිලට දෙන්න බෑ කියල තේ කඩකාරයෝ කියන්න ගනියි. ඒත් එක්කම පාන් ගෙඩියේ ඉඳලා කන බොන හැම දේකම මිල වැඩි කරයි. එහෙම තමයි මෙච්චර කලක් අපේ රටේ සිද්ධ වුණේ. එසේ සඳහන් කර සිටියේ කොටහේන පදිංචි කුඩා පළතුරු ව්‍යාපාරයක් පත්වාගෙන යනු ලබන පුද්ගලයෙක්ය. ඔහු විසින් කරන ලද අනතුරු ඇඟවීම මත ඉන් මදක් ඔබ්බට වන්නට පිහිටි ජම්පටා වීදියේ තේ කඩයකට ගොඩවූ අප එහි හිමිකරුගෙන් විමසා සිටියේ ජල ගාස්තු ඉහළ නැංවීමට ගත් තීරණය පිළිබඳව ඔහුගේ මතය කුමක්ද? යන්න පිළිබඳවය.

මෙහෙමයි මහත්තයා… තේ කඩයක් කරනව කියන්නෙ මහ ලොකු හෝටලයක් කරනවටත් වඩා මේ කාලේ අමාරු වැඩක්. ගෑස් මිල ගත්තොත් ඒක දරාගන්න බෑ. ලයිට් බිල ඊට හපන්. රොටියක් ප්ලේන්ටියක් විකුණලා ගන්න මුදලින් ගෑස්වලටයි ලයිට් බිලටයි ගෙව්වට පස්සෙ ඇති දෙයක් නෑ. මේ අවට ගත්තොත් වැඩි හරියක් තියෙන්නෙ වතු නිවාස. ඒ මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් දවසට උයන්නේ වේලයි. නැත්නම් දෙකයි. ඉතිරි වේල කඩෙන් කන අය තමයි වැඩි හරියක් ඉන්නේ. කරන්න දෙයක් නෑ. වතුර බිල වැඩිවීමත් එක්ක කන බොන හැම දේකම මිල වැඩි කරන්න වෙනවා. නැත්නම් බිස්නස් එක කරගෙන යන්න අපට බැරි වෙනවා. අපිත් දුප්පත්. ඒ හින්දනෙ මේ වගේ පොඩි ඉඩකඩක පුංචි බිස්නස් එකක් කරගෙන ඉන්නේ. අපි ළඟට කන්න බොන්න එන්නෙත් දුප්පත් අහිංසක මිනිස්සු. ඒ හින්ද හැම හෙනයක්ම පාත් වෙන්නෙ දුප්පත් අපිට තමයි කියල තමයි කියන්න වෙන්නේ.

ජනතාව දක්වන අදහස් එතෙකින් නිමාවන්නේ නැත. කොළඹ නගරය ආශ්‍රිතව මුණ ගැසුන තවත් කීපදෙනෙක් සඳහන් කර සිටියේ ජල ගාස්තු සංශෝධනය හේතුවෙන් ඉදිරියේදී කොළඹ නගරයේ වැසිකිළි, කැසිකිළි පහසුකම් ගාස්තු පවා ඉහළ යා හැකි බවත් ඊට අමතරව සනීපාරක්‍ෂක පහසුකම් සේවා සපයන ආයතනද ඔවුන්ගේ සේවා ගාස්තු ඉහළ නැංවීම පිණිස ජල ගාස්තු දඩමීමා කර ගැනීමට බොහෝ දුරට කටයුතු කරනු ඇති බවත්ය.

මෙරට ජීවත් වන ලක්‍ෂ සංඛ්‍යාත ජල පාරිභෝගිකයන්ට පමණක් නොව සමස්ත රට වැසියන් සියලුදෙනාටම ඉදිරියේදී අඩුවැඩි වශයෙන් ජල බිලට කර තැබිය යුතු තත්ත්වයක් උද්ගතව ඇත. සෘජු හා වක්‍රාකාරයෙන් එලෙස ජල බිලට කර තැබීම යනු පවත්නා ජීවන වටපිටාවට අනුව බොහෝ දෙනෙකුට දුෂ්කර කටයුත්තක් වනු ඇත. ජීවීන්ගේ පැවැත්ම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් වන ජලයටද වසරින් වසර මිල නියම කිරීමට යෑම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුට ‘වතුරවත් පෙවෙන්නේ නැති’ තත්ත්වයක් උද්ගතව ඇත. ජල ගාස්තු සංශෝධනයේදී පෙන්වාදී ඇති නිර්ණායකයන්ට අනුව අඩු ආදායම් ලාභීන් සතුටු කරනු වස් ඔවුන්ට අදාළව ජල ගාස්තු ඉහළ නංවා නැතත් ඉදිරියේදී ඔවුන් උපයන තුට්ටුවටද නව සංශෝධනය යටතේ තට්ටුවන බව රට්ටු ලෙස බොහෝදෙනෙක් අත්දැකීමෙන් අවබෝධ කරගත් සත්‍යයක්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment