ගෙවල්වල ඉන්න කොවිඞ් රෝගීන්ට බෙහෙත් දෙන්න ආයුර්වේදයේ 1000 ක් – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

870

කොවිඞ් වෛරසය ආසාදිතව නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින රෝගීන් වෙත ගොස් අවශ්‍ය ප‍්‍රතිකාර හා ඖෂධ ලබාදීම සඳහා ආයුර්වේද ප‍්‍රජා වෛද්‍ය නිලධාරීන් දහසකට අධික පිරිසක් යෙදවීමට පියවර ගත් බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන, ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

එසේ නිවෙස්වලට ගොස් ප‍්‍රතිකාර ලබාදීමට නියමිත ආයුර්වේද ප‍්‍රජා වෛද්‍යවරුන් සෑම ප‍්‍රදේශයකටම යොදවා ඇති බවත්, එම වෛද්‍යවරුන්ගේ දුරකථන අංක සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හා දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ්අඩවිය මගින් සොයා ගැනීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

නිවෙස්වල එලෙස නිරෝධායනය වන අයකුට දේශීය වෛද්‍ය ඖෂධ හා ප‍්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් තම ප‍්‍රදේශයේ සිටින ආයුර්වේද ප‍්‍රජා වෛද්‍ය නිලධාරියාට දුරකථන ඇමතුමක් ලබාදී එම වෛද්‍යවරුන් රෝගීන් සිටින නිවෙස් වෙතට ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලයේදී ආයුර්වේද රෝහල්වල රෝගීන් 4000 කට අධික පිරිසක් ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලබා තිබීම හා එම කිසිවකුත් මියගොස් නොතිබීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

කොවිඞ් ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා ආයුර්වේද රෝහල් තුළ තිබෙන ඇඳන් දහස් ගණනක් මේ වෙනකොට වෙන්කර තිබෙන බවත්, මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා තම අමාත්‍යාංශය ගත යුතු සෑම පියවරක්ම ගනිමින් පවතින බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment