වෘත්තීය සමිති පාරට බැසීම වැටුප් වැඩි කරන්න ලැබෙන ආදායම නැති කිරීමක් – වජිර කියයි

100

ජනාධිපතිවරයා රජයේ සේවකයන්ගේ සහ ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකිරීමට ප්‍රතිචාරය දක්වා තිබිය දී වෘත්තීය සමිති වැඩ වර්ජන කර පාරට බැස ඒ සඳහා ලැබෙන ආදායම නැති කිරීමට ක්‍රියාකිරීම සංචාරක ව්‍යාපාර අංශය හා පෞද්ගලික අංශය ලබාදෙන බදු මුදල් විනාශ කිරීමකැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

අබේවර්ධන මහතාගේ ප්‍රකාශයේ මෙසේ ද දැක්වේ.

තම තමන්ගේ දේශපාලන වෙනස්කම් එසේ තබාගෙන රට ගැන සිතා වැඩ කරන්න යැයි සියලු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා ඇති අවස්ථාවක එයට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ක්‍රියාකිරීම කනගාටුදායක කරුණකි.

වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගමින් සිටින අවස්ථාවක ඒවා කඩාකප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇත.

සියලු ජනතාවට අමාරුකම් තිබෙන බව ජනාධිපතිවරයා හොඳින් දන්නා නිසා යම් කිසිවෙකු රට භාර නොගන්නා අවස්ථාවක රට භාරගෙන නිසිමඟට ගනිමින් සිටින්නෙ.

මෙලෙස වැඩ වර්ජනය කිරීම වැටුප් වැඩිකරන කර්තව්‍යය කඩාකප්පල් කිරීමකි. මෙම වැඩ වර්ජන විදේශීය වශයෙන් මාධ්‍ය හරහා පෙන්වූ විට සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ විට ආදායම උපද්දවන කණ්ඩායමට හානි කළ විට ආදායම් උපද්දවන්නෙ නැති කණ්ඩායම්වලට හානි කිරීම මෙමගින් සිදුවේ.

එබැවින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ සියලු වෘත්තීය සමිති තම තමන්ගේ දේශපාලන කටයුතු අමතක කර රට ජාතිය ගැන සිතා බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා කල්පනාවෙන් ක්‍රියා කරන ලෙසයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වැඩිවෙන බඩු මිලට සමගාමීව වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කර තිබියදී මෙවැනි කටයුතු පටු දේශපාලන අරමුණු සඳහා ක්‍රියාවට නැංවීම රටේ අනාගත වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමකි.

මේ රට රනිල් වික්‍රමසිංහ මහතා බංකොලොත් භාවයෙනුත් නිදහස් කරගෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් අඩු කරලා, විදුලි බිලත් අඩු කරලා ඉදිරියට ගමන් කරන ගමන් මග විනාශ කිරීමේ කටයුත්තට මහජනතාව ඉඩ නොදී සිටීමට වග බලාගත යුතුයි.

1994 සිට පත්වූ සෑම ජනාධිපතිවරයකුටම බලයට පත්වීම සඳහා මේ රටේ වාමාංශික ව්‍යාපාරය විසින් උදව් කර ඇත. එහෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට ද රට ඉදිරියට ගෙන යන මෙම අවස්ථාවේදී ද සමස්ත වාමාංශික ව්‍යාපාරය ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදිය යුතුව ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment